Sri Lanka

Wednesday, August 14, 2013

පිරිණිවන් මංගල්‍යයය


 

හැමදමත් එකම රාමුවකට කොටු නොවී තරමක් වෙස්ම දෙයක් සොයන්න ලොකු අවශ්‍යතාවයක් නිතරම තියනව බුවනෙකබා අපිට. අලුත් යමක් හිතමින් ඉන්නකොට මේ කාරණාවට මාව යොමු කරල නිතරම මාව ලියන්න උනන්දු කරන ඔයාට ගොඩත් ස්තූතියි. කේමදාසයන් ගැන මා නොදැන සිටි බොහෝ විස්තර මා සොයාගත්තේ විකිපීඩියා නිදහස් විශ්ව කෝෂයෙන් සහ තවත් බොහෝ වෙහෙසෙන්නට සිදු වුනා අනෙක් තෙරෙතුරු සොයන්නත්. අපි විශේෂයෙන්ම මතක් කරනව මේ දෙවල් අපි ඔයාලට අරන් එන්නෙ කිසිම මුදල් ඉපයීමේ බලාපොරොත්තුවකින් නම් නෙමෙයි කියන කාරණය. බුවනෙකබා අපි හැමදාමත් උත්සාහ කරන්නෙ සමාජයට වැදගත් දෙයක් කරන්න. සියල්ලට ඉහළින් සියල්ල දකිමින් බුවනෙකබා අපි හැමදාමත් අලුත් දෙයක් කලා. ඉදිරියටත් එහෙමයි.

ප්‍රේමසිරි කේමදාස

කේමදාස මාස්ටර් නමින් සංගීත ‍ක්ෂේත්‍රය දිග් විජය කළ ප්‍රේමසිරි කේමදාස (ජනවාරි 25, 1937 – ඔක්තෝබර් 24, 2008) වනාහි ශ්‍රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයා යනුවෙන් හැඳින්වීම වරදක් නොවේ. ලොව පුරා පවතින විවිධ සංගීත ශෛලීන් ගවේශනය කිරීම තුළින් අනන්‍ය සංගීත ශෛලියක් බිහි කිරීම කේමදාසයන් ගේ වෑයම විය. හේ, සිංහල ජන සංගීතය ද, හින්දුස්ථානී සංගීතය ද, බටහිර සංගීතය ද, වෙනත් අනේකවිධ සංගීත දහරාවන් ද, අද්‍යතන යුගයට ඔබින අයුරින් සංයුක්ත කිරීමෙන් තම තනු රචනාවන් නිර්මාණය කළේ ය. ඔහුගෙන් ශ්‍රී ලාංකේය සංගීත ‍ක්ෂේත්‍රයට සිදු වූ සේවය ඇගයීමක් වශයෙන් පසුකාලීන ව රුහුණ විශ්වවිද්‍යාලය මගින් කේමදාස ශූරීන් හට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.
තල්පිටිය, වාද්දූව නම් ගමෙහි දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස උපන් කේමදාස කෙරෙහි කුඩා කාලයේ දී කිසිවකුගේ අවධානය යොමු ‍නොවූයේ ය. වයස අවුරුදු හයේ දී අන් සියළුම ළමුන් තම දෙමාපියන් සමග පාසලට ඇතුලත් වීමට ගියත් කේමදාස ගියේ තනිවම ය. දිළිඳුකම නිසාවෙන් ම කේමදාසගේ අධ්‍යාපනය කෙරෙහි පවුලේ කිසිවකුගෙන් සහයෝගයක් නොලැබුණි. ඔහුට වයස අවුරුදු හතේ දී ඔහුගේ පියා රා මැදීමට ගොස් සිටිය දී පොල් ගසකින් වැටී මිය ගියේ ය. අනතුරුව පවුලේ බර කරට ගැනීමට සිදු වූයේ කේමදාසගේ මව වූ ඇලන් පෙර්රා මහත්මියට යි. ඈ ගම්මුන් හට තම වැස්සියගෙන් ලැබෙන කිරි විකුණමින් පවුල නඩත්තු කළාය. කේමදාස ගේ වැඩිමහල් සොයුරිය පැදුරු සහ පන් මළු විවීමෙන් ආදායමක් ලැබුවාය. කේමදාස ලංකාවේ ඒ වන විට අඩු ම මිලකට මිලදී ගත හැකි ව තිබූ බටනලාවක් මිල දී ගෙන වාදනය පුහුණු වූවේ ය. පෙරේරා පවුලේ කිසිවකුට නොතිබෙන සංගීතමය හැකියාව හා ඇල්ම කේමදාසට උරුම වූයේ කෙසේද යන්න කිසිවකු දැන සිටියේ නැත.
කේමදාස පසු කාලයක සඳහන් කළ පරිදි ඔහුගේ ජීවිතය වෙනස් වූයේ ඔහු ශාන්ත ජෝන් විද්‍යාලයේ හය වන ශ්‍රේණියේ උගනිමින් සිටියදී ය. ඒ වන විට පන්තියේ දක්ෂතම සිසුවා වූ කේමදාසට ලැබීමට නියමිත ව තිබූ ද්විත්ව උසස්වීම නොලැබුණු කල ඔහු ඒ පිළීබඳ ව විමසීමට විදුහල්පතිවරයා හමු වූයේ ය. කේමදාසට සිදු වූයේ විදුහල්පතිතුමාගෙන් තැලුම් පහර කෑමට ය. ඔහුට හිමි ව තිබූ උසස් වීම ප්‍රදේශයේ ධනවත් දේශපාලඥයකුගේ දරුවකුට ලබා දී තිබිණ. එතැන් සිට ඉගෙනීමට තිබූ ඔහුගේ ඇල්ම ක්‍රමයෙන් අඩුවූ අතර බටනලා වාදනයට ඇති ආසාව දෙගුණ තෙගුණ විය.
කේමදාස සංගීතඥයකු වනු දැකීමට පවුලේ කිසිවකු අපේක්ෂා නොකළ අතර කේමදාස ගේ වැඩිමහල් සහෝදර සහෝදරියෝ ඇතැම් විට ඔහුගේ බටනලා පුස්සා දමන්නට කටයුතු කළහ. කේමදාසගේ ප්‍රසිද්ධම කතාවක් වූයේ ඔහු පානදුර සිට කොළඹට දුම්රියේ බටනලා වාදනය කරමින් ගිය ආකාරය යි. දුම්රියේ ගමන් කරන වරායේ සේවකයන් පිනවීම වෙනුවෙන් ඔහුට සුළු මුදලක් ලැබිණ. කුඩා කේමදාස කිසිඳු දිනක දුම්රියේ යාමට ප්‍රවේශපත්‍ර නොගත්තේ ය. ටිකට් පරීක්ෂකවරුන් පැමිණි විට හිතවත් සේවකයන් කුඩා බටනලා වාදකයා ඔවුන්ගේ කිළිටි සරම් වලින් වසා ගෙන සඟවා ගත්හ.
ඔහුට පාසලේ ජ්‍යේෂ්ඨ සහතික පත්‍ර විභාගය පැවත්වීමට නියමිතව තිබුණු දිනයේ දී ම ලංකා ගුවන් විදුලි සේවයේ(රේඩියෝ සිලෝන්) සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට නියමිත ව තිබිණ. විභාගය නිම වීමට කාලය බොහෝ ඉතිරි ව තිබිය දී කුසලතා පරීක්ෂණයට පෙනී සිටීම සඳහා හේ විභාග ශාලාවෙන් නික්ම ගියේ ය.
සිරිසේන විමලවීර ගේ රොඩී කෙල්ල චිත්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණය කරමින් කේමදාස චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේ ය. බඹරු ඇවිත් චිත්‍රපටය තුළින් ඔහු වන විට ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයට ආගන්තුක වූ අද්විතීය සංගීත ශෛලියක් හඳුන්වා දුන්නේ ය. අනතුරුව ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොළු හදවත සහ නිධානය වැනි චිත්‍රපටවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේ ය. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකයකු වශයෙන් කේමදාස විචාරකයන්ගේ ප්‍රසංශාවට පාත්‍ර වූ අතර එතැන් සිට ඔහු කේමදාස මාස්ටර් යන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කරන්නට විණ. චිත්‍රපටයේ රූප රාමු වලින් හැඟවෙන භාවයන් උද්දීපනය කිරීම උදෙසා බටහිර සම්භාව්‍ය සංගීතයේ භාවිතය, චිත්‍රපට සංගීතයේ කේමදාස සළකුණ සනිටුහන් කළේය. මොහුගේ සමහර නිර්මාණ වලට වුල්ෆ්ගැන්ග් ආමේඩියස් මෝසාර්ට් සහ ගයිසෙප් වර්ඩි වැනි බටහිර ඔපෙරා නිර්මාපකයන්ගේ නිර්මාණවල ආභාසය ලැබී ඇත.
ශ්‍රී ලාංකේය සිනමා සංගීතයට ඉන්දියානු ආභාසය ලැබ අනුකරණවලින් යැපෙමින් තිබූ යුගයක සිනමා සංගීතය ශ්‍රී ලාංකීකරණය කිරීම උදෙසා කේමදාස මහත් වෙහෙසක් දැරීය. ගොළු හදවත චිත්‍රපටය සඳහා කේමදාස නිර්මාණය කළ සංගීතය සිංහල සිනමා සංගීතයේ මහත් පෙරලියක් ඇති කිරීමට සමත් විය. පසු කාලීන ව ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා , ජයන්ත චන්ද්‍රසිරි ගේ අග්නිදාහය චිත්‍රපටයට ත්, සිනමා ‍ක්ෂේත්‍රයෙන් තම සමුගැනීම සනිටුහන් කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කරන ලද අම්මාවරුණේ චිත්‍රපටයට ත්, සංගීත නිර්මාණයෙන් දායක වූවේය. හංසවිලක්, තුන්වෙනි යාමය, පාර දිගේ සහ යස ඉසුරු වැනි චිත්‍රපට සඳහා ප්‍රේමසිරි කේමදාස ශූරීන් විසින් රචිත සංගීතය ඔහු ඒ වන විට ත් සිනමා ‍ක්ෂේත්‍රය තුළ ලබා තිබූ ප්‍රසාදය ඉහළ නංවන්නට සමත් විය. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත දී නිශ්පාදනය වූ දහසක් මල් චිත්‍රපටයට ද සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේ ය. ඔහු අවසාන වශයෙන් දායක වූ චිත්‍රපට ලෙස සනත් ගුණතිලක ගේ එකමත් එක රටක සහ සිරිතුංග පෙරේරා ගේ කණ්‍යාවී හැඳින්විය හැක.
ටෙලිනාට්‍ය සංගීතයට කේමදාස ශූරීන්ගෙන් ලැබුණු දායකත්වය තුළින් ශ්‍රී ලාං‍කේය සංගීතයට තවත් අග්‍රගණ්‍ය කලාකෘති රැසක් උරුම විය. දක්ෂ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ජයන්ත චන්ද්‍රසිරි මහතා ගේ නිර්මාණ තුළින් කේමදාස ශූරීන් ගේ අමරණීය සංගීත නිර්මාණ රැසක් බිහි විය. දඬුබස්නාමානය ටෙලි වෘතාන්තය සඳහා කේමදාසයන් නිර්මාණය කළ පෙර නොඇසූ විරූ සංගීතය, ප්‍රේක්ෂකයන් වශීකෘත කිරීමට සමත් විය. මේ ඉන්ද්‍රජාලිත ගාන්ධර්වයා දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණ අතර වන ජයන්ත චන්ද්‍රසිරි ගේ වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා, සතර දෙනෙක් සෙන්පතියෝ, ධර්මසේන පතිරාජ ගේ ගඟුලෙන් එගොඩට, ඇල්ල ළඟ වළව්ව, පුර සක්මන සහ බන්දුල විතානගේ ගේ අසල්වැසියෝ වැනි ටෙලි නාට්‍ය, ප්‍රේක්ෂකයන් හට කිසිදා අමතක නොවන සංගීතමය අත්දැකීම් ලබා දෙන්නට සමත් විය. ඔහු අවසාන වශයෙනසෙංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ ‍ටෙලිනාට්‍යය ලෙස දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ සදිසි තරණය හැඳින්විය හැක.
කේමදාස ජයන්ත චන්ද්‍රසිරි ගේ මෝරා, අත් සහ ධර්මසිරි බණ්ඩාරනායක ගේ මකරාක්ෂය, ධවල භීෂණ යන වේදිකා නාට්‍යවලට ද, දායක වූවේ ය.
ඔහු විසින් රචනා කරන ලද සංධ්වනි අතර මුහුද, මගේ කාලේ මව්නි සහ සිංහල අවුරුද්ද වෙයි. බුදුන් වහන්සේ ගේ පිරිනිවීමේ අවස්ථාව පාදක කොට ගෙන ඔහු විසින් නිර්මාණය කරන ලද පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව විශ්ව සංගීතය තුළ හමුවන එකම බෞදිධ කැන්ටාටාව ලෙස හැඳින්විය හැක. එම සුමධුර නිර්මාණය කේමදාස ශුරීන්ගේ අවමඟුල් උත්සවයේ දී කේමදාස පදනමේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලදී.
කේමදාසගේ සංගීත නිර්මාණ තුළ දක්නට ලැබෙන ඔපෙරාමය සහ ප්‍රසංවාදී ගායනයන්, ඔපෙරා සහ හාමනි (ප්‍රසංවාද) පිළිබඳ ව ඔහුගේ වූ පෘථුල දැනුම විදහාපායි. ඔහුගේ ජීවිත කාලය තුළ ගායනයෙහි සහ වාදනයෙහි ලා විවිධ අත්හදාබැලීම් කිරීමට කේමදාස පසුබට නොවූයේ ය. එකිනෙකට නොගැලපෙන රිද්ම රටා, අතිශය විප්ලවකාරී වූ ප්‍රසංවාදයන් සහ සිතාරය වැනි සංගීත භාණ්ඩ වාදනයෙහිලා නැවුම් ශිල්ප ක්‍රම භාවිත කිරීම් ඔහුගේ සංගීත නිර්මාණ තුළ නොඅඩුව දක්නට ලැබේ.
ශ්‍රී ලාංකේය සංගීතඥයන් අතර ඔපෙරා ශෛලිය ප්‍රගුණ කළ සහ නිර්මාණය කළ එකම සංගීතඥයා ලෙස කේමදාස හැඳින්විය හැක. ගම්බද ප්‍රදේශවලින් පැමිණ කේමදාසයන්ගෙන් සංගීතය හදාරා පුහුණුව ලැබ ඔහුගේ ඔපෙරාවන්හි රඟ දක්වන දක්ෂ ශිෂ්‍ය පරපුරක් ඔහු සතුව සිටියේ ය. මානසවිල, දොරමඩලාව සහ සොඳුරු වර්ණදාසි කේමදාස ගේ ඔපෙරා අතර වෙයි. අවසාන වශයෙන් ඔහු නිර්මාණය කළ අග්නි ඔපෙරාව පුරාණ ශිෂ්ඨාචාරය පිළිබඳ ව නිර්මාණය වූවකි. ඔහුගේ ඔපෙරා සියල්ලම සිංහල භාෂාවෙන් ලියැවී ඇති බැවින් ඒවා සිංහල ඔපෙරා ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඔපෙරා සංගීතයේ මර්මස්ථානය ලෙස හැඳින්විය හැකි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් හි පවා ඔපෙරා රඟ දැක්වීමට කේමදාස ඇතුළු කණ්ඩායමට අවස්ථාව උදාවී ඇත. ශ්‍රී ලාංකේය සංගීතයේ කේමදාස සළකුණ ඉදිරියට ගෙන යාම උදෙසා වර්තමානයේ කේමදාස පදනමේ සිසු සිසුවියෝ ක්‍රියා කරති. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයින් වන අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි, නදීක ගුරුගේ, කසුන් කල්හාර වැන්නවුන් කේමදාසගේ ගුරුහරුකම් තුළින් සංගීත ක්ෂේත්‍රයට පැමිණියවුන් ය.
හැත්තෑවන වියෙහිදී සිදු කරන ලද වකුගඩු බද්ධකිරීමේ ශල්‍යකර්මයෙන් අනතුරුව ද ශ්‍රී ලාංකේය සංගීතයේ අනාගාතය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇති ව කේමදාස ශූරීහු නැවත සංගීත ‍ක්ෂේත්‍රයට පිළිපන්නේ ය. මාස්ටර්, 2008 ඔක්තෝබර් 24 වන දා රාජ්‍ය ගෞරව සහිත ව දැයෙන් සමුගන්නා විට 71 වන වියෙහි පසුවූවේ ය. එතැන් සිට ශ්‍රී ලාංකේය සංගීතයේ කේමදාසයෙන්ගෙන් හිස් වුණු අඩුව පිරවීමට සමත් කිසිවකු බිහි නොවීම තුළින් ම ඔහුගේ විශිෂ්ඨත්වය මොනවට පැහැදිලි වෙයි.


බලියාග සිරිතේ ඇති ශාන්ති කවි රචනා අතර පිරිනිවන් මංගල්‍යය කවි එකතුව බුදු රජානන් වහන්සේගේ පිරිනිවන් පෑ අවස්ථාව නිරූපණය කර රචනා වී ඇති අති විශිෂ්ඨ කාව්‍ය නිර්මාණයක් වේ. ශෝක රDescription: Font sizeසය තීව්රව දනවන මෙම කවි 30 දයානන්ද ගුණවර්ධන මහතා ජේ .ඊ සේදරමන් ගේ බලි යාග විචාරය කෘතියෙන් තෝරාගෙන ඇත්තේ මධුර ජවනිකා වැනි තවත් සුවිශේෂි නිර්මාණයක් රටට දායාද කිරීමේ අරමුණින් වුවත් ඊට පෙර ඔහුගේ අභාවය සිදුවීම නිසා එම නිර්මාණය නොපිපි කුසුමක් බවට පත්වුණා.
ඉතින් ජේ.ඊ. සේදරමන් විසින් රචිත පිරිනිවන් මංගල්‍යය නම් වූ පුරාණ භක්ති කාව්‍යය ඇසුරු කරගෙන මහා සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මෙරට ප්‍රථම බෞද්ධ කැන්ටාටාව පිරිනිවන් මංගල්‍යයමැයෙන් නිර්මාණය කළා. බුදු හිමියන්ගේ පිරිනිවන් පෑම ආනන්ද හිමියන් ඇතුළු ශ‍්‍රාවක උපාසක උපාසිකාවන්ගේ වැළපිල්ල සියුම් හා තීක්ෂණ නාදමාල ඔස්සේ පිරිනිවන් මංගල්‍යයකැන්ටාටාව මගින් නිරූපිතය. මේ කවි කිහිපය එම කැන්ටාටාවෙන් උපුටා ගැනුනි.
 
(1 )
පන්සාලිස් අවුරුදු අප මුනිදුන් වැඩ හිඳ
චුන්දය දුන් දන් වළදා රෝගය වන් සඳ
ගන් ගා තිර වැටෙනා මෙන් නොපැකිළ එමු හුද
සන්සාරේ අගටම විය මරුවා නෙත් බැද

(2)
එතැන් පටන් තෙමසක් ගත වුනු තැන
සොඳින් එවන් සමවත් මුනි අර ගෙන
ඉතින් පිරිනිවන් පානෙමි සිතු වන
එයින් දෙරණ කම්පාවිය අප මන

(3)
අනද තෙරිඳු වඩිමින් මුනි ළඟ ටා
නැමඳ පතුල බිම හසකර සොද ටා
නොවෙද පොළව කම්පා වුනෙ මෙවි ටා
කිමද ඇසුවෙ මුනිඳුන් ගෙන් එවි ටා

(4)
මහසත් බිහිවුනූ කලටත් එලෙ සේ
ජයගත් දින බෝ මුලදිත් සොද සේ
එමහත් කොට බිම් කම්පා වුනු සේ
අදවෙත් මගෙ පිරිනිවනද මෙලෙ සේ

(5)
එක එක රීදී තොරණින්ද
දෙක දෙක රන් රුවනින් ද
සක දිසි පිළි තොරණින් ද
නෙක රන් තරු විල සේ
දැක දැක වඩින ලෙසින් ද
මහ සඟ සපිරි වරින් ද
සල් උයනේ මුනිනන් ද
වැඩවුන් සඳ මෙලෙ සේ

(6)
සොදින එදන රැසිවන සල්වන මැද
මෙදින පිරිනිවන් පානෙමි කී සඳ
වදින හඬන මහ සඟ දැක ඉකි බිඳ
ඉදින් මෙතැන නොම හඬනුව කිය නුද

(7)
තෙරිඳුට අඩ ගසමින් අනද තොප
අඬන්නෙ කිමද මෙදැන්
තෙමසට මුල පෙරදින් නොදැනද
මරු මට කලෙ අයදුන්
සසරට මුනි නොබැදුන් සිරි නැති
සිවි විසි තැන් වඩිමින්
නිමකොට බුදුසිරි දැන් මම යමි
නිවනට අලූයම දින්

(8)
අදසිට කවර බුඳුන් සමඟ හිද
කරනෙමි පැන විසදුන්
මඟතොට ආ සමිදුන් දෙනෙත් අද
නිසල වුනේ මෙලෙසින්
සදවට තරු විලසින් තෙරුන් මැද
වදිනෙමි කවර බුදුන්
අද සිට මගෙ මුනිඳුන් කියන්නද
කාටද අනේ ඉතින්

(9)
සල්වන පිරි නිවනේ මුනිඳු සඳ
දල්වන පහන මෙනේ
මල් දන වැද දෙරණේ අඬන
කඳුළෙන් අලූයම එදිනේ
උල්දිය විල් ලෙසිනේ ගලන මහ
සෙන් කඳුළැලි මැදිනේ
සල් සුවදින් පවනේ සුසුම් හඬ
ලෙවි සැම තැන් ඇසුනේ

(10)
මල් දන නැගී පහන් කියන්
එම මල්ල රජුට මෙවදන්
වල්වැදි සත විලසින් නොයන්
කිව මල්ල රජුගෙ පුරදින්
සල්වන තුළ මුනිඳුන් නිවන් පිරි
කල් දන වැඩ විලසින්
බොල් විය අද මුනි ඳුන් සැනෙන් ගොස්
මල්ල රජුට පවසන්

(11)
මල්ල රජුන් සැට දහසම එවිගස
ගොල්ල සෙනඟ බිසවුන් හා නොවලස
දුල්ල කඳුළු දහරින් තෙමමින් හිස
නිල්ල වරල බිදිමින් එති මඟ බැස

(12)
සල්වන මල් යහනේ දැකලා මුනිදු
සල්වන සොල්වන සේ හැඬු නිරිඳු
සිල්වදනින් ඒ අනුරුද තෙරිදු
මල්ල රජුන් හට පවසයි මෙබදු

(13)
ඔවා අසන් දුක් නිස්පල වන්නේ
යවා සදුන් දර රැස්කර ගන්නේ
දවා සොහොන්කර මුනි රජිදුන්නේ
නිවා ධාතු ගනුවයි පවසන් නේ

(14)
කෙලෙසින් සෑයට මුනිදුන් ලන්නේ
කෙලෙසින් මුනිඳුගෙ ධාතු ලබන්නේ
කෙලෙසින් පෙරමුනි දැවුදැයි වන්නේ
එලෙසින් වදහල මැන තෙරි දුන්නේ

(15)
රන් සළුවෙන් මුනි බඳපොර වන්නේ
නන් සුවදින් තෙල්වත් කරමින්නේ
රන් තොරණින් රන් දෙණ සරසන්නේ
වන්දනයෙන් දර සෑ කරවන් නේ

(16)
සක්විති රජ පෙර දවනා විලස ට
වික්මැති මුනිදුන්ගේ ගූණ සිහි කොට
දුක් නැතිවම රන් දෙණ ඔසවා සිට
නික් මෙනු මුනිඳුගෙ ආදාහන යට

(17)
සතියක් ගිනිලා සෑය නොදන් නේ
මෙපවත් රහතුන් ගෙන් විමසන් නේ
ගුණයුත් එකසුප් මහ තෙරිඳුන් නේ
අදිටන් විලසින් ඒ සිදුවන් නේ

(18)
නැණ බල තෙරිඳුන් කොතැන සිටින් නේ
ගෙන ඒ සමවත් ලෙනක වෙසෙන් නේ
දැනගත් විට මේ පුවත බුදුන් නේ
එන තෙක් සෑයේ ගිනි නොවදින් නේ

(19)
සිප්පලි ගුහා උන්
එකසුප් තෙරිඳු සැනෙකි න්
සමවත් නැගීයෙමි න්
කොයි ද අප මුනි බලා දිවසි න්

(20)
පිරි නිවන් පා ලා
රන් දෙණ තුළ හොවා ලා
බුදුන් රුව දැක ලා
යන්ට නික්මුණි සැනින් එක ලා

(21)
කුසිනාරාපුර මල්ල රජුන් නේ
වෙසෙනා සැට දහසක් වැසියන් නේ
සැදෙනා අන්දම සල් සෙවනින් නේ
දකිනා මෙන් පිරිනිවන බුදුන් නේ

(22)
සුරපති සෑයට මල්වැසි ලන් නේ
නිමනැති දන වැද මල් අහුලන් නේ
පරසතු මල් කොතනින් අරගන් නේ
ගවුතම මුනිඳුගෙ සොහොනින් ගන් නේ

(23)
නොරහත් තෙර හඬලා වැටෙමින් නේ
සිරිමත් මුනි අපි කෙළෙස දකින් නේ
නොපනත් පැවිදා මෙලෙස සිතන් නේ
එමහත් මැරුණා අපි ජයගන් නේ

(24)
නායකයෙක් නැත අපට ඉතින් නේ
නෑ සැක දැන් අපි ජයගෙන ඉන් නේ
දායක දන්වැට නැත අඩුවන් නේ
ඒ දැක ඇයිදැයි අපි වැලපෙන් නේ

(25)
එබ සට සිතුවයි එකසුප් තෙරිඳු
අදසිට නැතිවෙයි ශාසන මුනිඳු
මතුවට මතුවේ නම් ඒ අවිදු
දහමට සංගායන වෙයි පසිදු

(26)
ගින්දර ඇයි නොවදින්නේ නොකියා
රන්දෙණ කින් මුනි ඉන්නේ නොකියා
මන්ද නිවන්පුර වැඩියේ නොකියා
ඇන්ද සිවුර ඇයි දුන්නේ නොකියා

(27)
සිදු කොට සිරිපා තෙරිඳු දිසාවට
සිරුරට වැන්දයි නළල තබා සිට
අදසිට බුදු දැක්මක් නැත මේ ලෝකෙට
පදසිව් ගාතාවෙන් අදිටන් කොට

(28)
මුනි සිරිපා යුග රන්දෙණ වන් නේ
තනියම සෑයට ගිනි ඇවිළෙන් නේ
මුනි පුද ධාතුව සිව් කොටසින් නේ
එහිවුන ගිනි මැද වැඩ සිට ඉන්නේ

(29)
බුදුන් පිරිනිවි අසා රජ සත් දෙනෙක්
දඹදිව රට පුරා
යොදුන් ගනනින් මුදුන් බලකොටු
සියල් සේනා පිරිවරා
පුදන්නට අප බුදුන් සැමදින
බෙදන් ධාතුව නොමසුරා
රදුන් කොළ හල බසින් පැමිණෙයි
දෝන බමුණා එම වරා

(30)
කුසිනාරා වේට දීප අල්ල කප්ප
විසල් පුර ද
සිරිසාරා පාවා රට රාමාග්‍රය
ගෙන තෝරා සාවස්තිය අටක් නගර
බමුණු එස ද
දුනි බේරා ධාතු සැමට
සව්සතනගෙ ආසිරි මැද


වීඩියෝව බලන්න මෙතනින් 



බුවනෙකබා යෞවන සමාජය