Sri Lanka

Sunday, August 11, 2013

දෙබස් කථන මුද්‍රා නාට්‍ය... මොනාද මේ.?


කාර්ය බහුලත්වය නිසා අලුත් යමක් ලියන්න තරමක් ප්‍රමාද උනත් මේ විදියට හරි යමක් ගෙන එන්න ලැබීම මහත් සතුටක්. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනව මේක ලියන්න අදහස දුන්න අපේ බන්දු අයියට සහ සදරුවන්ට.  
ශ්‍රී ලංකාවේ ගැමි සංස්කෘතිය තුළ විවිධ සංස්කෘතික අංගයන් දැකිය හැකිය. ඒ අතරින් අප මේ කතා කරන්නට සූදානම් වන්නේ වර්ථමානයේ එතරම් කතාබහට ලක් නොවන ගැමි කලා අංගයක් ගැනයි. ඒ ගීත නාට්‍යකලාව ගැනයි.
වේදිකා නාට්‍ය ගැන කෙතරම් කතාබහ වුවද මේ පිළිබදව නම් කතාබහ කරන්නෙ ඉතා අඩුවෙන්ය. සමහර විට එයට හේතු විය හැක්කේ මෙවා රස විදින්නේ බොහෝ විට මේවා රස විදීමට පැමිණෙන්නේ අහින්සක ගැමීයන් වීම වන්නට පුලුවන. එ මෙන්ම මේ තුළ දිගහැරෙන්නේ බොලද රජ කතා නිසා වන්නටද පුලුවන. එහෙත් මේවා රසවිදින්නට පැමිණෙන පිරිස් ඒවා ඉතා ආදරයෙන් වැලද ගනී. මෙම නාට්‍ය ගැමි හදවත් වලට ඉතා තදින් සමීප වී ඇත. මෙහි භාෂා විලාසයද ගැමියන්ට නුහුරු එකක් නොවේ. අදටත් නගර වලාට පමණක් සීමාවී ඇති වේදිකා නාට්‍ය වලට වඩා ගම් තුළම එලි දැක්වෙන මෙම නාට්‍ය ගැමි හදවත් තුළට සමීප වීම පුදුමයක් නොවේ. මේ නාට්‍ය බිහිවන්නේ චිත්‍රපට කලාව, රූපවහිනිය ආදිය බහි වන්නටත් පෙර ඈත අතීතයේ සිටමය. වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක දෙබස් කථන මුද්‍රා නාට්‍ය කලාවේ නිරත කලා සංගම් කිහිපයක් දැකිය හැකි ය.
බොහො විට ගීත නාට්‍ය සංදර්ශන මාලාවක් දින 3ක් පුරාවට පවත්වයි. ගැමි වහරේ මේවා හදුන් වන්නේ "ජහුටා" යන නාමයෙනි. මේ ජහුටා තුළ ඇති විශේෂත්වය වන්නේ මේවා රග දැක්වීම සදහා වේදිකාවක් අවශ්‍ය නොවීමයි. ගමේ පිට්ටනියක් තුළ ලනු වලින් වට කරගත් තාවකාලික රංග භූමියක මේවා රග දැක්වේ. ලණු වලින් වට කරගත් කවයේ එක් පැත්තකින් මඩුවක් පමණක් ඉදි කරනු ලබන්නේ නර්තන ශිල්පීන්ට ඇදුම් මාරු කරගැනීම සදහාය.
මේ නාට්‍ය කලාව හදුන් වන්නේ දෙබස් කථන මුද්‍රා නාට්‍ය ලෙසය. නමුත් මේ සම්ප්‍රදාය වේදිකාවෙදී නම් හශලිගත සම්ප්‍රදාය ලෙසයි හදුන් වන්නේ. ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායේ ලක්ෂණයන්ට වඩා ස්වාභාවික නාට්‍ය සම්ප්‍රදායේ ලක්ෂණ මේ තුළ දැකිය හැකිය. ප්‍රදේශයේ සිටින අත්දැකීම් වලින් පරිපූර්ණවූ අධ්‍යක්ෂ වරයෙකු රචනා කරන නාට්‍යයක් තරුණ පිරිසක් එක් කරගෙන රග දැක්වීම සිදු කරයි. මේ තුළ නිතැතින්ම රජ කතා දැකිය හැකිය. විශේෂයෙන්ම වෙස්සන්තර, සුතසෝම, සාම, පත්තපාණි වැනි ජාතක කතා ඔවුන්ගේ නාට්‍යවලට තේමා වන අතර කුණ්ඩලකේසි, අංගුලිමාල, සීගිරි කාෂ්‍යප, සත්‍යවාදී හරිශ්චන්ද්‍ර වැනි කතා වස්තු ද යොදා ගනී.
මුලින්ම කලා සංගමයේ අධ්‍යක්ෂක විසින් තම රංගන ශිල්පීන් හදුන්වා දීමෙන් අනතුරුව සරස්වතී පුජා නර්තනයකින් නාට්‍ය ආරම්භ කරයි. මෙයින් දේව ආශිර්වාදය ලබාගැනීම අරමුණ වේ. පසු ව අධ්‍යක්ෂවරයා සංගීත කාණ්ඩයක් මැදින් තම රංගන ශිල්පීන්, වාදක ශිල්පීන් හඳුන්වා දී නාට්‍යයට පසුබිම් කරගනු ලබන කතා වස්තුව පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් කරනු ලබයි.
එක් දඹදිව රජ කතාවක විස්තරය ඇඹෙන්නේ..... මීට වසර දස දහස් ගණනකට පෙර ඈත අතීතයේ දඹදිව බ්‍රහ්ම දත්ත නම් රජ කෙනෙකු දහැමින් රජ්‍යය විචාරන සමයේ.... ආදී විලසිනි. ;
මේ නාට්‍ය තුල නිතර දකින චරිත කිහිපයක් ඇත. ඒ රජතුමා, බිසව, කුමරා, කුමාරාගේ පෙම්වතිය වන කුමාරිකාව, ඒ වගේම දුෂ්ඨයා ආදී චරිතය. මේ පිරිස රංග භූමියේ රංගනයේ යෙදුනද දෙබස් ලබා දෙන්නේ මෙහි අධ්‍යක්ෂ වරයා සහ තවත් කාන්තාවක් විසිනි. අධ්‍යක්ෂ වරයා බොහෝ දක්ෂතාවයන්ගෙන්  සපිරුණ කෙනෙකි. ඔහු විවිධ කටහඩවල් වලින් කතා කරයි. සටන් ජවනිකා වලදී නැගෙන ශබ්ද නිකුත් කරයි, අශ්වයන්ගේ කුර ගැටෙන හඩවල් නිකුත් කරයි. ඒවා නම් බලා සිටීමටම අපූරුය. මේ අතර නරඹන්නන් සිනා ගන්වන විකටයෙකුද සිටී. බොහෝ විට ඔහු මහ ඇමති හෝ මහා සේනාධිපති වේ. ඔහුගේ දෙබස් ඔහුම පවසයි. පිරිස සිනා ගැනවීම සදහා කටට එන ඕනෑම දෙයක් ඔහු කියයි. සමහර වචන අනික් පිට පෙරලූ විට එතරම් හොද වචන නොවේ. නමුත් නරඹන්නන්ට ඒවා ගැටළුවක් නොවේ. ඔවුන් ඒවාට සිනාසෙනවා මිස එතනින් එහාට ඒවා ගෙනයන්නේ නැත. ඒ වගේම මේ තුළ එන සටන් ජවනිකා ඒ වගේම කරණම් නැරඹීමට තරුණ තරුණියන් තදින් ඇලුම් කරයි.
ටෙලි නාට්‍ය, චිත්‍රපටවල රංගනයෙහි සිදුවන අඩුපාඩු මඟහරවා ගැනීමට තාක්ෂණය යොදා ගනී. නමුත් මෙහිදී ජනතාව ඉදිරියේ කිසිදු වැරැදීමකින් තොර ව තම රංගනය ඉදිරිපත් කිරීමට තරම් ඔවුන් දක්ෂ විය යුතු ය. රංගන ශිල්පීන් රංගන කාර්යය සිදුකරන අතර පසෙකින් දෙබස් ප්‍රකාශ කරන්නේ අනෙක් ශිල්පීන් විසිනි. සංගීත භාවිතය ද විශිෂ්ට අන්දමින් පවතී. හින්දි ගී තනුවලට, පැරණි චිත්‍රපට ගී තනුවලට ද ඔවුන් ගීත නිර්මාණය කර ඇත. ස්ව නිර්මාණ ගීතවල අර්ථ රසය මෙන් ම ශබ්ද රසය ද නොඅඩු ව පවතී.
බොහෝ නිට මෙම නාට්‍ය සංදර්ශන දින 3ක් පුරාවට පවත් වන අතර රාත්‍රිය පහන් වන තුරුම පවත්වයි. මුලින්ම රාත්‍රී 7ට පමණ ආධුනික ගීත ප්‍රසංගය පවත්වන අතර එය රාත්‍රී 10 පමණ වන තුරු පවත්වයිත පසුව ආරම්භ වන්නේ මල්වට්ටිය වෙන්සිය හෝ කැවිලි බදුන වෙන්දෙසියයි. කැවිලි බදුන වෙන්නෙසියේ දී සිදු කරන්නේ රස කැවිලි වලින් බන්දෙසියක් සකස් කරනු ලබයි. පසුව වෙන්දෙසි භූමියේදී සංවිධායක මණ්ඩලය ආරාධනා කරනු ලබන පුද්ගලයෙකු එයට යම් මුදලක් දමනු ලබයි. නිවේදකයා විසින් කැවිලි බදුනේ ඒ වන විට වටිනාකම ඒ මුදල ලෙස ප්‍රකාශ කරයි. ආරාධිතායා රු. 500ක් ලබා දුනහොත් වටිනාකම 500ක් වේ. පසුව වටිටි රැගත් සංවිධායක මණ්ඩලයේ මල්ලිලා සෙනග අතරට පැමිණේ. පසුව නිවේදකයා වට්ටියට දැමිය හැකි මුදල නියම කරයි. මෙය රු. 5ක් හෝ 10ක් වේ. නරඹන්නන් වටිටියට මේ මුදල දමා වට්ටි කරුවන්ට රහසින් පිරිස හිනා ගන්වන වදන් පවසයි. ඔවුන් ඒවා ගෙන ගොස් නිවේදකයාට පැවසූ පසු නිවේදකයා ශබ්ද විකාශන යන්ත්‍ර‍යෙන් මෙය බවසයි. ඒ තුළින් පිරිසට සිනාසීමට හැකිය. මේ අතර නිර්නාමිකව එක එකාට මඩ ගසා ගැනීමද සිදුවේ. එක් එක් අයට සිදුවූ සිනහ ගන්වන සිදුවීම්ද මේ තුළින් පවසයි. උදාහරණයක් ලෙස රංග භූමිගේ කොනක කවුරුන් හෝ නිදන් හිටියොත් යම් කෙනෙක් වට්ටි කරුවන්ට මුදල් දී අසවල් ගස යට අසවල් පුද්ගලයා බීල බීල හොදටම නිදි ඇහැරවන්න කවුරුත් නැද්දෝ ආදී ලෙස පවසයි. අවසානයේ දී මේ ලැබුණ මුදල් සියල්ල එක්කර ඒ වන විට කැවිලි බදුනේ වටිනාකම ප්‍රකාශ කරයි. පසුව ඒ මුදලේ සිට බදුන වෙන්දේසි කරයි. වැඩිම ඉල්ලුමට ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි කීමෙන් අනතුරුව ගණන ස්ථීර කර ඉල්ලූ පද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන කැවිල බදුන ලබාදේ. පසුව එන්නේ සල්පිල් වෙන්දෙයියයි. මෙහිදී විවිධ කෑම වර්ග, විවිධ භාණ්ඩ ආදිය වෙන්දෙසි වේ. නමුත් බොහෝ දුරට වෙන්දෙසි වන්නේ කෑම වර්ග වේ. එයට හේතුව වන්නේ ජහුටා නැරඹීමට පරමිණෙන්නේ විනෝද උදෙසා නිසා කෑම වර්ග ඒ පිරිසට එතැනදීම බොදා හදා ගැනීමට හැකි වීමය. මේ වෙන්දේසිය තරගකාරී වවේ. එකිනෙකා පරයමින් ඉල්ලුම් කිරීම බලාසීටීමට විනෝද ජනක දෙයකි. එක් වරම තැන් දෙකකින් එකම මුදලක් කියවූ විට උදාහරණයක් ලෙස 50 කියවූ විට නිවේදකයා "50 දෙපොලෙ" යයි පවසයි. එ වගේම පිරිසක් එක් මුදලකට ඉල්ලූ විට තවත් පිරිසක් ඊට වඩා මුදලකට ඉල්ලූ විට උදාහරණයක් ලෙස පාර්සලය වඩේනම් "කෑවද වඩේ?" ලෙසින් හඩනගා පවසයි. මේ තරල කාරීත්වය ඉතාමත් විනෝද ජනකය. මේවා සංවිධානය කරන සිමිති සමාගම් මේ තුළින් විශාල මුදලක් එක් කරගනී.
මෙයින් අනතුරුව  නාට්‍ය සංදර්ශනය ඇරඹෙයි. නාට්‍යය අලුයම පහන් වන තුරුම පවතී. බොහෝ විට පිරිස් නිවෙස් බලා යන්නේ ඉර උදාවට ඔන්න මෙන්න කියා තිබියදීය. මේ නාට්‍ය වල රගපාන රංගන ගීල්පීන් තමන්ගේ ජීවිකාවත් කරගෙන යන අතරයි මේ සදහාත් දයක වන්නේ. මෙහි පහළින් දැක්වෙන වීඩයෝව මහව පොල්පිතිගම නවරංගන කලායතනයේ ජහුටාවකි. මෙහි එන විකටයා අප හොදින් හදුනන දිසානායක මහාතාය. ඔහු CTB ආයතනයේ මහව ඩිපෝවේ බස් කොන්දොස්තර වරයෙකි.
බොහෝ දෙනකු මේ කලාව පිළිබඳ නොදන්නේ එයට නිසි අනුග්‍රහයක් නොලැබෙන නිසා යැයි සිතිය හැකිය. ඕනෑම කලාවක් පවතින්නේ එය මධ්‍යම පන්තික ජනතාව අතර පවතින විට ය. මෙම කලාව තවමත් පවතින්නේ ගැමි ජනතාව අතර ය. ඒ හේතුව නිසා ම ජනපි‍්‍රයත්වයෙන් හීන වී ඇත.
 ප්‍රාථමික ලක්ෂණ කිහිපයක් ද මේ ජහුටා රංගනයේ දැකිය හැකි අතර ඒ ලක්ෂණ දියුණු තත්ත්වයට පත්කිරීමෙන් මේ රංගන කලාව වර්ධනය කළ හැකි ය. රංගන ශිල්පීන්ගේ හැකියා දක්ෂතා වර්ධනය කිරීමට මඟපෙන්වන්නකු සිටින්නේ නම් ඔවුන්ගේ දක්ෂතා ඔපමට්ටම් කරගත හැකි ය. ඒ තුළින් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන්, සංගීත ශිල්පීන් මෙන් ම නිර්මාණ ශිල්පීන් ද සමාජයට දායාද කළ හැකි ය.
එය බුද්ධිමත් පාඨකයන්ගේ, ශ්‍රාවකයන්ගේ ප්‍රාර්ථනයකි. අධ්‍යක්ෂවරුන් සතු ස්ව නිර්මාණ නාට්‍ය දෙස බැලීමේදී පෙනෙන්නේ ඔවුන්ට බොහෝ දුරක් යාමට හැකියාව ඇතැත් එක තැන පල් වෙන බවකි.
එයට ප්‍රධාන හේතුව අනුග්‍රහයේ ඇති දුර්වලතාවයයි. අරුත්සුන් ටෙලි නාට්‍ය, සිනමා පට, ගී, කවි වලට වඩා ඔවුන් සතු නිර්මාණවල හරයක් ඇත. රාජ්‍ය අනුග්‍රහය, ජනමාධ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නම් ඔවුන්ගේ දක්ෂතා ඉස්මතු කර ගත හැකි ය. මේ කලාව වියැකී යාමට නොදී රැකගැනීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් කාගේත් යුතුකම වන්නේ මෙහි අපට ආවේණික ලක්ෂණයන් ගැබ් වී ඇති බැවිනි.