Sri Lanka

Wednesday, August 7, 2013

යුගයේ විශිෂ්ඨතම මව්ගුණ ගීතය.


අපි මේ කතාකරන්න හදන ගීතය තමයි හෙළ ගීත සාහිත්‍ය‍යේ මව් ගුණ ගැන ලියවුන විශිෂ්ඨතම ගීතය. ඒ තමයි අධිනීතීඥ රබණ්ඩා සෙනවිරත්න කියන අනුරාධපුරේ රජරට ඈත ගම්මානයක, එතුමන්ගේ වචන වලින්ම කියනවනම් අමුම අමු ගැමියෙකුගෙ පෑන් තුඩකින් ලියවුන දවසක් පැල නැති හේනේ කියන ගීතය. මේ ගීතය ගායනා කරන්නේ ලංකාව තුළ බිහිවුණු විශිෂ්ඨතම ගායන ශිල්පියෙක් වන ගණදාස කපුගේ ශූරීන් විසින්. ඉතින් එතුමන් අප අතරින් සමු අරන් අදට එනම් අප්‍රේල් 3වැනිදට අවුරුදු 10 ක් සපිරෙනව. එතුමන් සිහි කිරීම පිණිසයි අපි මේ ගීතය ඉදිරිපත් කරන්න හිතුවෙ. 

මේගීතය ඇහෙද්දිම අපිට හිතෙන්නෙ දවසක් පැලක් නැති හේනකට ගිය වෙලාවක මහ වැස්සක් වැස්ස. ඒ වැස්සෙන් මාව බේරන්න අම්ම මාව තුරුලේ හංගාගෙන හිටිය මතකයි. ඒ අදීවූ මතකයක්. ඒත් මේ ගීතය තුළ ඊට එහා ගිය මහා අරුතක් නිදන් ගත වෙලා තියනව. දවසක් පැල නැති හේන කියල රංබණ්ඩා මහත්තය අදහස් කළේ හිමි නැති ගෙදර, තාත්ත නැති ගෙදර කියන එක. පැල නැති හේන කිවුවෙ එතෙන්ටයි. තාත්ත නැති ගෙදර පුංච් දරුවෙක් හදාවඩා ගන්න අම්ම කෙනෙකුට කොයි තරම් නම් වෙහෙසක් ගන්න වෙනවද? නුවර කලාවිය, නුවර වැව, කලා වැව, පදවිය වැව කියන වැවි තුනෙන් පෝෂිත ප්‍රදේශය අපි හදුන්වනව නුවර කලාවිය කියල. එහි තිබුන ගෙවල් වලට වහින මහා වැස්ස තමයි දුප්පත් කම කියන වැස්ස. තාත්ත නැති ගෙදර හේනක් කොටාගන්න විදියක් නෑ, ගෙපැලට පොල් අතු ටික හෙවිලි කරගන්න පිරිමි දෑතක් නෑ, ආරක්ෂාවක් නෑ, රැකවරණයක් නෑ. දුප්පත් කම කියන වැස්සට හොදටම තෙමෙනව. 

දවසක් පැල නැති හේනේ
අකාල මහා වැහි වැස්සා 
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ
පායන තුරු හිටි පියවර 
සිටියා ඔබ අම්මේ

මේ මහා වැස්ස වහිද්දි මේ තාත්ත නැති ගෙදර අම්ම, දරුවට තෙමෙන්න දෙන්නැතුව, දුප්පත් කමට එන්න දෙන්නැතුව ඒ දුප්පත්කම කියන වැස්සට ඇය හොදටම තෙමුනා. නමුත් මාව තෙමුවෙ නෑ. කවද වෙනතුරුද මේ. මාව ගොඩ දාන තුරුම. පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේඑ කියන්නෙ මේ තාත්ත නැති ගෙදරට තවත් ස්වාමියෙක් හොයාගෙන මේ අම්ම ගියේ නැහැ. වෙනත් ජීවිතයක් පැතුවෙ නෑ. මේ සියලුම දේ යටපත් කරගෙන එකම හිතකින් මාව ගොඩදාන තුරු මාත් එක්කහ හිටියා ඔබ අම්මේ. 

ඔහුගෙ ජීවිතේ හැබෑම අත්දැකීම සදහන් වෙන්නෙ මේ විදියට.

දරිද්‍රතාවයේ පතුලේ සිටි සෙනවිරත්න පවුලේ මව් එකල සිය දූ දරු කුසගිනි නිවීමට පුරන්වී පාලුවී ගිය අත්හැර දැමූ හේන් වල එලවලු ආදිය එකතු කිරීම කළාය. දිනක් අම්මා ඔහු සමඟ එබඳු පාළු හේනක එළවළු එකතු කරමින් සිටියා ය. හදිසියේ ම මොර සූරන වැස්සක් කඩා වැටුණි. අම්මා ඔහුව ගහක් යටට ගෙන ගියා ය. වැස්සෙන් බේරීමට ගහේ හෙවන මදි විය. එවිට අම්මා කළේ ඇය ගේ ඔසරි පොට නවා මගේ හිසට දමා ඔහු තුරුළු කොටගෙන මට උඩින් නැමී ගෙන ඔහුව වැස්සෙන් ආරක්ෂා කිරීම ය. වැසි වතුර අම්මාගේ ඇඟින් පිරී බේරි වැක්කෙරෙනවා ඔහුට මතක ය. එසේ එම වැස්ස තුරල් වනතුරු ම ඇය නොසෙල් වී සිටියා ය

මෙන්න මේ සත්‍ය අත්දැකීමෙ මතකයත් එක්ක වයසින් මහුකුරා යද්දි ඒකට අපි කලින් කිවුව ගැඹුරු අරුතත් එක් කරල තමයි. ඔහු මේ මහා අර්ථාන්විත ගීය රචනා කරන්නෙ. දුප්පත්කම කියන මහා වැස්සෙන් තෙමි තෙමී තමයි ඔහුගෙ ළමා කාලය ගෙවෙන්නෙ. ඒ තමයි ඔහු පළවැනි වැස්සට තෙමෙන අවස්ථාව.

නමුත් දෙවැනි වැස්සකටත් ඔහු තෙමෙනව. එ තමයි, අම්ම ගොඩදාපු ජීවිතේ ඉදිරියට ඇවිත් ඔහු යුග ජීවිතේට එලඹෙනව. ඒ වෙනකොට ඔහු ජනප්‍රිය පුද්ගලයෙක්, උගතෙක්, වියතෙක්. ඉතින් ඔහු මෙහෙම ඉද්දි තමන්ගෙ පවුල් සංස්ථාවෙ එක එක ගැටළු ඇති වෙනව. ඔහුගෙ බිරිද ඔහු දාල ඔහුව තනි කරල යන්න යනව. බිරිද හැර ගියා කියන එක ස්වාමියාට මහා නින්දාවක්. ඒ නින්දා වැස්සට එනම් දෙවැනි වැස්සට ඔහු ඇති තරම් තෙමෙනව. 

නුවර වීදි යට කරගෙන 
නින්දා වැහි වැගිරුන දා
බිරිදකගෙ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදි 
දැනුණා මට අම්මේ 

යෝධ ඇල කියල කියන්නෙ සැතපුමකට අගලක් බැස්ම තියන අපූරු නිර්මාණයක්. මේ ඇලේ බැස්ම පැහැදිලිව පේන්නෑ. ඒ තරම් සියුම් බැස්මක් තමයි ඒකෙ තියෙන්නෙ. ඉතින් බිරිදගෙ සෙනෙහෙ නැති වෙලා ගියෙත් මෙන්න මේ වගේ පොඩ්ඩ පොඩ්ඩ තමයි. අන්න ඒ වෙලාවෙ තමයි ඔහු කියන්නෙ ඔබෙ සෙසෙහස සුවද දිදී දැනුනා මට අම්මේ කියල. අම්මව තමයි ඒ වෙලාවෙත් ඔහුට සිහි වෙන්නෙ.

ඊට පස්සෙ ඔහු රජරට අතෑරල අගනුවරට එනව අධිනීතිඥ වරයෙක් වෙලා. අධිනීතීඥ රංබණ්ඩා සෙනවිරත්න, බොහොම ජනප්‍රිය පුද්ගලයෙක්. මෙහෙම ඉන්නකොට, මේ කොළඹ ජීවිතේ ගත කරද්දි තවත් වැස්සකට තෙමෙන්න එන බව ඈත තිය දන්න නිසා ඔහු මෙහෙම කියනව,

කොළඹ අහස කළු කරගෙන 
මුහුදු හුළඟ අඬලනකොට
ඔටුන්න බිම දා දුවගෙන 
එන්නද එක පිම්මේ 
මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ

කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළග හඩලනකොට ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ. මොකක්ද මේ ඔටුන්න. බලය, නිලය, අධිනිතීඥ කම, වගකීම මේ සියල්ලම මේ සියළුම ඔටුනු හිස දරාගෙන ඉන්නෙ. ඇත්තටම ඔටුන්න කියන්නෙ යුක්තිය පසිදලන සංකේතයක්. එයින් ඔහු නීතීඥයෙක් කියන ඉගිය අපට දෙනව. මේ වෙලාවෙ ඔහුට ඉන්න එකම පිළිසරණ තමයි තමන්ගෙ අම්ම. තමන්ගෙ ඔටුන්න බිම දාල එන්න හිතෙන්නෙ අයෙමත් ඔහුගෙ අම්ම ළගටමයි. ඒකයි ඔහු කියන්නෙ මං එනතුරු ඉදිකඩ ළග ඉන්නවාද අම්මේකියල. එහෙම අහද්දිත් මේ අම්ම ජීවතුන් අතර නැහැ. නමුත් ඔහු කියනව අම්මගෙ සෙනෙහස තරම් සෙනෙහසක් ජීවිතේ කාගෙන්වත් මට ලැබුන්නෑ කියල.

ඉතින් අපි මේ කියන රංබණ්ඩා සෙනවිරත්න තමයි සේපාල ඒකනායකවෙනුවෙන් අළුත්කඩේ උසාවියේ පෙනීසිටියේත්. ඉතින් අපෙන් අහන්න එපා මේ සේපාල ඒකනායක කවුද කියල.

ඔහුගෙ ජීවිත අත්දැකීම මේ විදියට තමයි ගීයකට නැගෙන්නෙ. ගුණදාස කපුගේ ශූරීන්ගෙ හඩ මේ ගීතයට මුසුවීමත් සමගම තමයි මේ ගීතයේ අපූර්වත්වය තවත් වැඩි වෙන්නෙ. මම හිතනව වෙනත් කෙනෙක් මේ ගීතය ගායනා කලා නම් මේ තරම් රසික පිරිසක් මේ ගීතයක් එක්ක රොක් වෙන එකක් නැහැ කියල. ඔහුගෙ මේ විශිෂ්ඨතම ගීයත් සමගින් අපි ඔහුව ඉතාමත් ආදරෙන් සිහිපත් කරනව මේ මොහොතෙ.

දවසක් පැල නැති හේනේ
අකාල මහා වැහි වැස්සා 
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ
පායන තුරු හිටි පියවර 
සිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන 
නින්දා වැහි වැගිරුන දා
බිරිදකගෙ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදි 
දැනුණා මට අම්මේ 

කොළඹ අහස කළු කරගෙන 
මුහුදු හුළඟ අඬලනකොට
ඔටුන්න බිම දා දුවගෙන 
එන්නද එක පිම්මේ 
මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ



ඒ ගීතයත්, තවත් කපුගේ මහත්තයගෙ ලස්සන ගීත කිහිපයකුත් මෙතනින් අහන්න. http://www.youtube.com/watch?v=_dzI6F11cSc