Sri Lanka

Thursday, May 11, 2017

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..





කාලෙකට පස්සෙ ආයෙම අපි මේ කියන්න යන්නෙ තවත් සුන්දර ගීතයක් ගැන. අපි බොහොම ආසාවෙන් රසවිදපු ගීතයක්. ඒ ගීතය හැදුන හැටිත් බොහොම සංවේදී සිදුවීමක්.

රත්න ශ්‍රී විජේසිංහයන් කියන්නේ අපේ රටේ ඉන්න අග්‍රගන්‍ය කලා කරුවෙක්. ඔහු එක්තරා කාලයක එක්තරා අමාත්‍යංශයක වැඩ කරන කාලෙ රාජකාරීමය කටයුත්තකට යන්නට සිදු වෙනව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය කියන ප්‍රදේශයට. මොවුන්ගෙ රාජකාරි කටයුතු අතරතුර ඒ ප්‍රදේශයේ පැවති අධික උෂ්ණත්වයත් එක්ක දැඩි පිපාසයක් හටගන්නව. ඔවුන් වතුර ටිකක් බොන්න ගෙයක් හොයාගෙන යනව.

ඒ යනකොට ඔවුන්ට හමු වෙනව ඉතාම සාම්ප්‍රදායික වටපිලක් තියන ඉතාම සිරියාවන්ත සුන්දර ගැමි ගෙදරක්. ගෙදර ඉස්සරහම ඉතාමත් අලංකාර වී බිස්සක් එහෙමත් තිබුන. මේ ගෙදර හිටියෙ වයස අවුරුදු අසූවක විතර වියපත් අම්ම කෙනෙක්. ඒ අම්ම විතරමයි ගෙදර හිටියෙ, වෙන කවුරුත්ම පේන්න හිටියෙ නෑ. මේ අම්ම හරිම ප්‍රියමනාපයි. වයස අසුවක් උනත් ඇයගෙ තරුණකාලේ සුන්දරත්වය සිහි ගන්නව රූප ලක්ශන තාමත් ඇය සතුව රැදිල තිබුන. ඒකෙන් මේ කන්ඩායම හිතාගන්නව මේ අම්ම තරුණ වියේ ඉතාමත් ලස්සන කාන්තාවක්ව ඉන්න ඇති කියල.
ඉතින් කට්ටියම මේ අම්මගෙන් වතුර ඉල්ලගෙන බොන අතරෙ ඇයත් සමග කතාවට වැටෙනව. රත්න ශ්‍රී අම්ම ලගට කිට්ටු වෙලා මෙහෙම අහනව,
" මොකෝ අම්මෙ ගෙදර කවුරුත් පේන්න නැත්තෙ ළමයෙක්වත් නැද්ද" කියල.
අම්ම උත්තර දෙනව,
"කො නැහැනෙ පුතේ අපේ උන්දැට උවමනාවක් තිබුනෙ නැහැනෙ. උදේ පාන්දර අඹුඩ කෙටිය ගහගෙන හේනට යනව ආයෙ එන්නෙත් නෑ. රෑට එන්නෙත් නෑ. වැඩි හරියක් හේනට වෙලාම තමයි හිටියෙ. කිසිම උවමනාවක් තිබ්බෙ නෑ.." කියල.
ඇයගෙ මේ කතාවත් එක්ක රත්න ශ්‍රී සංවේදී වෙනව. ඔහු උත්සාහ කරනව ඔහුගෙ පරිකලපනයෙන් මේ අම්මගෙ කතාව ගීතයක් විදියට ලියන්න.

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..

සංවේදී කාන්තාවක් තමන්ගෙ ස්වාමියා ගෙදර නැති රැයක තමන්ගෙ හැගීම් අවදි වුන මොහතෙක ඇයගෙ සිතට නැගෙන සිතුවිලි තමයි මේ විදියට ගැයෙන්නෙ. 

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...

ඇය ඉතාමත් අවංක සවේදී කානත්වක්. කොයි තරම් තමන්ගෙ හැගීම් සිර කරගෙන සිටියත් ඇයට වෙනත් කෙනෙක්ගෙ පහසක් උවමනා නැහැ. ඇයගෙ ජීවිතය තමන්ගෙ ස්වාමියාම පමණයි. නමුත් ඇය තමන්ගෙ ස්වාමියාගෙන් දරුවෙක් ලබන්න අසාවෙන් හිටියට ඒක ඉ්ෂ්ඨ නොවුන හීනයක් විතරයි. ඒකයි මල් පිපුන අඹ ගහේ තාම ගෙඩි හැදිල නැත්තෙ.

මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...

මේ ගීතය සංගීතවත් කරනව සංගීතවේදී විශාරද ඔස්ටින් මුණසිංහයන් ගායනා කරනව ගායන ශිල්පිනී විශාරද නිරෝශා විරාජිනී..

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...


ගායනය : නිරෝෂා විරාජිනි
සංගීතය : ඔස්ටින් මුණසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ


රත්න ශ්‍රී

ඔස්ටින් මුනසිංහ



නිරෝෂා

ගීතය බලන්න මෙතනින්



Tuesday, December 20, 2016

මේ තරම් සියුමැලිද කළුගල්




ඔන්න කාලෙකට පස්සෙ ආයෙම අපි බුවනෙකබා වෙනුවෙන් ලියන්න ලැබුන එක ලොකු සතුටක්. මම හිතන්නෙ අවුරුද්දකට විතර පස්සෙ තමයි නැවතත් මේ විදියට එකතු වෙන්න ලැබුනෙ. හැමදාමත් අපිත් එක්ක ඉන්න යාලුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි.

අපි පේරාදෙණිය සරසවියෙන් ඇරඹුම සනිටුහන් වෙච්ච ගීත බොහොමයක් ලියුව. ඔන්න නැවතත් අපි පේරාදෙණිය සරසවියට යන්නයි යන්නෙ. මේ සිද්ධිය මම දැනගත්ත ප්‍රවීන ගීත රචක ධම්මික බණ්ඩාරයන් මුනගැහුන වෙලාවක. ඔහු තවත් ලස්සන කතා ගොඩක් කිවුව. ඒවත් අපි පසුවට බෙදාගනිමු. මේ ඒවා අතරින් ගොඩක් සුන්දර එකක්.

එක්තරා වසරක පේරාදෙණි(මෙය ේරාදෙණියදැයි කැළණියදැයි මට හරි හැටි මතක නැත) සරසවියට එනව ශිෂ්‍යෙයෙක්. සාමාන්‍යයෙන් සරසවියෙ මුහුණ දෙන සියලුම සිදුවීම් වලට ඔහුත් සම්බන්ධ වෙනව. පළමු වසර සාමාන්‍ය විදියට ගෙවිල යනව. ඔහුගෙ කණ්ඩායමේ අනිත් බොහෝ අය වසර අවසන් වෙනවත් එක්කම ප්‍රේම සම්බන්ධතා ආදිය පටන් ගන්නව. නමුත් මොහු හැම දෙයක් ගැනම ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක්. මොහුගෙ ඒ විදියෙ සම්බන්ධතා මුකුත් ඇති වෙන්නෙ නෑ.

දෙවෙනි වසරත් එක්කම සමූහයේ කට්ටිය විනෝද චාරිකාවක් සංවිධානය කරනව. ගමන යන්න යොදාගන්නෙ අනුරාධපුරය සහ පොළොන්නරුව. ඉතින් කට්ටිය ගමන යනව. ඒ ඒ තැන් වල කට්ටිය ඇවිදින්න යනකොට ඉතින් එක එක්කෙනා එක එක ලෝක වල. ආදර සම්බන්ධකම් තියෙන අය ඒ ඒ ලෝක වල. ඒත් මොහු මේ තිබෙන ඉදිකිරීම් දිහා මේ නටඹුන් දිහා බලන්නෙ වෙනස් විදියකට. මේ හැම තැනකටම යනකොට ඔහුට දකින්න ලැබෙනව දුටුගැමුණු රජ විසින් කරවන ලදී.. වළගම්බා රජු විසින් කරවන ලදී... පරාක්‍රමබාහු විසින් කරවන ලදී... ආදී ලෙස සටහන් වුන පුවරු. ඔහු හිතනව මේ අයගෙ නම් ගහල තිබුනට ඇත්තටම ඔවුන්ද මේව කලේ. කවුද ඇත්තටම මේව කරපු කලා ශිල්පියා. ඒ නිහඩ කලා කරුව ගැන වචනයක්වත් කතා කරන්නෙ කවුද. ඔවුන් නිහඩවම සේවයක් කරල මියැදිලා යනව.

 මේ කාරණාවත් හිතේ තියන් යන ඔහු නේවාසිකාගාරයට ගිහින් කොලේක මෙන්න මේ පද පේළිය සටහන් කරනව.
            මේ තරම් සියුමැලිද කළු ගල්
            සිතන්නටවත් බැරි නිසා
            මම ගියා අවුකන බුදුන්ටත්
            දෑස් දුන් මිනිසා සොයා

ගොරහැඩි කළු ගලක් ඔපමට්ටම් කරමින් මතු කො‍ට ඇති උත්තරීතර සම්බුද්ධ ගුණ මහිමය අවුකන ප්‍රතිමාවහන්සේගෙන් ලෝකයට ම පෙන්වයි. දස දහස් නෙත් සිත් සනහන ප්‍රතිමාවහන්සේ පසුපස සැඟ වී ඇති ඉතිහාසය කෙබන්දක් විය හැකි ද? කළා වැව නිර්මාණය කළ ධාතුසේන රජුගේ අවසන් ඉරණම වූයේ කළා වැවේ වැව් බැම්මට ම තබා මැටි ගසා මරා දැමීමයි. ටජ්මහල නිර්මාණය කළ නිර්මාණකරුවාට සාජහන් දුන් තෑග්ග ඔහුගේ දෙනෙත් අන්ධ කිරීමයි. අවුකන ප්‍රතිමා වහන්සේ පසු පස එවැනි අනුවේදනීය කතා පුවතක් පැවති නොහැකි ද? මේ පිළිබඳ සංවේදී කතා පුවතක් ජනශ්‍රැතියේ එයි. මෙවැනි උසස් කළා නිර්මාණ පසුපස වසං වී ගිය යථාර්තය ගී පද රචකයා මතු කරයි. සත්‍ය වශයෙන් ම එය කළාකරුවෙකුගේ ජීවිතයයි. මොහු හිතින් මේ ඉතිහාසය සොයාගෙන යනව. ඔහු යනව මේ කලා කරුව හොයාගෙන. ඔහුට මේ කලා කරුවාව මුනගැහෙනව බොහොම අපුරු තැනකදි.

කළා වැව ළඟ ඉළුක් හෙවනක
            මැටි පිලක පැදුරක් එලා
            රිදුම් පිරිමදිමින් බලයි ඔහු
            මැරෙන ඉපදෙන රළ දිහා

                                   
මේ නම් අපි පිළිගැනීමට අකමැති සත්‍යයයි. මේ කලාකරුවා හැම විටකම සරළ දිවි පෙවෙතක් ඇති ගැමියෙකි. කලා වැව ඉතාමත් සන්සුන් ගැමි පරිසරයකි. ඒ අසල ඉලුක් අතුරපු පැලක මැටි පිලක්මත පැදුරක් එලාගෙන ජීවිතයේ සැදෑ සමය ගෙවමින් ඉන්න මේ අපූරු මිනිසා තමයි ඔහුට හමු වෙන්නෙ. ඔහුගෙ හිතේ මොනාද ඇත්තටම තියෙන්න. ඔහු ඉතාමත් විශිෂ්ඨ ලෙස තමන්ගෙ නිර්මාණය කලාට ඔහු හොදින්ම දන්නව තමන්ට කිසි දිනකත් නිසි ගෞරවය නොලැබෙන බව. අතීතයේ ඇතිවුන රිදුම් තමන්ම සිතින් සනසගනිමින් ඔහු ජීවිතයේ අනිත්‍යය තමයි මෙනෙහි කරන්නෙ. රිදුම් පිරිමදිමින් බලයි ඔහු...මැරෙන ඉපදෙන රළ දිහා.... යනුවෙන් රචකයා ලියන්නෙ එයයි.

ඉසුරුමුණියේ ඔබ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා

ඇත්තටම කලා කරුවා සිතුවම් කරන්නෙ කැටයම් කරන්නෙ ඔහුගෙ ජීවිත අත්දැකීම නොවෙයි. ඔහු කැටයමට නගන්නේ ස්වකීය සමාජ දර්ශනයයි. මොහුගේ ජීවිතය තුළ බොහෝවිට බොහොම ඛේදනීය ඉරණමක් තියෙන්නට පුළුවන්. විරහව වේදනාව විදින පුද්ගලයෙක් වෙන්නට පුලුවන්. නමුත් ඔහු එ ඛේදාන්තය අප අතරට ගෙනෙන්නට කැමැති කෙනෙකු නොවෙයි. ඔහු තම සිතේ දුක සගවාගෙන අපේ සිත් සැනසීමට ප්‍රයත්න දරනව. එකයි රචකයා මේ විදියට ලියන්නෙ....

අපිත් අහල බලමු මේ අපූරු කලාකරුවා අපිටත් හමු වෙයිද කියල...

මේ තරම් සියුමැලිද කළුගල්

සිතන්නටවත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත්

දෑස් දුන් මිනිසා සොයා



කළා වැව ළඟ ඉළුක් හෙවනක

මැටි පිලක පැදුරක් එලා

රිදුම් පිරිමදිමින් බලයි ඔහු

මැරෙන ඉපදෙන රළ දිහා



ඉසුරුමුණියේ ඔබ තැනූ

පෙම්බරිය කොතැනද කියා

මා ඇසූ විට හිනැහුනා ඔහු

තවම තනිකඩ යැයි කියා


ගායනය :- සුනිල් එදිරිසිංහ
පද         :- රජීව් වසන්ත වෙල්ගම
සංගීතය :- දර්ශන රුවන් දිසානායක


බලන්නකො ගීතය