Sri Lanka

Wednesday, August 7, 2013

එදා යුධ බිමේ මතකය ඔයාටත් ඇති - සදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමි


යුද්ධය කියල කියන්නෙ අපි කවුරුත් ආස කරන දෙයක් නෙමෙයි. ආයෙත් මේ රටේ යුද්ධයක් ඇති නොවේවා කියන ප්‍රාර්ථනය තමයි අපි කාගෙත් හිත් වල තියෙන්නෙ. යුද්ධය ගැන කියද්දි අපිට අමකත කරන්නම බැරි පිරිසක් තමයි අපේ රණ විරුවො. ඉතින් අපේ දෙවිපියෝ කීදෙනෙකුට තමන්ගෙ දරුවන් අහිමි උනාද? බිරින්දෑවරු කී දෙනෙකුට තමන්ගෙ සැමියන් අහිමි උනාද? දරුවන් කී දෙනෙකුට තමන්ගෙ පියවරු අහිමි උනාද? ඒ නැගුනු වේදනාව කොයිතරම්ද? මේ ගැන කියද්දි මට මතක් වෙන්නෙ මගේ පුන්ච් කාලෙ වැලි කෙලියෙ ඉදන්ම එකට හිටිය මිතුරා පුදුකුඩුඉරිප්පු වලදි වෙඩි වැදිල මිය ගිහින් ගෙදර අරන් ආව දවසෙ මම කොයි තරම් නම් ඇඩුවද? ඔවුන් අපි වෙනුවෙන් දිවි දුන්න නිසයි අපි දැන් මේ සතුටින් ඉන්නෙ. ඔහුගෙ උපන්දිනය අප්‍රේල් 11 වෙනිදටයි යෙදිල තියෙන්නෙ. ඒ නිසයි මේ කතාව මට කියන්න හිතුනෙ.

ඉතින් අපි මේ කියන්න හදන්නෙ යුද්දෙදි අබාධිත තත්වයට පත් උන අහිංසක රණවිරුවෙකුගෙ කතාවක් තමයි.

කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැග්ග තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට ගියා. බස් රථය වේගයෙන් ඉදිරියට යමිනුයි තිබුනෙ. හෝමාගම මංසංධියේදී කිහිප දෙනෙක් බැහැල තවත් කිහිප දෙනෙක් නැග්ග. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට බොහොම අපහසුවෙන් නැගගත්ත. සෙනග අතරින් අමාරුවෙන් වගේ ඉස්සරහට ගියපු ඔහු කලින් කී තරුණිය ළගින් හිටගත්ත. බස් රථය ඉදිරියට ඇදෙන්නට පටන් ගත්ත.

ටික වෙලාවක් යද්දි මේ තරුණියට මේ තරුණයා තමන්ගෙ කකුල පාගනව වගේ දැනෙන්න පටන් ගත්ත. එක පාරක් කකුල අහකට ගත්ත. ඒත අයෙත් පෑගුනා. අයේ ආයෙත් පෑගුනා. එකපාරක් දෙපාරක් රවල බැලුව. පස්සෙ තරුණිය තමන්ගෙ කටහඩ අවදි කළා

''
තමුසේ මහ වනචරයෙක් ! දැන් දෙතුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගන්නවකො මට වද දෙන්නෙ.''

බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු උනා. තරුණයා කොච්චර හැඩි දැ‍ඩි උනත් ඔහුට ඒ වචන දරා ගන්න බැරි වුනා. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට වුනා. ඔහු ඒ තරුණියට කතා කරල මෙහෙම කිවුව. 

''
ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''

තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියා. එහෙම කියපු තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැහැල යන්න ගියා. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට වුනා.

අපි පේ රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුයි නේද? ඔවුන් නිසයි අද අපි සතුටින් ජීවත් වෙන්නෙ.

ඉතින් මේ සිදුවීම මුල ඉදන්ම දැකපු කෙනෙක් හිටිය. ඔහු මේ කතාව තමන්ගෙ සමීප මිතුරෙකුත් එක්ක කියනව. අන්න ඔහු අතින් මේ අනුවේදනීය කතාව රැගත් ගීතය ලියවෙනව. ලක්ෂ්මන් හිලිමිගෙ අපූරු කටහඩ මේ ගීතයට මුසු වුනාම අපි කාගෙත් ඇහැට කදුලක් එනව මේ ගීතය ඇහෙන හැම වාරෙකම.

රිදී පාට කල පා තුඩු පයට පෑගිලා
නපුරු වී ඔයා මා සළලෙකුට සම කලා
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ලඟ හඬා වැල‍පෙනා


විදින වේදනා මදිමට නගයි චෝදනා
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා..
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කදුලු සඟවලා


නොදැන ඔබ එදා මට බැණ වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති..
එදා යුධ බිමේ මතකය ඔයාටත් ඇති
සදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමී..


ගීතය බලන්න මෙතනින්. http://www.youtube.com/watch?feature=player_embedded&v=PuzoBETmbSc