Sri Lanka

Friday, August 9, 2013

දුව දීමට කාර බන්දා... ධනවතෙක් සොයයි මෑණී...


පහුගිය දවස් වල ගොඩක් කාර්ය බහුල වෙලා හිටිය නිසා අලුත් යමක් දාන්නත් බැරි උනා. විශේෂන්ම අපේ ගයාන් සහෝදරයගෙ මිත්තනියගෙ අභාවය අපිට බොහොම ශෝකය ගෙන දුන්න කරුණක් උනා.

ඉතින් අපි අද මුලින්ම පුංචි කතාවක් කියන්න හිතුනව. කවුරු කවුරුත් ආස ඇති නොවැ කතාවක් අහන්න.

එක්තරා පිටිසර ගමක සිද්ධ වෙච්ච සැබෑ සිදුවීමක් තමා අද අපි මේ ඔබ තමුන්නාන්සේලාට කියන්ට යන්නේ... ඔන්න ඒ කාලේ.. ඒ කියන්නේ අදට අවුරුදු විස්සකට විතර කලියෙන් උන්නා සිරිසේන බාස් කියලා බාසුන්නැහේ කෙනෙක්.. බාසුන්නැහේ කිව්වම නොයෙකුත් බාසුන්නැහේලා ඉන්නවා නෙව... මේ බාසුන්නැහේ කම්මල් බාසුන්නැහේ කෙනෙක්.. ඒ විතරක් නෙවෙයි වඩු වැඩ එහෙමත් හොඳින් දැන උන්න මනුස්සයා වෙච්චි... අපරාදේ කියන්ට බැහැ කලොත් වැඩක් ආයේ ඒක සුපිරියටම තියෙනවා.. ඒ තරං අත්ගුණේ... උන්දෑ හැදුව කැත්තක්.. මන්නයක්.. පොරවක්.. වෑයක්.. නෙවෙයි ඕනම ආයුධයක් ආයේ ඉතිං හත් අවුරුද්දක් පාවිච්චි කොලෑකි කිසිම කරදරයක් නැතිව... ආයේ ඉතිං බාල වැඩ නැහැ... හොර බඩු නැහැ... ඕනම වැඩක් එක පාරින් ටක්කෙටම කොරනවා..සිරිසේන බාස් එහෙම වැඩකාරයෙක්..

හැබැයි...

තමුන්ගේ රස්සාව කොරද්දී ඕන වැඩක් එක පාරින් කොරන්ට හැකියාව තිබුන මේ මනුස්සයට ජීවිතේ එක වැඩකදීනං එකොලොස් පාරක් උත්සහ කොරලත් වැඩේ කොරගන්ට බැරි උනා.. ඒ මොකක්ද ඒ වැඩේ...

ඒ තමා කොල්ලෙක් හැදිල්ල...

පරම්පරාවෙන් පරම්පරාවට ආව රස්සාව තමුන්ගෙන් පස්සේ ඉස්සරහට ගෙනියන්ට කොලු පැටියෙක් හදාගන්ට කියලා මේ මනුස්සයා කොච්චර දත කෑවත් හැමදාමත් හම්බ උනේ වැරදි උත්තරේමයි... ඒ කියන්නේ මුංදැගේ මායියට ලැබෙන හැම දරුවම ගෑණු දරුවෝ වෙච්චි... එක පාරක් දෙපාරක්නං මදෑ... එකොලොස් වතාවක්ම උත්තරය ඔහොමමයි.. අවසානෙදී කාන්තා කිරිකැට් කණ්ඩායමකට සරිලන ගානට දරුවෝ ලැබුනට පස්සේ තමා මුංදෑ තමන්ගේ උත්සහය අතෑරලා දාලා තිබුනේ...

ඒකෙන් මේකෙන් උනේ මහ දෙපලයි දරුවෝ එකොලොස් දෙනෙකුයි එක්ක එහෙං පිටින් දහතුන් දෙනෙකුගේ නඩයක් නඩත්තු කොරන්න මුංදැට සිද්ධ වෙච්ච එකයි... හිතලා බලන්ටකෝ අද කාලේ මේ ඉන්න උන්නැහේලා දරුවෝ එකෙක් නැත්තං දෙන්නෙක් හදාගෙන උන්ට කන්න අදින්න දෙන්න විඳින දුකක්... එහෙවු එකේ මෙච්චර සේනාවකට සලකන එක ලේසි පාසු වැඩක්ද..? නිකමට හිතලා බලමුකෝ... හොඳි මාළු පිණි ඕන නැහැ ලුණු ඉහලා හරි කන්ට දෙන්නට බත් විතරක් තැම්බුවත් ඒ බත් හැලිය හෝටලේක බත් හැලිය වගේ වෙන්ට එපෑ.. එතකොට ඉතිං අනිත් කරුණු කාරණා එක්කාසු වෙලා එද්දී ඕනම මනුස්සයෙක් හොම්බෙන් යනවා නෙව...

ඒත් ඉතිං අපරාදේ කියන්ට බැහැ සිරිසේන බාස් කොහොම හරි යකඩ තලලා තලලා හරි හම්බු කොරලා මේ පවුල නඩත්තු කොලා... කොහොම හරි කාලෙත් එක්ක ළමයි ලොකු වේගන ආවා... ඔහොම ගෙහුන් තමා වැඩිමල්ම කෙල්ලොන්ගේ දීග දෙන කලවයසත් ආවේ...

ජීවිත කාලෙම යකඩ තල තල පවුලට කන්ට අදින්ට දුන්නා මිස හරි හමන් ගෙයක් දොරක් හදා ගන්නවත්.. ළමයි දීග දෙන දවසකට දෙන්ට කියලා දෑවැදි එක්කාසු කරන්ටවත් සිරිසේන බාස්ට පුළුවන් උනේ නැහැ... ඒත් එහෙමයි කියලා කෙල්ලෝ ටික ගෙට නාකි වෙන්ට අරින්ටයෑ... කොයි දේටත් සමර්ථ අපේ සිරිසේන බාස් වැඩි කල් නොයා ඒකට පිළියමක් හොයා ගත්තා...

කොහොමින් කොහොම හරි වසර දහයක් දොළහක් අතර කාල සීමාවකදී තමුන්ගේ දූරු ටික ඔක්කෝම වගේ දීග දෙන්ට සිරිසේන බාස් සමත් උ‍නා... එහෙම කලේ කොහොමද..?

ඒක කලේ මෙහෙමයි...

කාලයක් තිස්සේම තනියම කම්මලේ වැඩ කොර කොර හිටිය සිරිසේන බාස් තමුන්ගේ වැඩට ගෝලයෙක් ගන්ට තීරණය කොලා... එච්චර කාලයක් තමුන් යකඩ තලද්දී කම්මලේ මයින හම අඳින්ට උදවු උනේ බාස්ගේ පවුල හරි ලොකු මහත් වෙච්ච දූරු හරි උනත් ඒ අය කම්මලෙන් අහක් කොරලා ඒ වැඩේ කොරන්ට පිටින් ගෝලයෙක් ගත්තේ අරමුණු රාසියක් හිතේ තියාගෙන තමා...

සිරිසේන බාස් ආවට ගියාට ගෝලයෙක් ගත්තෙත් නැහැ... හොඳට හයිය හත්තිය තියෙන... සිහි කල්පනාව තියෙන වැඩට කම්මැලි නැති එකෙක්ව තමා තෝරලා ගන්නේ.. ඒ අරගෙන ආයේ ඉතිං කිසිම ගුරු මුෂ්ටියක් නැතිව හොඳින් වැඩපලත් උගන්නනවා... ගෝලයොත් ටික දවසක් යද්දී තමන් වගේම දක්ෂ කම්මල් කාරයෙක් කොරලා ගන්ට සිරිසේන බාස්ට ඒ හැටි අමාරුවක් උනේ නැහැ...

ඒ අතරෙම තවත් වැඩක් කෙරුනා...

කලිනුත් මං කිව්වා නෙව සිරිසේන බාස්ට ළමයින්ට කන්ට අදින්ට දෙනවා ඇර ගෙවල් දොරවල් හදන්ට පුළුවන් කොමක් තිබුනේ නැහැ කියලා... ඒ හින්දා උන්දැට තිබුනේ කම්මල ගාවම අටෝ ගත්ත පුංචි ගේ පැලක්.. ගේ පැලක් කිව්වට ඒකේ ඔය දැන් ගෙවල් දොරවල්වල වගේ කාමර අරවා මේවා මොනවත්ම නැහැ... තනි කාමර කෑල්ල... ඕක අඩි පහලොහක් විතර පළල අඩි විස්සක් විතර දිග ගේ කෑල්ල.. ගෙයි පිටිපස්ස පැත්තේ යාලත්තක් බාලා ඒක තමා කුස්සිය හැටියට පාවිච්චි කොලේ... අනිත් හැම දේම අර තනි කාමරේ ගේ කෑල්ලේ තමා...

ඉතිං සිරිසේන බාස් ගෝලයෙක් මුලින්ම වැඩට ගන්නේ ටිකක් පායන කාලේ බලලා... එහෙම වැඩට ගන්න ගෝලයට ගෙදරින් කෑම දුන්නත් රෑට නිදියන්ට වෙන්නේ කම්මල් කෑල්ලෙම තමා... ඔහොම ටික දවසක් කම්මලේම නිදි කරවලා වැඩ රාජකාරි පුරුදු පුහුණු වේගන එනකොටම ඔන්න වැහි කාලේ අල්ලනවා.. ආන්න එතකොට බාසුන්නැහේ තමුන්ගේ ගෝලයට කතා කරනවා කම්මලේ තෙමි තෙමි නිදියන්ට බැරි හින්දා වරෙං ගේ ඇතුලේ තියෙන හැටියකට නිදියන්ට කියලා...

මේ ගේ ඇතුලේ ආයේ කාමර එව්වා මෙව්වා නැති හින්දා හැමෝම නිදියන්නේ බිම දිගට එළපු පැදුරු වල එකා ළඟ එකා හැටියට තමා...බාසුයි පවුලයි එක කොනක නිදියනකොට එතැන ඉඳන් දූලා පෝලිම දොයි... අළුත් ගෝලයට ඉතිං ලැබෙන්නේ පෝලිමේ අන්තිම... නිතරම ඔය පෝලිම අවසානෙට ඉන්නේ ඊ ළගට දීග දෙන්න සුදුසු වෙලා හිටිය කෙලී තමා... මං දැන් අමුතුවෙන් කියන්ට දෙයක් නැහැනේ... වැහි දවස් ටික ගෙවිලා ඉවර වෙන්ට කලියෙන් උදෑහැනක බලන කොට පැදුරු පෝලිමේ හිටිය දෙන්නෙක් අඩුයි.. ඒ කියන්නේ කොනේම හිටිය සිරිසේන බාස්ගේ ගෝලයයි..එතැනම හිටිය කෙල්ලයි...

ඔන්න ඔහොම තමා වැඩේ කෙරුනේ... අවසානෙදී අවුරුදු කිහිපයක් ඇතුලත බාස් තමුන්ගේ දූරු ටික ඔක්කෝම දීග දුන්නා... හැබැයි සත පහක්වත් දෑවැදි නැතිව... ඒ විතරක්ද..? බොහෝම හොඳ ඇගේ පතේ හයිය හත්තිය තියෙන... දෑතේ රස්සාව දන්න උන් තමා බාස්ගේ බෑනලා උනේ... කෙල්ල අරං පැනලා ගියාට මොකද හත් අට මාසයක් යද්දී ජෝඩුවම එනවා මහ උන්දලා බලලා යන්ට... බාසුත් වැඩි ආරෝවක් නැතිව උන්ව පිළි ගන්නවා..තරහක් මරහක් නැහැ.. මොකට තරහා වෙනවද.. ගෙදරට නාකි වෙන්ට හිටිය කෙල්ලව උස්සං ගියාට... බෑනලා උනත් වරදක් හිතුවේ නැහැ මාමණ්ඩි ගැන.. ඇයි ඉතිං දෑතේ රස්සාවත් හුරු කරලා දීලා දුවෙකුත් දුන්නට පස්සේ... හරියට අර දිසාපාමොක් ගාව ඉගෙන ගෙන දුවව හම්බ උනා වගේ නෙව... ඉතිං ඒ හැමෝම සතුටෙන් සමාදානෙන් උන්නා... ඔය කොරමෙට තමා දූරු එකොලොහම දීග යවන්ට බාස් සමත් උනේ...

දැන්නං මේ කියන බාසුන්නැහේ මිය පරලොව ගෙහුන්.. ඒත් උන්දෑ බොහෝම හොඳින් තමන්ගේ දූදරුවන්ගේ සැලකුං සත්කාර විඳලා සුවසේ අවසාන කාලේ ගත කොරලයි මියෑදුනේ... ඒ වගේමයි උන්දැගේ දූවරු ගත්ත මිනිස්සුත් උන්දෑ වගේම දක්ෂ වැඩකරුවෝ උන හින්දා ඒ එක කෙල්ලෙකුටවත් වරදක් අඩුපාඩුවක් උනෙත් නැහැ... අදටත් රටේ එක එක පළාත්වල බොහෝම දියුණුවට පත් වෙලා ඉන්න ඈයෝ‍‍‍...

වරදින්ට හැකියාවක් නැහැනේ ඉතිං... වේලපහම හොඳින් පරීක්ෂා කොරලා ගත්ත හයිය හත්තිය තියෙන උන්දලට ආයේ නොවරදින විදියට තමුන්ගේ කරුමාන්තය කියා දීලා දක්ෂයෝ කරලා ගත්තු බෑනලා නෙව උන්දැට උන්නේ...

ඔන්න ඔහොමයි සිරිසේන බාසුන්නැහේ දෑවැදි අනං මනං නැතිව තමුන්ගේ දූරු දීග දුන්නේ...

එත් ඉතින් දැං කාලෙ එහෙම බෑ නොවැ. දුවෙක් ඉපදුනොත් ඒක ඒ අම්මටයි තාත්තටයි ලොකු වගකීමක්. ඇයව පෝෂනය කරන්න ඕන. ඇයට අධ්‍යාපනය ලබා දෙන්න ඕන. ඇයව මේ දුෂ්ඨ සමාජෙන් ආරක්ෂා කරගන්න ඕන. අවසානෙදි හොද ස්වාමි පුරුෂයෙකුට ඇයව බන්දලා දෙන්න ඕන.

ඉතින් ඔන්න ඔය තැනට අවම තමා ප්‍රස්න ගොඩයි. අම්මට ඕන ධනවත් තරුණයෙක්. ඒත් තාත්තට ඕන උගත් බුද්ධිමත් තරුණයෙක්. එත් එක්කම නෑදෑයො එකතු වෙලා හොද කුලවත් තරුණයෙක් හොයයි. එත් ඉතින් සමහර විට දුව කැමති දුප්පත් කෙනෙක් බදින්න වෙන්න පුලුවන්.

අපි දන්නව ජීවිතේ වරදින්න පුලුවන් තැන් දෙකයි කියෙන්නෙත එකක් තමා විභාගය. අනිත් එතක තමා විවාහය. ඉතින් මේ දෙකෙන් මොකක් වැරදුනත් ජවිතේ අවුලක්ම තමා වෙන්නෙ. ඒ නිසා අපි මෙන්න මේ කාරණා පිළිබදව හොදින් හිතන්න ඕන.

මෙන්න මේ කාරනා පිළිබදව බොහොම අනර්ඝ ගීතයක් නිර්මාණය වෙලා තියනව මීට දශක ගණනාවකට උඩදි. එත් මේ ගීය ලියුවෙ කවුද, මුලින්ම ගායනා කලේ කියන කාරණා නම් අපිට අපිට හොයාගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කියලත් ඉල්ලනව.

දුව දීමට කාර බන්දා..
දුව දීමට කාර බන්දා...
ධනවතෙක් සොයයි මෑණී...
ධනවතෙක් සොයයි මෑණී...

බොහෝ උගත්තූ පියා සොයාවී...
බොහෝ උගත්තූ පියා සොයාවී...
නෑදෑයෝ කුලවතෙක් සොයාවී...
නෑදෑයෝ කුලවතෙක් සොයාවී...
ඒ මුත් දොනීගේ අභිලාශේ...
ඒ මුත් දොනීගේ අභිලාශේ...
දුප්පත් තරුණෙක් සමග විවාහේ...
දුප්පත් තරුණෙක් සමග විවාහේ...
ජීවත් වන්නටමයි නිතරම ආලේ...
ජීවත් වන්නටමයි නිතරම ආලේ...

රූපෙට ආලෙන් කෙරෙන විවාහේ....
රූපෙට ආලෙන් කෙරෙන විවාහේ....
නැත පල කලකදි විපරිත වේවී...
නැත පල කලකදි විපරිත වේවී...
මව්පිය වැඩිහිටියන් හට යටතේ...
මව්පිය වැඩිහිටියන් හට යටතේ...
හැදෙනා සුවිනිත කුළගන ලෝකේ...
හැදෙනා සුවිනිත කුළගන ලෝකේ...
මැණිකකි ස්ත්‍රී වඩනා සෝබන...
මැණිකකි ස්ත්‍රී වඩනා සෝබන...