Sri Lanka

Friday, August 2, 2013

මේ ඇගේ කතාවයි..


ජීවිතය කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්. සමහරු බොහොම සුන්දර විදියට ජීවිතේ ගතකරද්දි තවත් සමහරු ජීවත් වෙන්න පුදුමාකාර යුද්ධයක් කරන්නෙ. සමහරුන්ට තමන් සතු සියල්ල අහිමිවෙලා යද්දි ඉතුරු වෙන දේවල් එක්ක ජීවිතේ ගැට ගහගන්න වෙනව. පිරිමි මේ වගේ ගැටළු වලට කොහොම මුහුණ දුන්නත ගැහැණියක් තනි උනාම පුදුමාකාර විදියට අසරණ වෙනව. අස්ම්මත දේවල් කරන්න ඇය පෙළඹෙන්නෙ මෙන්න මෙහෙම උනාම. අපි මේ දේ සාධාරණීකරණය කරන්න ගන්න උත්සාහයක් නෙමෙයි මේ. නමුත් බොහෝ විට සිදුවන්නෙ මෙවැනිදෙයි. ඉතින් සුනිල් මාධව ප්‍රෙමතිලකයන්ගෙ සත්‍යවාදියෙකුගේ දිනපොත නැමති කෘතියෙහි එන යම් කොටසක් උපුටා දක්වනු කැමැත්තෙමි.

...........
මා වෙත පැමිණි දැරියක් කිසිවක් ඉල්ලා සිටියාය. ඇයට අවුරුදු දොළහකට දහතුනකට වඩා වයස නැතැයි සිතේ. මගේ සාක්කු හිස් ය. ඇය කිසිවක් නොදොඩා ඉවතට ගියාය. අසල නවතා තිබූ මොටර් රියක් වෙත ගිය ඇය එතුළ සිටියවුන්ගෙන් පිනට යමක් ඉල්ලන අයුරු මම දුටුවෙමි. මිනිත්තු කීපයක් යන තුරුම ඇය එතැන සිටියාය.
"......
අනේ මහත්තය.. මම එහෙම එකෙක් නෙවෙයි. මට කීයක් හරි දෙන්න. පිං සිද්ද වෙයි...."
ඇය බැගෑපත් වන අයරු මම දුටුවෙමි. වැඩි වෙලාවක් ගත වූයේ නැත. ඇය රියට ගොඩ වූ අතර සුරුස් ගා වාහනය නොපෙනී ගියේය. මගේ හිතට සිහින් වේදනාවක් ඇති විය. ඒත් මොනවා කරන්නද? මෙය අපගේ යුගය නොවේ. අහින්සක දැරියන් ගණිකාවන් කරන යුගයයි..............

ඉතින් සුනිල් එදිරිසිංහයන් ගායනා කරන 'සදකඩ පහණක කැටයම් ඔපලා' කියන ගීය නිර්මාණය වෙන්නෙ මෙවන් පසුබිමක් ඇති කාන්තාවක් ගැනයි. 

සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්
මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති,
කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා.
පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට. මොකද පාවෙන දේදුනු එනව, ටික වෙලාවකට ලස්සනට පායලා තියනව, පස්සෙ නොකියම යන්න යනව.
කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී
මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි
සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා
ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා
යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී
මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා
එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා.
කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය
දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු
ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.
ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,
අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු
මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ
තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,
ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ.
ඇය මේ පුද්ගලයන් ඇසුරු කරන්න කරන්න ඇයගෙ ජීවිතේ නටඹුන් වෙනව. නමුත් පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උනාම ඉතුරු වෙන නටඹුන් අතරින් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා.
මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,
හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා
තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.
දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,
මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා
මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්
ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා
රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා
මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා.

සඳකඩ පහනක කැටයම් ඔපලා 
පාවෙන දේදුනු ලැඟුම් ගනී 
කැලැතුනු රසයක පැන ආ බුබුලක් 
අකුරු වැලක් දෙහදක ලියැවේ 
යුගයෙන් යුගයට නොමියෙන දහනක 
දිවියක පදනම මතුවෙද්දී 
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා 
තුඩින් තුඩට ගෙනයන බිංදු 
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා 
පොපියන දෙතොලක් එහි කැන්දු 
අහසක් ගුගුරා කලුවක් වපුරා 
ඒ හා මුසුවුණු වැහි බිංඳු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක 
තවකෙක් ඈ වෙත හද රැන්දු

හදවිල ඉපදුණු කැකුලක් නොකලක 
නටුවෙන් ගලවා දුරක යවා 
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක් 
සත්සමුදුරකට මුහුවගියා 
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද 
එක්ටැම් මැදුරක කවුළු අරා 
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා
සිටී බලා..........

නමුත් ගීතයට බැදුන කතාව මෙහෙම උනත් මේ ගීතය ලියවෙන්නෙ චිත්‍රපටයකට.
මේක සිව් කුළුඳුල් ගීතයක්.
සුනිල් එදිරිසිංහයන්ගේ කුළුඳුල් ගීතය.
සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය.
වික්ටර් රත්නායකයන්ගේ පළමු සිනමා සංගීත අධ්‍යක්ෂණය.
වොලී නානායක්කරයන්ගේ පළමු ගීත රචනය.
මේ ගීතය වික්ටර් රත්නායකයන් කලුපලුවාවේ ගෙදර සිටියදී නිර්මාණය කරපු ගීයක්. ඒ දිනවල සුනිල් එදිරිසිංහයන් නිතර ඒ ගීතය පුහුණු වීමට එහි ගියාලු.
මේක මුලින්ම රෙකෝඩ් කරන්න සරසවි චිත්‍රාගාරයට සුනිල් එදිරිසිහයන්ව බයිසිකලේ ඉස්සරහ තියාගෙන පැදගෙන ගියේ සුනිල්ගේ තවත් සහෝදරයෙක් වුනු නිමල් එදිරිසිංහයන්ලු . මේ සින්දුව ගයනතෙක් සුනිල් එදිරිසිංහයන් රාගධාරී සංගීතය හදාරලා තිබුනෙ නැතිලු. රෑ එකොළහට පමණ ආරම්භකළ ගායනය පාන්දර දෙක පමණ වෙනකම් වාර කීපයකම ආධුනිකයෙකු වූ සුනිලුන් ගැයුවෙලු.
සින්දුව ගැයුවාට පසුව වික්ටර් රත්නායකයන් කිව්වලු
මල්ලී ඔයාට බොහෝම දුර යන්න පුළුවන් කෙනෙක් ඔයා සංගීතය හැදෑරුවොත් තවත් හොදයි කියල. එතකොට එය අසාසිටි සුනිල් මහත්මහගෙ අයියා වූ සතිස්චන්ද්‍රයන් කිව්වලු
හැබැයි මලේ සංගීතය ඉගනගත්තේ නැත්නම් මගේ පික්චර් වල මිට පස්සේ සිංදු නෑ කියල.
පසුව සංගීතය සුනිලුන් පී.වී.නන්දසිරි ගුරුතුමාගෙන් ඉගෙනගත්තේලු .

මේ ගීතය මාතර ආච්චි චිත්‍රපටියට නිර්මාණය වුවක්. මෙහි අදහස මේ පරිදියි.
සිනමා පටයේ ආකාරයට එහි ප්‍රේමවන්තයාට වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත වන්නට සිදු වෙනවා.එත් ඔහුගේ පෙම්වතියට පවුලේ අයගේ බලපෑම්එල්ල වෙනවා වෙනත් අයකු හා විවාහ වන්නට.ඔහු නැවත සියරට පැමිණි විට සිතේ ඇතිවන සිතුවිලි සමුදාය මේ ගීතයෙන් කියවෙනවා.
සඳකඩ පහනක කැටයම් දේදුන්නක පාටින් වර්ණ ගැන්විලා හැඩ වෙනවා වගේ ඔපවත් ප්‍රේමයක් ගැන හීන මැවූ පෙම්වතෙක්.
කැලතුණු දියක මතු වුනු පෙණ බුබුලක් වගේ, ඒ ප්‍රේමය බිඳී විසිරෙන හැටි බලා ඉන්නව.
යුගයෙන් යුගය නොනැසෙන සදාතනික දහනක යුග ජීවිතයේ පදනම හැදෙන හැටි ඔහු සිහින මවනවා.එත් නොසිතූ ලෙස ඔවුන්ට වෙන් වෙන්න සිද්ධ වෙනව.මී මැස්සෝ තමන්ගේ වදය බඳින්න පැණි ගේන්න මොන තරම් දුක් විඳිනවද.
දහසක් මල් වලට කොඳුරමින් තුඩින් ගෙනා ඒ පැණි බින්දු ගව්වක් ඉහළ තැනක බැඳුනු වදයක තැන්පත් කරනවා.
ඒ මතු බලාපොරොත්තු ඇතිව.එත් අහස ගුගුරා වහින අකල් වැස්සෙන් ඒ පැණි වල තත්ත්වය බාල වෙනවා.
මේ පරාජිත ප්‍රේමවන්තයාගේ ජීවිතයේ බිඳුණු සිහිනය වගේ.තමන් හැරදා වෙනකකු හා බැඳුනු පෙම්වතිය තම සිහිනය බොඳ කල හැටි.
හදවත නම් විලේ උපන් කැකුළු මලක් අකාලයේම මිය පරලොව ගිහින්.
ඒ වෙනුවෙන් උපන් කඳුලක් මුසු මුනේ මහා සාගරයට.
මහා සයුරට මුහුවුණු කඳුල වෙන් කරලා අඳුන ගන්න බැහැ.
ඒවගේම තමයි ඒකට වටිනා කමකුත් නැහැ.බිඳුණු ප්‍රේමයේ අයිතිකාරියට නම් කොහෙත්ම වටිනාකමක් නෑ.එත් මේ පරාජිත ප්‍රේමවන්තයා ඇය වෙනුවෙන් වෙන් වුණු හදවත, එක්ටැම් මැදුරක සිර කරගෙන බලා ඉන්නව කවද හරි ඇය නැවත එතැයි කියන බලාපොරොත්තුවෙන්.

.....
බුවනෙකබා යෞවන සමාජය.....