Sri Lanka

Wednesday, July 31, 2013

ආත්මීය ප්‍රෙමයක සත්‍යය කතාවක්


ශාමලී ඉතා පියකරු අහිංසක යුවතියකි. ඇයට වරුණ හමුවූයේ උසස් පෙළ සඳහා නුගේගොඩ අමතර පන්ති යන කාලයේය. නුගේගොඩ ජනප‍්‍රිය පාසලක ඉගෙන ගත් ඇය ඉගෙනීමට ද දක්ෂය. එකම පන්තියේ මිතුරු මිතුරියන් ලෙස කලක් එකට සිට එකිනෙකා දැන හඳුනා ගැනීමට ඔවුනට හැකි විය. වරුණ ශාමලීට ආදරය කරන්නට විය. ඒ ඇයගේ අහිංසක පියකරු බවට ය. වරුණ තම අදහස ශාමලීට පැවැසුවේය. ඒ උසස් පෙළ විභාගයට මසකට පමණ පෙරදීය. ඇය එම යෝජනාව එක්වරම පිළිගත්තේ හෝ ප‍්‍රතික්ෂේප කළේ නැත. සිය අදහස ප‍්‍රකාශ කිරීමට ඇය විභාගය නිම වන තෙක් කල් ඉල්ලූවාය.
විභාගය නිමා විය. උසස් පෙළ අවසන් වීමත් සමගම නුවර ප‍්‍රසිද්ධ විදුලි උපකරණ බෙදාහරින ආයතනයක රැකියාවක් ලැබීම නිසා වරුණගේ ජීවිතය නුවරට සීමාවන්නට විය. ඔහු නිවසට පැමිණියේ මාසයකට පමණ සැරයක්ය. වරුණගේ මහ ගෙවල් පිහිටා තිබුණේ හෝමාගමට ආසන්නයේ ය. කාලයත් සමඟම වරුණට ශාමලීව අමතක වී ගියේ ය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගිය අතර වරුණ සිය ප‍්‍රථම ආදරය වූ ශාමලී අතහැර සමීරා නම් යුවතියක සමඟ විවාහ වූවේ ය. හෝමාගම මහගෙදර ම පදිංචි වූ ඔවුහු බොරලැස්ගමුවේ තමන්ගේ ම ව්‍යාපාරයක් ඇරඹූහ. මේ දෙදෙනා නුවරින් කොළඹට පැමිණ වසරක් පමණ ගත වෙමින් පැවැතුණි. බොරලැස්ගමුවෙන් මහරගම ට පැමිණ හයිලෙවල් පාර ඔස්සේ හේමාගමට යන වරුණට මේ පාර හොඳට හුරු පුරුදු ය. රාත‍්‍රී නවය පමණ වන විට පුරුද්දක් ලෙස ඔහු නිවසට පැමිණියේ ය. එදින ඔහුගේ රාජකාරී නිමා වන විට ම රාත‍්‍රී දහය පසු වී තිබුණි. අහම්බෙන් කඩා පහත් වූ මොරසූරන වැස්ස ඔහුගේ ගමනේ වේගය තව දුරටත් බාල කළේ ය. වැස්ස තරමක් අඩු වීමත් සමඟම ජැකට්ටුව දමාගෙන ඔහු යතුරුපැදියට ගොඩවූණේ ය. වැහිපොද කපාගෙන යතුරුපැදියේ පහන් ආලෝකය මලානික ලෙස මාර්ගය ආලෝක කළේ ය. වැහි බිඳු පතිත වන විට දැනෙන සීතලෙන් වරුණගේ ශරීරය සැරෙන් සැරේ ගැහෙන්නට විය. මහරගමට ආසන්නයේ ඇති වැව ආසන්න වෙත්ම අධික සීතලකින් තම ශරීරය වෙළී යනු ඔහුට දැනෙන්නට විය. වැව ප‍්‍රදේශයම එකම අන්ධකාරයකින් ගිලී ගොසින් ය.
වැව පසු කර ඉදිරියට එන වරුණට ධර්මායතනය ඉදිරිපිට බස් නැවතුමේ සිටින යුවතියක් දැකගත හැකි විය. ඇය වැස්සේ තෙමි තෙමී බසයක් එන තුරු බලා සිටියි. ඇය ඇඳ සිටි ගවුම හොඳටම තෙමී ඇඟට ඇලීි ඇත. ඇය දෙස බලාගෙන සිටිය ද ඇයගේ මුහුණ දුටුවේ ඇය පසුවන විටදී ය. වරුණගේ සිත තිගැස්සී ගියේ ය. මේ ශාමලීද? මේ රුව ඇයගේ රුවට සමාන ය. ඉදිරියට ගිය යතුරු පැදිය නවතා ඔහු මොහොතක් කල්පනා කළේ මේ ඇය විය හැකිද යන්නයි. වසර දහයකට පමණ පෙර තමා ආදරය කළ ශාමලී අහම්බෙන් හමු විය හැකි ද? මේ ඇය නොවේ නම් තමා සල්ලාලයකු ලෙස වරදවා සිතයි ද? දහසක් සිතුවිලි අතුරින් නොදැනීම යතුරුපැදිය යළි හරවාගෙන ඇය සිටි තැනට ඔහු ගමන් කළේ ඉබේම වාගේ ය. වරුණ යතුරුපැදියෙන් බිමට නොබැසම
ඔයා ශාමලීද?” යැයි විමසුවේ ය.
ඔව්
මම වරුණ. මතකද?….. සර්ගේ සිංහල පන්තියේ
මතකයි
ඇයි ඔයා මෙතන
ඔෆිස් එකේ වැඩ වගයක් තිබුණා. ඉවර කරලම යන්ඩ ඉන්න වුණා. ඒ එක්කම වැස්සට අහුවුණා.
ඔයා තනියමද යන්නේ
වෙනදාට යාළුවෝ ඉන්නවා. මම අද පරක්කු වුණ නිසා ඒ අය ගියා.
බස් එකේ ද යන්නේ
ඔව්.. දැන් ඇවිල්ලා ගොඩක් වෙලා. බස් එකක් අවේ නෑ
කොහාටද යන්නේ?”
පොල්ගස් ඕවිට පාරට
ඔයා මහරගමට ගිහිල්ලා තව බස් එකක යන්න ඕන නේද?”
ඔව්
ශාමලී එදා සේම යැයි වරුණට සිතුණි. ඇයගේ මුහුණේ හෝ ශරීරයේ ද වෙනසක් සිදු වී නැත. ඇයගේ අහිංසක පියකරු බව එලෙසින්ම පවතියි. මේ තමා වසර දහයකට පමණ පෙර ආදරය කළ යුවතියම නොවේදැයි ඔහු මොහොතකට සිතන්නට විය. වරුණ නිමේෂයකට උසස් පෙළ පන්තියේ මතකය අතර සිරගත වූවේ ය.
මම යන්නේ ඒ පැත්තටමයි. මම ගිහින් ඇරලවන්න ද?”
තරුණියගේ මුවින් කිසිවක් පිට වූයේ නැත. ඒ වෙනුවට ඇය පෙරසේම ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වූවා ය.
මම බස් එකක් එනකන් ඉන්නද?”
නෑ වරුණ මේ වෙලාවට බස් නෑ. මහරගමට පයින් යන්න බය නිසයි මම හිටියේ. මම ඔයත් එක්ක එන්නම්
දෙදෙනාම හොඳටම තෙමී ඇත. ශාමලී වරුණගේ යතුරුපැදියට නැග්ගේ කිසිදු චකිතයකින් තොරව ය. යන අතරමඟදී ඔවුහු බොහෝ දේ කතා කළහ.
ශාමලී ඇයි ඔයා මට කැමැති වුණේ නැත්තේ
ඇය නිහඬය.
ඇයි ඔයාට උත්තර දෙන්න බැරිද?”
මම අකමැති වුණේ නෑනේ. A/L වලින් පස්සේ ඔයා මට කතා කළේ නෑනේ
ඔයා බැන්දද?”
තවම නෑ. අම්මලා හොයනවා
ටික දුරක් යද්දී වැස්ස වැඩි වන්නට විය. තමාගේ උරහිස අල්ලාගෙන සිටින ශාමලීගේ අත සීතලට ගැහෙන බව වරුණට දැනෙන්නට විය. ඔහු යතුරු පැදිය නවතා තම ජැකට්ටුව ගලවා ඇයට දුන්නේ ය. ඇය එය ඇඳ ගත්තා ය. සල්ගස් හන්දිය පසු කර පොල්ගස් ඕවිට පාරේ මඳ දුරක් ගමන් කළ විට ඇය තම නිවස අසලට පැමිණ ඇති බව පැවැසුවා ය.
ඔයා එන්න එපා. මම යන්නම්. බොහොම ස්තූතියි.ඇය නිවස දෙසට ඇවිදගෙන ගියා ය. මඳ වේලාවක් එදෙස බලාගෙන සිටි වරුණ නිවසට පැමිණියේ ය.
ශාමලී තම ජැකට්ටුව ඇඳගෙන ගිය බව වරුණට දැනුණේ සීතල වැඩි වන විට ය. කිසිවක් සිදුනොවූ සේ නිවසට පැමිණි වරුණ තම ජැකට්ටුව ලබා ගැනීමේ අදහසින් හා යළි ඇය දැක ගැනීම සඳහා පසුදා උදෑසන ශාමලීගේ නිවසට ගියේ ය. ඉදිරි දොර වසා තිබූ නිවසට තට්ටු කළ විට පැමිණියේ ශාමලීගේ නැගණිය යැයි සිතිය හැකි තරුණියකි.
ශාමලී ඉන්නවද?”
ඇය කිසිවක් නොකියා නිවස ඇතුළට ගිය අතර, ඉන්පසු නිවසේ සියල්ලෝ එළියට පැමිණියහ. ඇයගේ පියා කතා කළේ ය.
මහත්තයා කවුද?”
මම ශාමලීගේ යාළුවෙක්. මගේ ජැකට් එකක් එයා ළඟ තියෙනවා.
ජැකට් එකක්
වරුණ පෙර දින රාත‍්‍රී සිද්ධිය පැවැසුවේ ප‍්‍රශ්න ඇති කර ගැනීම නොකළ යුතු යැයි සිතූ නිසා ය.
වෙන්ඩ බෑ මහත්තයෝ. මගේ කෙලී නැතිවෙලා ඊයෙට හරියටම අවුරුදු හතක්
වරුණට මුළු ඇඟම අප‍්‍රාණික වී තමා අවට සීතල වන බව දැනෙන්නට විය. සිදුවන්නේ කුමක්ද? මෙය සත්‍යයක් ද? එහෙත් මෙය ඔහුට විශ්වාස කළ නොහැකි දෙයකි.
මහත්තයට විශ්වාස නැද්ද. අර තියෙන්නේ දුවගේ සොහොනයැයි පැවැසූ ඇගේ පියා වත්තේ කෙළවරට අත දිගු කළේ ය. විශාල වත්ත කෙළවර සොහොන් කොතක් දක්නට ඇත. වරුණ ඒ දෙසට ගමන් කළේ ගැහෙන හදින් යුතුව ය. ඇගේ සොහොන් කොත මත ජැකට්ටුව දක්නට ඇත. පෙර දින රාත‍්‍රියේ තමා සමඟ පැමිණියේ හොල්මනක් ද? කිසිවක් කතා නොකළ වරුණ යන්නට ගියේ ය.
වරුණව අහිමී වූ දුක දරාගැනීමට නොහැකි වූ ශ්‍යාමලී වස පානය කර සියදිවි හානි කර ගත්තාය. වරුණට කියාගන්නට නොහැකි වුවද ඇය ආදරය කළේ වරුනට පමණක්මය. ඇයට වරුණව අහිමි වීම ඇයගේ ජීවිතය තීරණය කරන සාධකය වන බව කවුරු නම් සිතන්නට ඇත්ද? ඇයගේ ආත්මීය ප්‍රේමය අහිමි වීම ඇයට දරා ගන්නට නොහැකි වන්නට ඇත. නමුත් ප්‍රේමයෙන් සුවපත් කරගන්නට නොහැකිවූ ඇයගේ ආත්මය තවමත් තමන්ට අහිමි වූ වරුණ සොයමින් සැරි සරන්නීය.

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී - මටද ආදරේ කියා තිබේ....




උසස් පෙළ සමය කියන්නේ නව යොවුන් වියේ තරුණ තරුණියන් නිතැතින්ම පපෙමින් වෙළන සමයක්. මේ කාලයේ දී ඔවුන් තම දෙමව්පියන්ට ගුරුවරුන්ට බයෙන් උනත් ඉතාමත් රහසින් ඒත් බොහොම අහින්සක විදියට සුන්දර විදියට තම ආදරෙ විදිනව. ඉතින් එක් තරුණයෙක් මෙන්න මේ විදියට දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැදගෙන තම පාසලේම ශිෂ්‍යාවක් සමග පෙමින් වෙළෙනව. ඔවුන් බොහොම අහිංසක විදියට තම ප්‍රේමය දළුලන්නට ඉඩ හරිනව. ඉඩක් ලැබෙන හැම වෙලාවකම මොවුන් මුන ගැහෙනව. පාසලේ කොහෙ හරි මුල්ලකට වෙලා කතා කර කර ඉන්නව. ඉතින් යාලුවන්ගෙ උසුළු විසුළු වලට මොවුන් ලක් වුන වාර අනන්තයි. ඒත් මේ තරුණයා තම පෙමිවතිය අරන් එන බත් එක උනත් බෙදාගෙන කෑවෙ ඉතාමත් ආදරෙන්. 

තම පෙම්වතියට අසනීපයක් උන දවසට මේ තරුණයත් මුලු රූම අවදියෙන්. ඒ තරමට ඔහු ඇයට ආදරෙන් හිටිය. තමන්ගෙ පෙම්වතියට සීරීමක්වත් වෙනවට ඔහු කැමති නෑ. ඔහුගෙ මුලු ජීවිතයම උනේ තමන්ගෙ පෙම්වතිය තමයි. ඇය ළග නැති එක මොහොතක් ඔහුට දැනුනෙ කල්පයක් වගේ. 
ඉතින් ජීවිතේ ගැන මේ විදියට බලා පොරොත්තු පොදි බදින ගමන්ම දෙදෙනාම උසස් පෙළ විභායත් හොදින් ජය ගත්ත. දෙදෙනාටම සරසවි වරමි ලැබුණ. ඉතින් බලාපොරොත්තු මල්ලක් කරපින්නගෙන දෙදෙනාම සරසවියට යන්න සූදානම් වුනා.
නමුත් දෙදෙනාම ගියේ එකම විශ්ව විද්‍යාලයකට නොව විශ්ව විද්‍යාල දෙකකටයි. තමන්ගේ සංසාරගත බැදී ප්‍රේමය දෙදෙරා යනු ඇතැයි කිසි විටෙකත් පෙම්වතා නොසිතන්නට ඇත.පෙම්වතිය , පැරණි පෙම්වතා අත හැර ගියාය. ඇය දැන් වෙනත් අයෙකු සමග පෙමින් බැදී ඇත. පැරණි පෙම්වතා මෙය සියැසින් දැක ඇත.

ඉතින් මේ තරුණයාගේ හද බැදි එකම මිත්‍රයා තමයි සුනිල් අර් ගමගේ කියන්නෙ. තරුණයා මේ හැම දෙයක්ම ඔහුත් එක්ක කිවුව. තම මිත්‍රයා සිතින් විදින වේදනාව හොදින් තේරුම් ගත් සුනිල් ආර් ගමගේ මහතා මිත්‍රයාගේ හැගීම් මෙලෙස පද වැලකට ඇමුණුවා. 
මිත්‍රයා ! අද ඔබ ලගට වෙලා ඔබට ආදරෙයි කියන ඇයට මාත් පෙරකාලෙක ආදරේ කලා.ඇයත් මට අසීමිතව ආදරෙයි කිව්වා. කෙදිනකවත් මා අතහැර නොයන බව දිව්රා සපථ වූ ඇයම අද මා තනි කරලා ගිහින්.හැන්දෑ වරුවේ වෙරළ අයිනේත්, රාත්‍රියේ රගහලක අසුනකත් ඔබට තුරළු වෙලා ඔබව සනසන ඇය ඉස්සර දවසකදී මටත් ඔය විදිහටම තුරුළු වෙලා ආදරෙයි කිවුවා.මාවත් සැනසෙව්වා.දෙපයට වාරු නැති වෙනකම් වගේ ඒ කියන්නේ පා දෙක ගෙවන කම් අපි ඇවිදලා සුන්දර පෙම් බස් දෙඩුවා.නමුත් අද ඒ පෙම්බස් නෑ.ඒවා ඔක්කොම ගොළු වෙලා.ඒ සියල්ල නවතලා මට සමුදීලා ඔබේ ආදරේ පතාගෙන ආවා.අද ඔබට නුරාව පිරී දෙනෙතිතින් ආදරෙයි කියනවා වගේ සෙනෙහස සගවා ගත්තු රාගයෙන් පිරී ඇස් දෙකෙන් මං දිහා බලලා මටත් ආදරෙයි කිවුවා...

ඉතින් මේ සිතුවිලි සමුච්ඡය විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ ළයාන්විත හඩින් මෙලෙස ගැයෙද්දී කදුලක් නොනැගෙන්නේ කාගේ නෙතටද?
 
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
ඔබට ආදරෙයි කියනා විලසින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
මටද ආදරෙයි කියා තිබේ

සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී ඉඳ
මටද ආදරෙයි කියා තිබේ

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
මටද ආදරෙයි කියා තිබේ

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරෙයි කියා තිබේ

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
මටද ආදරෙයි කියා තිබේ


ගීතය මෙතනින් ලබා ගන්න
http://www.youtube.com/watch?feature=player_embedded&v=q7WKYkRIHWw

සොදුරිය මට නොකියාම ගියා..


සොඳුරිය මට නොකියාම ගියා..!

දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළියක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා... 

ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..! 

මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඤාතියාට ගෞරව කරන්න... 

ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට ගීතවත් වෙන්නෙ...

එදා මෙදාතුර කඳුලට විවරවූ 
දෑස් පියන්පත් කවුළු වසා 
ළයේ ගලා ගිය සෙනේහයේ සුව 
සිනා පෙරූ රත් දෙතොල පියා... 

මිලාන වී ගිය රෝස කුසුම් පෙති 
කම්මුල් සුදු මැලි පාට පොවා 
දෑත ළයේ බැඳ අවසන් ගමනට 
සොඳුරිය මට නොකියාම ගියා... 

දැස් කවුළු පත් පලා කඳුළු කැට 
වැහෙද්දී මගේ දෑස් අගින් 
කාත් කවුරුවත් වෙතත් හිතයි මට 
පාත් වෙන්න ඔය මුවට උඩින්... 

ඈත්ව යන්නට සමුගෙන කවුරුත් 
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින් 
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි 
ඈත්නොවේමැයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මිය යන්නට 
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි 
ආදර ලොකය හෙටත් තියේ....

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ..