Sri Lanka

Thursday, August 8, 2013

සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා


වික්ටර් රත්නායකයන් කියල කියන්නෙ හෙළ ගී අඹරට පායපු බොහොම අපූරු තරුවක්. ඒ හැබැයි SMS වලින් පායලා කෙටි කාලයකින් බැහැල ගිය තරුවක්නම් නෙමේ. තවමත් ප්‍රබුද්ධ චින්තනයක් තියන බාල මහලු කවුරුත් ඔහුට ආදරේ කරනව. ඔහු ගැයුව ගීත අදත් බොහොම ලෙන්ගතුව රස විදින්න පුලුවන්. පුදුමාකාර මිහිරියාවක් ඒ තුළ තියනව. ඉතින් අපිත් ඔයාලට ගීතයක් අරන් එද්දි ආවට ගියාට ගීතයක් තොරගන්නෑ මේ වගේ අපූර්වතම ගායකයෙක්ගෙ ගීයක්ම තමයි තෝරගන්නෙ. ඉතින් වික්ටර් රත්නායකයන්ට තවමත් මිනිස්සු පුදුමාකාර විදියට ආදරෙයි. ඒ බව හොදින්ම වැටහුනා 2012 ජූලි 20 දා ලුම්බිණි රගහලේ වික්ටර් රත්නායක "ස" සමාප්ති ප්‍රසංගයට පැමිණිලා හිටිය පිරිස දැක්කම. පරම්පරා කීපයකම පුද්ගලයො හිටිය. සමහරු දහ දොලොස් වෙනි වතාවට "ස" බලන්න අව අය. ප්‍රසංගය අවසන් වෙද්දි වික්ටර් රත්නායකයන්ට ආදරේ කරන හැමෝගෙම ඇස් වල කදුලක් රැදිල තිබ්බ. එක මාධ්‍ය භවිතය තුළ මිනිස්සුන්ගෙ ඇස් වල ඇති කරපු කදුලක් නෙමෙයි නිරායාසයෙන් ඒ ඇස් තුළට නැගුනු කදුලක්. නැවත අපිට "ස" නතත් මේ විදියට හරි ඔහුගෙ ගීයක් දෙකක් රස විදින්න ලැබෙන එකත් ලොකු භාග්‍යයක්. 
ඔහුගෙ සිය ගණනක් ගීත අතරින් අපි තොරගත්තෙ සද කැන් වැසිලා කියන ගීතය.


සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනුදැනේ

මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

ගායනය: වික්ටර් රත්නායක
ගේය පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක


මේ ගීතයට නිමිති වන්නේ එක්ව වසන යුවළක්. විවාහක යුවළක් කියල කියමුකෝ. දිවියේ රස තැන් සුව තැන් කටුක ඉම් පසුකොට එළඹෙන එක්තරා මොහොතක බිරිඳ මෙතෙක් වූ බැඳීම නිමා කොට වෙනත් පෙම්වතෙකු හා නික්ම යාමට සැරසෙයි. මෙහි සුවිශේෂත්වය වන්නේ බිරිඳ නොදන්නේ වුව ද සැමියා ඈ යන්නට සැරසෙනයුරු ඇයටද නොදැනෙන සේ නිහඬව බලා සිටීමයි. ගීතය සිතුවම් වන්නේ ඒ මොහොතේ දී බිඳෙන ඉපදෙන ඔහුගේ සි‍තුවිලි රළ අනුවය.

"
ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ"

අනන්ත වාරයක් මිනිස් ජීවිත වල සිදුවී ඇති පරිදිම සිය සමස්ත පැවැත්මෙහි ප්‍රමෝදය ඔහු ද කේන්ද්‍රගත කොට ඇත්තේ තමන් පෙම් කළ මේ ගැහැණියට හා සමග බැඳි බැඳීමටය. "ජීවිතයම සතු එකම සුවේයනුවෙන් ඔහු පවසන්නේ එයයි. ප්‍රේමයෙහි උන්මාදය ද තමන්ට තමන් අහිමි කර ගැනීම ද ස්වකිය පරම උත්කර්ෂය අනෙකාට පිදීම ද එහි වෙයි. ඇගේ වෙනස ඔහුට දැනෙයි..සංවේදනය වෙයි..ඒ එක්ව ගෙවී ගිය සුවහසක් නිමේෂයන්ගෙන් ලද දැනුමයි. ඇය වෙළෙන්නේ ක්ෂණික හී සරයකය. එය අනෙකෙකුගේ ඉංගිතයක්, මදහසක්, ඇරයුමක් විය හැකිය. ඔහු පරම සුවය ලෙස සැළකූ ප්‍රේමයේ බන්ධනය හැරදා ඇය එහි බැ‍ඳෙයි.

"
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ"

ඔහු ඇදහූ පරිදි ඈ ලොව දුටු නෙත් ඔහුගේය. පාරිශුද්ධ පෙම හා සංකලනය වී සතු කර ගැනීමේත් හිමිකම දැරීමේත් පුරුද්ද එහි දී මතුවෙයි. අනෙක් අතට ගැහැණිය ද නික්ම ගොස් ලබන්නට තනන්නේ බන්ධනයන්ගෙන් නිරවුල්වූ සැනසිල්ල හෝ පිරිමියාගේ දෑසින් නොව සිය දෑසින් ලොව දැකීමේ ස්වාධීනත්වය හෝ නොවේ. ඈ යළිත් පිවිසෙන්නේ සියළු ජීවින්ට පොදු වූ පරිදි තෘප්තිය හෝ සැනසිල්ල සොයා යාමේ අනවරත අරගලයටය. කෙනෙකුගෙන් ඉක්බිතිව තවෙකෙක්...ආශයන් පදනම් කොටගත් චෛතසිකයේ ස්වභාවික ස්වභාවය හෙවත් නොනවතින ගමන.

"
මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා"

සිතුවිලි කැළඹුණ ද ඔහු ඇගේ මේ තැත දෙස තැන්පත්ව බලා සිටියි. නික්මෙන්නට සැරසෙන ඈ නවතන්නට උත්සාහ නොදරයි. ශිෂ්ට යයි සම්මත සමාජයේ සුපුරුදු වියරු සහගත ප්‍රතිචාර වන යැදීම් හෝ තර්ජන ඔහුගෙන් නික්මෙන්නේ නැත. නොසරුප් බසින් බෙණෙමින් කඩු පිස්තෝල සොයා නොදුවයි. තමන් අන් සතු සිතක් නොබිඳි බැව් ඔහු දනියි. ඔහුගේ එකම ප්‍රතිඋත්තරය දෑත් බැඳ බලා සිටීමයි. බොහෝ විට ඒ පරිචය ඔහුට මුල පටන් නොතිබෙන්නට ඇත. කාලයේ තුවාල දැරීමම ඔහුට ඒ පන්නරය හිමි කළා විය හැකිය. එබඳු චරිත අපට සාහිත්‍යයේ දී මතු නොව සැබෑ ජීවිතයේදී ද ඉඳහිට හමුවෙයි. එක්ව යා නොහැකි තැන වෙන්ව යාමට ඉඩ දෙමැයි සමුනොගෙන නික්ම යන බිරිඳට ඔහු සිතින් පිළිණ දෙයි. සිදුවූ දෙය ලොවට හඬගා කියනු හැකිද? එක් අතෙකින් පවුල සහ සමාජයය. අනෙක් ප‍සින් කාලය විසින් හිමි කොට දුන් සංයමය සහ හික්මීමය. එය අත්දැකීම් විසින් පණ පෙවුණු හැඟීම් විරහිත ගූඨ චිත්තාවක ඉපදෙන ශුන්‍යවාදී සිතුවිලි සමූහයක ප්‍රතිවර්තනයක් ද?
එය එසේ නොවන බැව් අපට ඇඟවෙන්නේ ඔහු ගණඳුර අමතන අයුරු දකින විටය.

"
සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ...
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි"

ඔහු තුළ ඇති සෞන්දර්යය මේ ඝණඳුරෙහි ද මිය ගොස් නැත. මේ මොහොතේ ඔහුට එළිය දීමට කිසිදු මිනිස් ප්‍රාණයක් තබා සඳ ද සමත් නොවන බැව් ඔහු දනියි. මෙතෙක් එළිය දුන් සඳ අඳුරෙහි ගිලී ගොසිනි. සියල්ල නිහඬය. අත්හැර දමනු ලැබ ඇත. එහෙත් ඔහු පූර්ණ වශයෙන් වේදනාවෙන් මිදී ඇත්තේ නොවේ. තනිකම නෑ කීවද මිනිස් ස්වභාවය ප්‍රකට කරමින් ඔහු හුදෙකලාවෙන් පෙළෙයි. ඔහු පිළිසරණ ලෙස හඳුනා ගන්නේ අඳුරය. සඳ අහිමි වූ කල තරු වලින් කවර ඵල ද? අතේ දුරින් සිටින ඔහුගේ ප්‍රේමයේ සජීවී සංකේතයට වඩා ඒ ගණඳුර ඔහුට ළඟය. අඳුර තුළ සැඟවීම තුළ ඔහු සිය වේදනාව ද සිතුවිලි ද සඟවයි.

මානව සබඳතාවක් තුළ මිනිසෙකු අත්විඳින අසීරුම වේදනාවක් මෙන්ම ඒ අත්දැකීම තුළ මිනිසෙකුට ස්පර්ශ කළ හැකි මිනිසත් බවෙහි ඉහළම ඉසව්වක් වෙත ද මේ ගීත රචකයා අප ගෙන යන්නේ මෙබඳු අත්දැකීම්හි ලා නිරන්තරයෙන් දැක පුරුදු වෛරී තිරශ්චීන ඊර්ෂ්‍යාපරවශ ගති ස්වභාවයන්ට අභියෝග කරමිනි. මෙහි කතා නායකයා සියළු බැඳීම් වලින් මිදුණු තවුසෙකු සාංදෘෂ්ටිකවාදියෙකු හෝ ශුන්‍යවාදියෙකු නොවේ. ඔහුගේ සංකීර්ණ සිතුවිලි ඉතා සියුම්ව ප්‍රවේශමෙන් තෝරා ගත් වචන කිහිපයකින් අපට දැනවීමට ප්‍රේම් සමත් වන අයුරු අපූරුය. ඔහු සංයමයෙහි පිහිටයි. එසේම වේදනාව ද සංවේදනය කරයි. මෙය මිනිසෙකුගේ අත් කර ගැනීමක් මෙන්ම අත් හැරීමට අසීරු සංතාපය ද මනාව චිත්‍රණය කරන රචනයක් වන්නේ එබැවිනි.

නිර්මාණ ඉවෙන් හෝ බිහි කළ හැකිය. සැබෑ දැනුමෙන් තොරව එය සිදුවිය හැකිය. එහෙත් එයින් වෙනස්ව නිර්මාපකයා ලොව දෙස බලන දාර්ශනික මානය පොහොසත් වන්නේ යම් සේ ද ඔහු අතින් බිහිවන නිර්මාණය ද රසිකයා ඥානනය කිරීමේ වගකීම ඉටු කරමින් වඩ වඩා ඉහළට එසවෙයි.
වික්ටර් යනු මායාවී ලෙස අනුරාගී කට හඬකින් අප මෝහනය කරන ගාන්ධර්වයෙකි. මේ ගීතයෙහි ලා ඔහුගේ ගැයුම ඔහුගේම ස්වර සංයෝජනය හා මුසුවී වින්දනයේ සොඳුරුම ඉම් පෙදෙස් කරා අප ගෙන යයි. මිනිස් සංතානය ප්‍රවේශමින් ස්පර්ශ කොට එහි ප්‍රමෝදයන් හා වේදනාවන් අපට සියුම්ව දනවයි. එබඳු නිර්මාණ අප තුළ ඇති මිනිස් විභවය අවදි කොට ප්‍රඥාව දල්වයි.
වික්ටර් ම සංගීතයෙන් ඔප කොට සුනිල් එදිරිසිංහ "හුලවාලී" චිත්‍රපටයට ගැයූ "කුඩා ගමේ මද්දහනේ" ගීත‍යෙහි අවසන් කොටස ධර්මසිරි ගමගේ මහතා මෙසේ ලියා තබා ඇත.

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී