Sri Lanka

Friday, August 2, 2013

කඩමණ්ඩ්යේ දොළ අයිනේ නුඹව පෙනී..

ගම කියල කියන්නෙ ඇත්තටම බොහොම සුන්දර තැනක්. කිසිම සීමා මායිමක් නැති, වැට කොටු බැමි නැති ඉතාමත්ම නිස්කලංක තැනක්. එකිනෙකා පරයමින් නැගී සිටින්න හදන නාගරික පරිසරයෙ මිනිස්සුන්ට වඩා බොහොම සුන්දරත්වයෙන් පිරුණු මිනිස්සු පිරිසක් තාමත් ගම් වල ජීවත් වෙනව. නගරයේ කලබලකාරී පරිසරයෙන් මිදුන නිස්කලංක සුළං හමන ගම කොයි තරම් නම් නිදහස් බවක් සිතට ගෙනෙනවද. තාමත් ගම තුළ පුදුමාකාර සහෝදරත්වයක් දකින්න පුළුවන්. ගමේ මළ ගෙදරක් උනත්, මගුල් ගෙදරක් උනත්, දානෙ ගෙදරක් උනත් ගමේ හැමෝම එකතු වෙලා ඒ හැම කටයුත්තකම නිරත වෙනව. තමුන්ට ආරාධනාවක් තිබුණත් නැතත් හැමෝම තමන්ගෙම කටයුත්තක් වගේ හැමදේම හොයල බලල කරනව. ඒ වගේමයි හේනට ගියත් කුඹුරු පිටියට ගියත් එකිනෙකාට උදව් කරගිනිම්න් තමා ඒ හැම දෙයක්ම කරගන්නෙ. ඒ තමයි ඔවුන් තුළ තිබෙන අව්‍යජත්වය. 'සාගර පළන්සූරිය' කිවිදුන් විසින් රචිත සුදෝ සුදු කාව්‍යෙය් එන කවියක මෙන්න මේ විදියට ගමේ සුන්දරත්වය සදහන් වෙනව.

ගොඩ මඩ දෙකම සරු සාරය ඵල බරය
කටුරොද ගම්මානෙ තරමක පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගග මනහරය
කඩ මණ්ඩිය පිහිටියේ ගම කෙලවරය

ඇත්තටම ගමේ තියන වෙල් එළිය, වැව, ගම මැදින් ගලන ගග, ගමේ හැමෝටම බැන බැන හරි ණයට බඩු දෙන කඩමණ්ඩිය මේ හැම දෙයක්ම හරිම සුන්දරයි. ඒ වගේමයි ගමේ සිද්දවෙන හැම දෙයක්මත් හරිම සුන්දරයි. 

ගම ඇතුලෙ මොනදේ සිද්ද උනත් ඒ හැම දෙයක්ම කතා වෙන්නෙ ගමේ කඩමණ්ඩිය ළග තමයි. හැම වැදගත් දෙයක්මත්, ඒ වගේම පුන්චි පුන්චි ඕපාදූපත්, ඕනැම විදියක තොරතුරක් දැනගන්න පුලුවන් කඩමණ්ඩිය ළග ටික වෙලාවක් ඉදගෙන දාං අතක් එහෙම ඇද්දොත්. 

ඉතින් බොහොම සුන්දර උනාට කුල මල ප්‍රශ්නත් ගම් තුළ නැතුවම නොවෙයි. හැමෝම එකට වැඩ පොල කලාට විවාහය වැනි කරණා වලදි කුලය කියනදේ බොහොම හොදින් හොයනව. ඉතින් ගම බොහොම සුන්දර උනාට ගමේ ඉන්න ප්‍රෙමවන්තයින්ටනම් මේ කාරණා මවන්නෙ ඒ තරම් හොද පරිසරයක් නෙමෙයි. පෙම්වතුන් දෙන්නෙක් එකම කුලේක උනත් ඔවුන් මුන ගැහුනත් බොහොම පරිස්සමින් බොහොම රහසිගතව තමා. මේ දෙවල් ගමේ වැඩිහිටියන්ගෙ ඇස ගැටුනොත් ඒ තරම් හොද දේවල් වලට නොවෙයි ඔවුන්ට මුහුණ දෙන්න සිදු වෙන්නෙ. අනිත් එක තමයි ගමේ තරණ තරුණියන් තුළ වැඩිහිටියන් පිළිබදව ලොකු ගෞරවයක් තිබුණ. ඉතින් රහසිගතව සම්බන්ධකම් පැවැත්වුවා උනත්, හැම ගමකම ඉන්නවනේ හැමෝගෙම තොරතුරු එකතු කරන අම්මන්ඩිලත්. ඉත්න මේ අය මේ දෙවල් දැනගත්තොත් නම් විනාසයක් තමයි සිද්ද වෙන්නෙ. ඒ වගේ අය නිසා අහිංසක පෙම්වතුන්ට 'කැලෑ පත්තරයක්' දෙකක් වදින අවස්ථාත් නැතුවම නොවේ. (කැලෑ පත්තර යනු ගම් වල සිදුවන හරි හෝ වැරදි විවිධ සිදුවීම අලලා එවාට විරුද්ධ පිරිස් විසින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට අපහාස වන අයුරින් ඍජුවම හෝ වක්‍රාකාරව ප්‍රකාශ ලෙස හො කවි ලෙස පත්‍රිකා වල ලියා ගමේ පොදු ස්ථාන වල ඇලවීමයි.) ඉතින් ඒ නිසා බොහොම රහසිගත විදියට තමන්ගෙ ආදරේ විදින්න මේ අය වග බාල ගන්නව. ඉතින් කරන්නම දෙයක් නැතිම උනාම තමයි මේ පෙම්වත්තු හොර රහසෙම විවාහ වෙන්නෙ. ඒක ඉතින් අපි කවුරුත් අනුමත කරන දෙයක්නම් නෙමෙයි. ඒත් මේ ගම් වල අව්‍යාජ විදියට ජීවත්වන මේ අහිංසක දෙමව්පියෝ මේ දරුවන්ට සමාව දීල අයෙත් තමන්ගෙ ගම් බම් වලට ගෙන්නගන්නව.

ඉතින් මේ වගේ සුන්දර එක්තරා ගමක ඉන්න තරුණයෙක් ගමේ එක් තරුණියකට ආදරය කරන්න පටන් ගන්නව. ඇය දෙන ඉගි වලින් ඔහු හිතනව ඇයත් ඔහුට ආදරය කරනව කියල. ගමේ කඩමණ්ඩියට ගියත් ඇළ දොලට ගියත් වෙල් එළියට ගියත් ඔහු ඇයව දකිනව. මොකද දැන් වගේ නෙමෙයි ඒ කාලේ ගම් වල තරුණියන් තමන්ගෙ දෙමාපියන් එක්ක හරි හරියට කුඹුරු වැඩ කරනව. 
තමන් ආදරය කරන කෙනා නෙත් කොනකින් හරි දකින එක හැම අදරවන්තයෙකුට හරි අදරවන්තියෙකුට හරි හිතට සතුටක් ඇතිකරන කාරණයක්. ඉතින් මේ ආදරය තවම ප්‍රකාශ නොකරපු ඒකපාර්ශවික ආදරයක් වුනත් තමන්ගෙ පෙම්වතිය දිහා මොහුත් හොරෙන් හරි බලන්න පෙළඹෙනවා. 

ඒත් ඉතින් අර අපි කලින් කිවුව වගේ ගම් වල ඉන්න මිනිස්සුන්ගේ තියන සමහර ගතානුගතික අදහස් හින්ද මේ දෙන්නට නිදහසේ ආදරය කරන්න ලැබෙන්නෙ නැහැ. ඉතින් මේ දෙන්නත් බොහොම බයයි යම්කිසි ප්‍රශනයක් ඇති වෙනවට. අනිත් එක තමා කතාවක් තියනවනෙ සුළගටත් කන් තියනව කියල. එ නිසා මේ දෙනන තමන්ගෙ ආදරේ හිතේ තදකරන් ඉන්නව.

ඒත් මේ තරුණය බොහොම දුක් වෙනව තමන් පතන අදරේ නොලැබෙන එක ගැන. ඔහු සමාජයෙන් ප්‍රශ්න කරනව තමුන්ට මේ නොලැබෙන ආදරය ගැන.

ඉතින් මේ සිද්ධිය අහන දකින ආචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ හිතේ බොහොම අපූරු පද සංකල්පනාවක් මැවෙනව. ඒ පද සංකල්පනාවට නන්දා මාලනියන්ගෙ හඩ බොහොම අපූරුවට මුසු වෙනව. ඇය ගයන්නෙ මේ තරුණයගෙ හිතේ ඇතිවෙන සිතුවිල්ලයි.

සුනිල් ආරියරත්නයන් ගීතය රචනා කරන්නෙ බොහොම අපූරු පෙරවදනක් එක්කමයි.

පෙරවදන:-

මුළු මහත් ලෝකයම ඔබත් මාත් දෙසා ඇසිපිය නොහෙලා බලා සිටියි..අප කෙසේද කතා බහ කරන්නේ..මාදැන් ගයන්නේ ඒ අභාග්‍යයේ ගීතයයි” "කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී.."

ගීතය - 

කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී 
නැවතී බලනවා මොහොතක් කොහොම හරී 
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපී 
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී 

ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා 
සුඟළට සියුම් දාහක් කන් ඇති හින්දා... 
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා 
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා 

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී 
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී 
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී 
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී