Sri Lanka

Friday, August 2, 2013

මගේ පුංච් රෝස මලේ

ආදරය කියන්නෙ වචනයෙන් මෙන්න මෙහෙමයි කියල විස්තර කරන්න බැරි හරිම පුදුමාකාර දෙයක්. ආදරය අපිට අවශ්‍යයි. ආදරය නිසයි අපි ජීවත් වෙන්නෙ. ආදරය නිසයි හැම ගීතයක්මත් නිර්මාණය වෙලා තියෙන්නෙ බොහෝ විට. ඉතින් ආදරය කරන්න වයසක් නැහැ. ඕනම වයසකදි ආදරේ කියනදේ ඇති වෙන්න පුලුවන්. ඉතින් අපි මේ කතා කරන්න උත්සාහ කරන පුද්ගලයත් ප්‍රේම කරනවයි කියන සම්මත වයස පහු කරපු පුද්ගලයෙක්. තමාට වඩා වයසන් ගොඩක් බාල, තරුණ ගැහැණු ළමයෙක් ගැන තමන්ගෙ සිතෙහි ඇතිවුණ සිතුවිල්ලක් පමණයි. ඔහුත් මේ සමාජ සම්මතයන් බිද දමන්න උත්සාහ කරන්නෑ. නමුත් ඔහු වියපත් උනත් ඔහුට ඔහු බඹරෙක්. 

මේ ගීතයට මුල් වෙන්නේ සංගීත ගුරුවරයෙක් ඒ වගේම දැනට ජීවතුන් අතර නැති ප්‍රකට ගායකයෙක්. ඔහු ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක ධම්මික බන්ඩාරයන්ගේ හොඳම යහලුවෙක්.මොවුන් දෙදෙනා අතර වැඩි වයස් පරතරයක් තිබුනත් හොඳ මිත්‍ර බැදීමක් දෙදෙනා අතර තිබිලා තියනවා. ඒ බැඳීම කොච්චරද කියනවනම් මේ පුද්ගලයා අවුරුද්දකට දෙතුන් පාරක් විතර ධම්මික බන්ඩාර මහත්මයගෙ ගෙවල් පැත්තෙ ඇවිත් දවසක් දෙකක් විතර ඉඳලත් යනවලු. කොහොම උනත් මේ ගුරුවරයා මේ ගෙදරට ආවම කවුරු හිටියත් නැතත් උදේ දහය වෙනකොට මත්පැන් කාලක් තියෙන්නම ඕනිලු. නැත්නම් එහෙම කම්මුලට අත තියාගෙන දුක සේ ඉන්නවලු බලා ගත්තු අතේ බලාගෙන. ඉතින් මේ බව දැනගෙන මේ ගුරුවරයා එනවනම් කල් ඇතුවම ගෙදරට මත්පැන් ගෙනත් තියන එක අනිවාර්‍ය දෙයක් උනාලු.


ඔහොම දවසක සතු‍ටු සාමීචියෙ යෙදිලා ඔහොම මෙයා මත්පැන් බොන අවස්ථාවක මේ ගුරුවරයා අපූරු කථාවක් කියලා තියනවා.
"
මචං ධම්මික මගෙන් වයලින් ඉගෙන ගන්න එනවා ගැනු ලමෙක්. ඒ ගැනු ලමයට අවුරුදු දහ අටයි.මට හරි පුදුම ආදරයක් තමයි මේ ළමයා ගැන තියෙන්නෙ."
"
ධම්මික මට මේ ලමයා ආවේ නැති දවසට උගන්නන්න හිතෙන් නැ. මම සමහර වෙලාවට ජනේලෙන් හතරපස් පාර බලනව මේ ගෑනු ලමයා එනවද කියලා"
ඉතින් ඔහොම කියලා කිව්වම මේ ගැනත් නිකන් කතා කර කර ඉඳලා වෙනදා වගේ පොඩි විහිලුවකුත් කරලා දෙන්න කතාබහ ඉවර කරලා වෙන් වෙලා ගිහින් තියනවා. 
ඔය කථාව කියලා අවුරුදු දෙක තුනක් ගිහින් කොහොම හරි මේ කාලේ වෙනකොට මේ ගුරුවරයගෙ අසනීප තත්වයන් එක්ක වැඩිය එහෙමෙහෙ යන්න එන්න අමාරු තත්වයක් ඇතිවෙලා නිතර නිතර දෙදෙනාට මුන ගැහෙන්න බැරි වෙලා තියනවා. ඒත් කොහොම හරි දවසක කුමක් හෝ කටයුත්තකට මේ ගුරුවරයගෙ ගෙදෙට්ට ගිහින් තියනව ධම්මික බන්ඩාරයන්. ගෙදර තිබිලා තියෙන්නේ පයාගල. යනකොට ගෙදර හිටියේ පුංචි දුව විතරලු.
සතු‍ටු සාමීචියෙ යෙදිලා ඉන්න වෙලාවලු කෝ දුවේ තාත්ත කියලා ඇහුවම ලමයා කිව්වලු 
"
මාමේ තාත්ත ගෙදර නැ, මාමට පුලුවන් නම් යන්න කලුතර රෙස්ට් හවුස් එකට. තාත්ත එතන ඇති" 
ඊට පස්සේ ඔන්න ඉතින් ධම්මික බන්ඩාරයන් ගිහින් තියනවා රෙස්ට් හවුස් එකට. මේ වෙලාව කලුතර උසාවියෙ විවේක වෙලාවලු. ඒ නිසා නීතීඤ මහත්තුරුත් ඇවිත් මත්පැන් තොලගගා සතු‍ටු සාමීචියෙ යෙදිලා ඉන්න වෙලාවලු.අපේ ගුරුවරයත් ඈත තනියම මේසෙකට වෙලා හිස මේසෙ මත තියාගෙන ඉන්නව පේනවලු. ඔහොම අර මහත්තුරු ටික එහෙම එහෙට මෙහෙට වෙනකං ඉඳලා අපේ ගීත පද රචකයත් ගිහින් අර මේසේ ඉඳගෙන අඩුව සම්පූර්න කලාලු. 
ඉඳගෙන ලගින් හිටියට ගුරුවරයා සද්ද නැතිලු. මේසෙට හිස හරවගෙන ඉන්නවලු. දැං මේ මෙයාට ටිකක් විතර වැඩී කියලා තේරුනු නිසා ධම්මික බන්ඩරයන් කියලා තියනවා ඔයා ඔහොම ඉන්න මම ගිහින් ත්‍රීවීලර් එකක් අරන් එන්නම් කියලා. ඔහොම යන්න හදනකොට අරය ධම්මික බන්ඩාරයන්ව පු‍ටුවෙ වාඩි කෙරෙව්වලු. එහෙම වාඩි කරවල ඔහුගේ අතිං අල්ලගෙන පොඩි දරුවෙක් වගේ එක පාරට ඉකි ගගහා අඬන්න ගත්තලු.

"
ඇයි දැං උඹ අඬන්නේ?මොකක්ද සිද්ද උනේ ?"ධම්මික බන්ඩාරයන් ඇහුවලු..

''
මචං අර කෙල්ල කසාද බදිනවා,බුලත් අතක් දීලා මට වැදලා ගියා'' මේ ගායකයා හඩා වැටෙමින් කිව්වා.

ඔහොම ඉකි ගගහා අඬපු ගුරුවරයා තමයි අපි කවුරුත් දන්න මර්වින් පෙරේරා කියනා අසහාය ගායකයා. මේ කාරනය ගීත රචකයා කිසිම ජනමාධ්‍යකින් නම් ප්‍රසිද්ධ කරල නැ. අපිට හිතෙන විදියට වැඩි දෙනෙක් නොදන්න රහසක්. අමල් පෙරේරගෙ කැමැත්ත පිට තමයි මේ කාරනය ධම්මික බන්ඩාරයන් හෙලි කලේ. 

ආදරයේ වියෝව වයස් භේදයක් නැතුව දැනෙන හැගීමක්. පෙම්වතිය අහිමි වූ පෙම්වතෙක් විදින ඒ වේදනාවයි ''මගේ පුංචි රෝස මලේ'' ගීතයේ ලියවුනේ. ධම්මිකගේ පදරචනය අමරසිරි පීරිස්ගේ කටහඩින් ගීතයක් බවට පත් වුනේ එසේයි.

ආදරයට හරස් උනේ වයසයි.ඔහු වයසින් වැඩිහිටියෙක් ඇය ලාබාල තරුණියක්.ආදරයට වයස බලපාන්නේ නැහැ.නමුත් අසම්මතයැයි සිතූනමුත් තහංචි දැමිය නොහැකි හැගීමක්.

''
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් 
නොදකින කුමරා...''

''
කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය 
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...''

''
මගේ පුංචි නවාතැනේ 
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න...''