Sri Lanka

Friday, August 2, 2013

මිහිමඩලේ ගීතය

(මේක අපි කලින් අරන් ආව ලිපි වලට වඩා ටිකක් වෙනස් විදියෙ ලිපියක්. හැමෝම කැමති වෙයිද කියල නම් දන්නෑ. එත් තමන්ගෙ පරිසරයට ආදරේ කරන, මේ සිදු වෙන පරිසර විනාශයන්ට අකමැති වෙන හැමෝම මේ ලිපියට කැමති වෙයි කියල අපි විශ්වාස කරනවා. බුවනෙකබා අපි හැමදාමත් පරිසරයට ආදරෙයි. ඉතින් යම් කෙනෙක් මේකට අකමැතිනම් එයාල අපිත් එක්ක එකතු වෙලා ඉන්න එකෙන් තේරුමක් නැහැ කියලයි අපි විශ්වාස කරන්නෙ. ඒ වගේ අය කවදාවත් බුවනෙකබා අපේ යාළුවෝ නොවෙයි. පරිසරයට ආදරේ කරන හැමෝම හැමදමත් අපේ යාළුවො. ඒ අයට අපගේ ආචාරය හැමදාමත් හිමි වෙනව.)

....
රතු ඉන්දියානුවන් ඔවුන්ගේ නිජ බිම් වලින් අවි බලයෙන් පලවා හැර, ඒවා අත්පත් කර ගැනීමට සමත් වූ යුරෝපීහු රතු ඉන්දියනුවන්ගේ නිරන්තර ප්‍රහාර වලට ලත් වූහ. මේ ගැටුම සමතයකට පත් කරනු සදහා එවක ඇමෙරිකානු ජනිධිපති වූ ප්‍රෑන්ලින් පියර්ස්, තම භූමිය ඇමෙරිකානු රජයට විකුණන ලෙස රතු ඉනිදියානුවන්ගෙන් ඉල්ලීමක් කළේය. ඊට පිළිතුරු වශයෙන් රතු ඉන්දියානු නායක සියැටෙල් විසින් ක්‍රි.ව 1854 දී පවත්වන ලද කථාවේ අනුවාදනයකි මේ. මෙය පරිසරය පිළිබදව මෙතෙක් කර ඇති විශිෂ්ඨතම ප්‍රකාශයයි.
"
වොෂින්ටන් නැමැති මහා නගරයේ සිටින ශ්‍රේෂ්ඨ නායක තුමා අප ජීවත් වෙන මෙම භූමිය මිලදී ගන්න කැමැත්ත පල කර අප වෙත හසුන්පත් එවා ගිබෙනවා.
එතුමි අපට සුභ පතන අතරම මිත්‍රත්වයේ දෑත ද දිගු කරනවා. අප සමග ඇති කර ගන්නා මිතුකමින් එතුමාට ඇති වැදගත්කම ඉතා අල්ප බව අප හොදින් දනිමු. එසේ වුවත් අප වෙත තමන්ගේ මිත්‍රත්වය හා සුභාශිංසනය පැතීම ඉතා අගනා එකක් බව අපි සළකන්නෙමු. කෙසේ වුවත් අපි ඔබගේ ඉල්ලීම් ගැන උනන්දු වන්නෙමු. මොකද, මේ භූමිය අප ඔබට විකුණුවේ නැත්නම් අපි දන්නවා සුදු මිනිසුන් තුවක්කු රැගෙන විත් එය අපෙන් උදුරා ගන්නා බව.
එහෙත් එම යෝජනාවේ මට නොතේරෙන දෙයක් තියෙනවා. මේ නිල් අහසත්, පොළවේ උණුසුමත් මුදලට විකුණන්නේ හෝ මිලදී ගන්නේ කෙසේද? මෙවැන්නක් කළ හැකි බවක් අපට මෙතෙක් වැටහී නැත. සුළගේ නැවුම් බවත් ජලයේ විකසිත දීප්තියත් අපට අයිති නැතිනම් ඔබ ඒවා මිළ දී ගන්නේ කෙසේද?
මේ මිහිතලයේ සෑම අගලක්ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. ලතාවකට නැලවි නැලවි පැහැගැන්වෙන සෑම දේවදාර ගසක්ම, මද අදුරේ සෙවනැලි වලින් වැසී යන වැල්ලෙන් ගැවසුන සෑම වෙරළක්ම, අදුරු වන ලැහැබේ ගලා බසින මිහිදුම තුළ තුෂාරයෙන් පිරී යන හිරිත වර්ණයෙන් යුත් සෑම වන රොදක්ම, ගුම්නද පතුරන සෑම කුරා කුහුඹුවෙක්ම, මගේ වර්ගයාගේ මතකයේ රැදී පවත්නා ශුද්ධ වූ වස්තූන්, ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක් දිගේම රතු මිනිසාගේ මතකය ගලා යනවා.
සුදු මිනිසාගේ මළ ගිය ඇත්තෝ ඔවුන්ගේ නිජබිම අමතක කොට තරු අතර ඇවිදින්නට යනවා. එහෙත් අපගේ වර්ගයේ මියැදුනත් මේ මිහිතලය කවදාවත් අමතක කරන්නේ නැත. හේතුව ඇය රතු මිනිසාගේ මවයි. අප මේ ලෝකයට අයත් කොටසක්. ඒවාගේම මේ ලෝකයත් අපපේම කොටසක්. සුවද විහිදුවන සුමුදු මල් අපේ සහෝදරියෝ. පිනිමුවා, අශ්වයා, රාජාලියා, මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ. පාෂාණ සිරසින් බබළන කදුසිකර, තණබිම් වල සාරය, පෝනීන්ගේ හා මිනිසාගේ සිරුරේ උණුසුම මේ හැම දෙයක්ම අයත් වන්නේ එකම පවුලකට.
මේ නිසා වොෂින්ටන් නගරයේ සිටින මහා නායකවරයා අපේ බිම මිලට ගැනීමට කැමැත්ත පල කර එවීමෙන් කර ඇත්තේ, අප හදවතට දරා ගත නොහැකි තරම් දෙයක් ඉල්ලා සිටීමයි.
ශ්‍රේෂ්ඨ නායකතුමා එතුමාගේ පණිවුඩයේ කියා තිබෙනවා එතුමා අපට ජීවත් වෙන්න වෙනම ස්ථානයක් වෙන්කර දෙන බවත්, එහි සැනසිල්ලේ ජීවත් වන්නට ඉඩ සලසන බවත්. එවිට ඔහු අපගේ පීතෘ වරයා වනු ඇත. අප ඔහුගේ දරුවන් වෙමු.
එම නිසා අපේ භූමිය මිලට ගැනීමට ඔබ ඉදිරිපත් කරන යෝජනාව ගැන අපි සළකා බලන්නෙමු. මෙම භූමිය අපට පූජනීය වස්තුවක් වන හෙයින් එය අපට ලෙහෙසි පහසු කරුණක් නොවනු ඇත. ඇල දොල දිගේ පළිගු කැට මෙන් දිදුලමින් ගලා බසින ජලය නිකම්ම දිය දහරක් නොව අපේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි. අපි ඔබට මේ භූමිය විකුණුවහොත් එය අපට ශුද්ධ වස්තුවක්ව තිබූ බව ඔබ මතක තබා ගත යුතුය. එය ඔබේ දරුවන්ටද වටහා දෙන්න ඕනෑ. එමෙන්ම, පළිගු මෙන්ම පිරිසිදුව දිදුලන මේ පොකුණුවල ජලයේ පතිතවන සෑම සෙවනැල්ලක්ම කියා පාන්නේ මගේ වර්ගයාගේ මතක සටහන් සහ ජීවන සිදුවීම් බවත්, ඔබේ දරුවන්ට මතක් කර දෙන්න ඕනෑ. මේ ජලය නගන ගිගුම් හඩ වෙනකක් නොව මගේ මුතුන්මිත්තන්ගේ කටහඩයි.
මේ ගංගා අපේ සොහොයුරන්ය. ඔවුහු අපේ පිපාසය සන් සිදවති. අපේ ඔරු පාරු එහා මෙහා ගෙන යති. අප දරුවන් පෝෂණය කොරති. අප මේ භූමිය විකුණුවහොත් මෙම මහා ගංගා අපේත් ඔබේත් සහෝදරයන් බව මතක තබා ගන්න ඕනෑ. ඒ බව ඔබේ දරුවන්ටත් කියා දෙන්නත් ඕනෑ. එපමණක් නොවේ ඔබ ඔබේ සොහොයුරන්ට දක්වන කරුණාව මේ ගංගාවටත් දක්වන්නට ඕනෑ. කදු සිඛරයේ හිමිදිරි මිහිදුම, නැගෙන ඉරු ඉදිරියේ පලායන්නා සේ සුදු මිනිසාගේ ආක්‍රමණය ඉදිරියේ රතු මිනිසා පලා ගොස් තිබෙනවා. එහෙත් අපේ මුතුන්මිත්තන්ගේ භෂ්මාවශේෂ අපට පූජනීය වස්තූන්ය. ඔවුන්ගේ සොහොන් බිම අපට ශුද්ධ වූ භූමීන්ය. එහෙයින්, මේ කදු ගස් කොළන් සහ මේ බිම අප වෙනුවෙන් අපටම කැප වූ භූමියකි. සුදු මිනිසා අපේ හැසිරීම් පිළිවෙල නොදන්න බව අප දනිමු. රාත්‍රී කාලයේ පැමිණ තම විවිධ අවශ්‍යතාවයන් සපුරා ගෙන මේ භූමියෙන් ඔවුන් උදෑසන පලා යනවා. ඔවුන්ට මේ බිම තම අවශ්‍යතාවයන් සපුරා ගන්නා තවත් බිම් කඩක් පමණය. මේ පොලෝ තලයට ඔවුන් සලකන්නේ සහෝදරයන් වශයෙන් නොව සතුරෙකු ලෙසිනි. එම භූමිය තමන්ට අත්පත් කර ගැනීමෙන් පසු ඔවුන් කරන්නේ එය අත්හැරදා තවත් එබදු සාර භූමි සොයා යාමයි. එහි ඇති සියල්ල ඉක්මනින් අමතක තර දමනවා. ඔවුන් තමන්ගේ මුතුන්මිත්තන්ගේ සොහොන් බිම් අතහැරලා දානවා. ඒ එකකටවත් සළකන්නේ නැත. ඔවුන් කිසිදු තැකීමක් නැතිව මේ භූමිය ඇගේ දරුවන්ගෙන් උදුරා ගන්නවා. මුතුන්මිත්තන්ගේ සොහොන්, දරුවන්ගේ සහජ උරුමය, අමතක කර දමනවා, තමන්ගේ මව වන මිහි කතටත්, තමන්ගේ සොහොයුරා වන ගගන තලයටත් ඔවුන් සලකන්නේ මිලදී ගත හැකි හෝ මිලට විකිණිය හැකි හෝ කොල්ලකා ගත හැකි එළු බැටළුවන් පැහැපත් පබළු වැනි දෑ ලෙසිනි. ඔවුන්ගේ කෑදරකම මේ භූමියේ ඇති සාරය උරා බී ඉතිරි කරන්නේ හපයක් වැනි හිස් කාන්තාරයක් පමණයි.
මේවා මට හරියට තේරෙන්නෑ. අපේ පිළිවෙල ඔබලාගේ පිළිවෙලට වඩා වෙනස්. ඔබලාගේ සරුව පිත්තල නගර වල දර්ශණය දකින රතු මිනිසාගේ ඇස් රතු වී යනවා. සමහර විට අපට මේවා වැටහෙන්නේ නැත්තේ රතු මිනිසුන් වන අපි මිලේච්ඡයන් නිසා වෙන්න ඇති.
සුදු මිනිසාගේ නගර වල නිසංසල තැනක් සොයා ගන්නට නැත. වසන්ත සමයේ වෘක්ෂලතා වල දළු කොළ විකසිත වන හඩ අසන්නවත්, කෘමීන්ගේ පියාපත් වල සිලි සිලි හඩට කන්දීමට තැනක්වත් මේ නගර වල නැහැ. නගරයේ ඝෝෂාව දෙසවනට මහත් හිරිහැරයක් පමණයි. එහෙත් මට මෙසේ හැගී යන්නේ නොතේරෙන කම නිසා වෙන්න ඇති. මිලේච්ඡයන්ට ඔවැනි දේවල් තේරුම් ගන්න අමරුයි. එහෙත් උලමා ගයන හුදකලා ගීතයත්, රාත්‍රියේ පොකුණු වටා රැස්ව මැඩියන් නගන හඩටත්, කන් නොදෙන දෙසවන් හිමිව ඇති ජීවිතයක පලය කුමක්ද? මම නූගත් රතු මිනිසෙක්. ඒ හින්දා මට මේවා තේරෙන්නේ නෑ. රතු ඉන්දියානුන් වන අපගේ දෙසවන් විල් පොද වැස්සෙන් පිරිසිදු වී එම සුවදින් සුවදවත්වූ සුළගෙන්, මිහිරි නාදයෙන් උද්දීපනය වෙනවා. සිරි පොද වැස්සෙන් තෙමෙන දේවදාර ගස් වල මුදුන් වලින් නැගෙන සුවද මද සුළගේ පාවී විත්, අපේ ගත සිසිල් කරනවා. සුළග අප කාටත් සමසේ ලබා දෙනවා. මෙහි ඇති හැම දෙයක්ම අප එක හා සමානව බෙදාගන්නවා. වන සතුන් රුක් වැල් මිනිසා ඒ මද පවන හවුලේ භුක්ති විදිනවා. ඒ නිසාම එය රතු මිනිසාට මහාර්ඝ වස්තුවක්. සුදු මිනිසා තමා ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය ගැනවත් නොදනී. අප අපේ භූමිය ඔබට විකුණුවහොත් ඔබ මතකයේ තබා ගත යුතු කරුණක් වන්නේ, මේ සුළග අපට බෙහෙවින් වටිනා එකක් වූ බවයි. සියළු ජීවීන් සමග සමසේ බෙදාගන්නා ඒ වාතය අපට ඉතා වැදගත් වූ බවයි.
අපේ මුතුන් මිත්තන්ට ජීවන හුස්ම ලබාදුන් සුළගම ඔවුන්ගේ අවසන් හුස්මද ආපසු ලබා ගත්තා. ඒ වාගේම අපේ දරුවන්ටත් මේ සුළගම ජීවන හුස්ම ලාබා දෙන්න ඕනෑ. ඉතින් අපි අපේ භූමිය ඔබට විකුණුවහොත් ඔබ එය ශුද්ධ වූ වස්තුවක් ලෙස ආරක්ෂා කර ගන්න. එවිට ඔබලාටත් තණ බිමේ පිපි කුසුමින් මකරන්දය උරාගෙන එන ඒ පුෂ්පානන්දනීය මද සුළගේ පහස විදින්න පුළුවන් වේවි.
එසේ නම්, අපේ භූමිය මිලට ගැනීමට ඔබ ඉදිරිපත් කර ඇති යෝජනාව ගැන සලකා බලන්නම්. එහෙත් එසේ තීරණය කරන්නේ එක කොන්දේසියක් යටතේය. සුදු මිනිසුන් වන ඔබලා මේ භූමියේ ජීවත් වන සතුන්ට ඔබලාගේම සහෝදරයන් ලෙස සළකන්න පොරොන්දු වෙන්න ඕනෑ.
මම මිලේච්ඡයෙක්. මේ පිළිබදව වෙනත් පිළිවෙලක් ගැන මට හිතා ගන්න බෑ. මී හරකුන් රංචු පිටින් ප්‍රෙයාරි තණ බිමේ වෙඩි වැදී මිය ගොස් උන්ගේ සිරුරු කුණු වෙමින් තිබෙන අයුරු මම දැකලා තිබෙනවා. උන් එසේ මිය ගොස් තිබෙන්නේ උඹලාගේ සුදු මිනිස්සු දුම්රියේ යමින් කරපු වෙඩි තැබීම් වලින් බව මම දන්නවා. දුම්වලා පිට කරමින් මෙම පළාතම දෙදරවමින් දුවන දුම්රිය මී හරකුන්ට වඩා වටින්නේ කෙසේදැයි මට තේරෙන්නේ නෑ. මට එසේ නොතේරෙන්නෙ මම මිලේච්ඡයෙක් නිසා වෙන්න ඇති. අපි නම් උන්ව මරන්නේ අපේ ජීවිත රැක ගන්න ආහාරයට ගන්න පමණයි.
තිරිසන් සතුන් නැති ලෝකයට ම්න්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද? මේ තිරිසන් සත්තු ඔක්කොම මැරිල ගිය දවසක තනිකම උහුලාගන්න බැරිව මිනිසුන් මැරිල යාවි. මොකද සතුන්ට වන දේ මිනිස්සුන්ටත් ඒ විදියටම සිද්ධ වෙනවා.
ලෝකයේ තියෙන හැම දෙයක්ම එකිනෙකට නෑකම් කියනවා. ඒ හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. ඔබේ දරුවන් දෙපා තබා නැගී සිටින්නේ අපේ මුතුන්මිත්තන්ගේ භෂ්මාවශේෂ මත බව ඒ අයට කියලා දෙන්න ඕනෑ. මෙම භූමිය පෝෂණය වී ඇත්තේ එයින් බව ඔවුන්ට වටහල දෙන්න ඕනෑ. අප ජීවත් වන මේ භූමිය අපේ මාතාව බව අපේ දරුවන්ට අපි උගන්වලා තියෙනවා. ඔබලාත් ඔබගේ දරුවන්ට ඒ බව කියල දෙන්න ඕනෑ. මවුබිමට සිදුවන ඕනෑම දෙයක් එහි ජීවත් වන භූමියේ දරුවන්ටත් සිදු වෙනවා. මිනිසා භූමිය මත කෙළ ගැසුවොත් එයින් කරන්නේ තමාටම කෙළ ගැසීමක්. අප දන්නා එක් කරුණක් නම් මේ මහ පොළව මිනිසාට අයත් නොවන බවයි. ඒත් මිනිසා මහ පොළවට අයිතියි. පවුලේ සියළු දෙනා එකම ලේ බැමිමෙන් බැදෙන්නාක් මෙන් මෙලොව ඇති සියළු දෙයක්ම එකට බැදී තබෙන බව අප දන්නවා. මේ ජීවිතය නැමති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූල්පටක් පමණයි. එබැවින් මිනිසා එම දැලට යමක් කරන්නේද එය ඔහුටම කර ගන්නා උපද්‍රවයකි. මවු බිමට සිදු වන හැම දෙයක්ම ඇගේ දරුවන්ටත් සිදු වෙනවා. ඔබ විසින් අප වර්ගයා වෙනුවෙන් පිහිටුවන්නේ යැයි කියනු ලබන රක්ෂිත භූමියට යාම ගැන ඊලගට සලකා බලන්නම්. අපි එහි සාමයෙන් වෙනමම ජීවත් වෙන්නම්. මේ ඉතිරි වී ඇති සුළු කාලයේ කොහේ ජීවත් වුනත් කමක් නැහැ. සතුරාගෙන් පරාජය ලැබ අපි පසු බසිනවා අපේ දරුවන් දැක තිබෙනවා. අපේ රණ ශූරයන් පරාජය හමුවේ උදාසීන වී මත්පැන් වලට පුරුදුව තම ශක්තිය විනාශ කර ගනිද්දී, අපේ ඉතිරි වී ඇති කාලය කොහේ ගත කලත් එහි ඇති වැදගත්කමක් නැහැ. අපි වැඩි දෙනෙක් ඉතිරි වෙලා නැහැ.
තව පැය ගණනාවකින් තව ශීත ඍතු කීපයක් ගෙවී ගිය කල මේ මහා පොලවේ ඔබලා මෙන් බලසම්පන්නව ප්‍රෞඩත්වයෙන් සැරි සරමින් සිටි, තවමත් කුඩා නඩ වලින් සැරිසරන බලසම්පන්න වීර ගෝත්‍රිකයන් වෙනුවෙන් වැලපීමට ඔවුන්ගේ පරපුරෙහි ළමයෙක්වත් ජීවත් නොවෙනු ඇත. තම මුතුන්මිත්තන්ගේ ප්‍රාණ වෙනුවෙන් දුක් වන්න අපේ වරිගයේ එක්කෙනෙක්වත් ජීවත් වන්නේ නැත. එහෙත්, එය එසේ නම් මම මගේ මිනිසුන් වෙනුවෙන් දුක් වන්නේ ඇයි? ගෝත්‍ර සෑදී තිබෙන්නේ මිනිසුන්ගෙන්. මිනිසුන් ජීවත් වී මියැදී යනවා. සුදු මිනිසා තමන් දෙවියන් සමග එකට ගමන් කරන බවත්, දෙවියන් තමන්ට මුහුණ ලා සිටින බව කීවත්, ඔහුටත් මේ පොදු ඉරණමට පිටුපාන්න බැහැ.
අපි ඔක්කොම සහෝදරයෝ. අපි ඒක දන්නව. අපි දෙගොල්ලන්ටම ඉන්නේ එකම දෙවි කෙනෙක් බව, සුදු මිනසා යම් කිසි දවසක දැන ගනීවි. උන්වහන්සේ සියළු මිනිසුන්ගේ දෙවියන් වහන්සේය. ඒත් සුදු මිනිසා සිතන්නේ දෙවියන් වහන්සේ ඔවුන්ටම අයත් කෙනෙකු බවයි. එයත් හරියට අපේ මවුබිමට ඔබ කියන අයිතිය වාගේ. ඒත් ඔබට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. දෙවියන් වහන්සේගෙන් සුදු මිනිසාටත්, රතු මිනිසාටත්, එක සමාන අනුකම්පාව ලැබෙනවා. මේ මවු බිම දෙවියන් වහන්සේගේ මහාර්ඝ වස්තුවක්. එබැවින්, එම භූමියට හානි පැමිණවීම හෝ විනාශ කිරීම දෙවියන් වහන්සේට කරන නිග්‍රහයක්. සුදු මිනිසා සමහර විටෙක අපේ ගෝත්‍ර වලටත්, පෙරාතුවම නැති වී යාමට ඉඩ ඇත. ඔබගේ නිදියහන දිගින් දිගටම දූෂනය කළහොත් කිසියම් දවසක එම දූෂණය ඔබගේ ගෙල සිර කර දමාවි. එහෙත්, මෙම විනාශය තුළින් ඔබලා තව තවත් බබළනවා. කිසියම් විශේෂ හේතුවක් මත ඔබලාට අපේ මවුබිමත් රතු මිනිසාත් විනාශ කරන්නට ශක්තියක්, වරමක්, ලබා දීල තියෙනවා. එහෙත්, මේ ඉරණම අපට අභිරහසක්. අපට ඒ දවස ගැන හිතා ගන්න බැහැ. ඒක අපට නොතේරෙන රහසක්. මේ මී ගවරැල සම්පූර්ණයෙන් විනාශ වන දවස ගැන, කැලෑ අශ්වයන් හැම එකෙකුම හීලෑ කරන දවස ගැන, කදුශිඛර වන පෙත් වල ඇති අගනා දර්ශන උඹලාගේ කථා කරන කම්බි ඇද විනාශ කරන දවස ගැන, අපට හිතෙනවිටත් මහත් වේදනාවක්. සුන්දර දර්ශණ වලින් යුතු වන පෙත කොහිද? ගෞරවයෙන් යුතු රාජාලියා කොහිද? උන් ඔක්කොම විනාශයි. ජව සම්පන්න අශ්වයාට සහ දඩයමට සමු දීමෙන් සිදු වන්නේ කුමක්ද? එය අපගේ සාම කාමී ජීවනයේ අවසානයයි. එමෙන්ම එය කුස ගිනි නිවා ගැනීමට කරන සටනක ආරම්භයයි.
ඉදින් ඔබ අපගේ මවු බිම මිල දී ගැනීමට කරනු ලබන යෝජනාව ගැන සලකා බලන්නම්. එහෙත්, එයට එකග වන්නේ ඔබ විසින් අපට දීමට පොරොන්දු වන රක්ෂිතය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්. මේ කෙටි කාලය අපට එහි සාමයෙන් ජීවත් වන්නට හැකි වෙතැයි සිතනවා. අන්තිම රතු මිනිසාත් මේ පොළෝ තලෙන් අතුරුදහන්වූ කළ ඔවුන්ගේ මතකය තණ බිම හරහා පාවෙන වළාකුලක ඡායාවක් බවට පත්වූ කළ, මෙම තැනිතලා වන පෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවද ඉදිරියටත් තබා ගනීවි. අපේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවෙකු තම මවගේ පපුවේ ගැස්මට ආදරය කරන ලෙසින්ය.
ඉදින් අප අපේ මේ මවු බිම ඔබට විකුණුවහොත් අපි එයට ආදරය කළා සේම ඔබලාත් එයට ආදරය කළ යුතු බව මතක තබා ගන්න. අප එය කෙරෙහි දැක්වූ දයාවම එයට දක්වන්න. ඔබගේ මුළු ශක්තියෙන්ම, මුළු හදවතින්ම එය ආරක්ෂා කර ගන්න. ඔබේ අනගත දරුවන් වෙනුවෙන් එය රැක ගන්න. දෙවියන් වහන්සේ අප සැම දෙනට එක ලෙස ආදරය කරන්නාක් මෙන් ඔබත් මේ භූමියට ආදරය කරන්නට මතක තබා ගන්න.
එක කරුණක් අප දනිමු. අපි සියළු දෙනාටම ඉන්නේ එකම දෙවි කෙනෙක්. මේ මහා පොළොව උන්වහන්සේට මහාර්ඝ වස්තුවක්. සුදු මිනිසාට ද පොදු ඉරණමෙන් ගැලවීමක් නැත. අපි සියළු දෙනාම එකම සහොදරයෝ. කාලයාගේ ඇවෑමෙන් එය තීරනය වනු ඇත.
(
රතු ඉන්දියානු නායක සියැටෙල්ගේ කතාව මෙතනින් අහන්න පුළුවන් http://www.youtube.com/watch?v=OLw56hHbpYI)
....
බුවනෙකබා යෞවන සමාජය...