Sri Lanka

Thursday, August 8, 2013

ගාඩීනියා මල


ඔන්න අපි අරන් ආව තවත් ලස්සනම ලස්සන කතාවක්. අපි විශ්වාස කරනව ඔයාල මේක ආදරෙන් වැළදගනී කියල. මේක බොහොම අපූරු අර්ථාන්විත කතාවක්. අපේ අම්මල තාත්තල අපිට කොයි තරම් ආදරෙයිද කියන එක මේකෙන් හොදට තේරුම් ගන්න පුලුවන්. එත් එක්කම එයාල අපිට දෙන අවවාද හැම මොහොතෙම මතකයේ තබා ගත්තොත් අපිට කිසිම මොහොතක වරදින්නෙත් නැහැ කියන කාරණය මේ තුළින් අපිට බොහොම හෙදට අවබෝධ කරගන්න පුළුවන්. මේක අපි උපුටා ගත්ත කතාවක්. මේක ඉංග්‍රිසි කතාවකින් පරිවර්ථනය කරල අපිට ගැලපෙන කතාවක් විදියට නිර්මාණය කළ මනෝ ෆොන්සේකා මහත්මයාට අපගේ සියලු ගෞරවය හිමිවේ. විශේෂයෙන්ම කියන්න ඕන මට මේක ලැබුනෙ pdf ෆයිල් එකක් විදියට. ඉතින් එකම වින්ඩෝ එකේ pdf එකත් ඕපන් කරගෙන word එකත් ඕපන් කරගෙන මේක යුනිකොඩ් එකේ ෆොන්ට් එකෙන් මේක ටයිප් කරන්න ලොකු මහන්සියක් ගන්න උනා. ඒ නිසා ටයිප් කරද්දි වෙලා තියන වැරදි ගැන කට්ටගෙන්ම සමාව ඉල්ලනව. කතාව කියවලා කොමෙන්ටුවක් දාල යන්නත් අමතක කරන්න එපා. ඔයාල මේව කියවලා වින්දනයක් ලබනව නම් ඒකෙන් ලබන සතුට විතරමයි අපි ලබන එකම දේ.

++++++++++++
මගේ නම නිමේෂා. මට කවුරුත් ආදරේට කියන්නෙ නිම්මි කියලා. අපේ ගෙවල් තියෙන්නෙ මහනුවරට කිට්ටුව. මම ඔය ගොල්ලන්ට කියන්න යන මේ කතාව පටන් ගන්න කොට මගේ වයස අවුරුදු දහසයයි. ඒ කියන්නෙ මම එතකොට පුංචි කෙල්ලෙක් නේද.... ම්ම්ම්... පුංචිම කියල කියන්නත් බෑ. මොකද අවුරුදු දහසයක් කියන්නෙ යමක් කමක් තේරෙන වයසක් නෙ. ඒත්... ඔව් ඒත් මට ජීවිතයේ අත්දැකීම් තිබුනෙ නැහැ. ඉතින් මට ජීවිතය ගැන පොඩිම පොඩි බයක් ඒ කාලෙ තිබුනා.. මට යාලුවො ගොඩක් හිටියා. මගේ හොඳම යාලුවා තමයි තුෂාරි. තවමත් එයා මගේ හොඳම යාලුවා තමයි. ඒත් මට සහෝදර සහෝදරියො කවුරුත් නැහැ.


මම ගැන ආත්ම වර්ණනාවක් කරනවා එහෙම නෙමෙයි. මට හැමෝම කියන විදියට මම හරිම ලස්සන කෙල්ලෙක්. මට හිතෙනව ඒක ඇත්ත වෙන්න ඇති කියල. මොකද මම දිහා හැරිල බලපු නැති කොල්ලෙක් ඒ කාලෙ හිටියේ නැතුව ඇති...ම්ම්ම්ම්... දැනුත් එහෙම තමයි ඉතින්!! .... අනේ මම ගැන මේ පාරට්ටුවක් කරනව එහෙම නෙමෙයි.


මට කොච්චර යාලුවො හිටියත්, මගේ ශක්තියයි, පහන් එළියයි වුනේ මගේ අම්මි තමයි. අම්මිගෙ එකම වස්තුව වුනේ මම. හැබැයි අම්මි කවදාවත් මාව බෝනික්කෙක් වගේ හැදුවෙ නෑ. මට ආදරය දුන්න. මට හොඳ නරක කියල දුන්න. සමාජයේ ජීවත් වෙන්න ඕන හැටි කියල දුන්න. ජීවිතය රෝස මල් යහනාවක් නෙමෙයි කියල කිව්ව. අම්මිගෙ මේ ආදරයයි, මග පෙන්වීමයි මට ලොකුම ලොකු අත්වැලක් වුනා. අම්මියි මමයි අතර තිබුනේ පුදුම බැඳිමක්. සමහර වෙලාවට මට හිතුනා මගේ හොඳම යාලුවා තුෂාරි නෙමෙයි, මගේ අම්මි කියල. අපි දෙන්න ඒ තරම්ම කිට්ටුයි.


මගේ තාත්ති එයාගෙ රස්සාව හින්ද ගොඩක් මහන්සි වුන කෙනෙක්. තාත්ති කවදාවත් බොරු කෙරුවෙ නැහැ. වග කීමකින් රස්සාව කරා. මේ හින්ද එයාට වැඩිය මාත් එක්ක සෙල්ලම් කරන්න වෙලාවක් තිබුනෙ නැහැ. පුංචි කාලෙ මාව වැඩිය හුරතල් කරේ නැහැ. මේ හින්ද මම තාත්ති එක්ක ඒ කාලෙ තරහෙන් හිටියෙ.


පුංචි කාලෙදි මට තේරුනේ නැති වුනත් තාත්ති මට පණ වගේ ආදරය කරා කියල මට දැන් තේරෙනවා. ගොඩක් පිරිමි අය ආදරය පපුව ඇතුලෙ තියාගෙන ඉන්නව මිසක් ඒක වැඩිය පෙන්නන්නෙ නෑ කියන එක මම දැන් දන්නවා. මගේ තාත්තිත් ඒ වගේ තමයි. තාත්ති අම්මිටයි මටයි ගොඩාක් ආදරය කරා. ඒත් ඒක එළියට පෙන්නුවෙ නෑ. තාත්ති ඒ දවස්වල ඒ විදියට මහන්සි වෙලා රස්සාව කරේ අම්මිවයි මාවයි ජීවත් කරවන්න කියල මට ඒ කාලෙ හිතුනෙ නැහැ. මට හොඳ අනාගතයක් දෙන්න කියල ඒ කාලෙ මට හිතුනෙ නෑ. දැන් මට එහෙම හිතෙන කොට කියාගන්න බැරි තරම් දුකක් දැනෙනවා.


මගේ දහසය වෙනි උපන් දිනය දවසෙ අම්මි මට ගොඩක් වටින තෑග්ගක් දුන්නා. ඒ තෑග්ග ගොඩක් සල්ලි දීල කඩේකින් ගත්ත තෑග්ගක් නෙමෙයි. ජීවිතයට ඕන කරන වැදගත් උපදෙස් කීපයක් තමයි අම්මි මට දුන්න ඒ තෑග්ග වුනේ.


"
නිම්මි.... අද ඉඳන් ඔයාගේ ළමා කාලෙ ඉවරයි... ඔයා දැන් ලෝකෙට මූණ දෙන්න ඕන... ලෝකෙ එච්චර නරක තැනක් නොවෙයි වගේම එච්චර හොඳ තැනකුත් නෙමෙයි.. ගෑණු ළමයි.. විශේෂයෙන්ම ඔයා වගේ ලස්සන ගෑණු ළමයි ගොඩක් සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕන... ජීවිතයෙ මොකක් හරි කරදරයක්.. හිතේ අමාරුවක් වුනොත්..ඒකෙන් ජීවිතය ඉස්සරහට අරගෙන යන්න අත්දැකීමක් අරගන්න... ඒ කරදරය හින්ද වැටෙන්න එපා... බය වෙන්න එපා දූ... තාත්තියි මමයි ඔයා ළඟින්ම ඉන්නවා... ඔයාට තියෙන්නෙ හොඳ නරක තේරුම් අරගෙන වැඩ කරන්න විතරයි.. මිනිස්සු එක්ක සහයෝගයෙන් වැඩ කරන්න... දුව... ඔයාගෙ ලස්සන හින්ද පිරිමි ළමයි ඔයාගෙ පස්සෙන් එනව.. ඒක නවත්තන්න බෑ... එහෙම තත්වයක් ඇති වුනාම කල්පනාවෙන් වැඩ කරන්න... හැම පිරිමි ළමයම හොඳ නෑ වගේම හැම පිරිමි ළමයම නරකත් නෑ..."


"
ඔව් අම්මි මට තේරෙනව.... මගේ හයිය අම්මියි තාත්තියි තමයි...."


මම අම්මියි තාත්තියි බදා ගෙන ලොකු හාදුවක් දෙන ගමන් කිව්වා. ඒ වෙලාවෙ අම්මි මම දිහා බලලා යන්තම් හිනා වුනත්, තාත්තිගෙ ඇස් දෙකේ කඳුලු බිංදු තියෙනව මම දැක්කා.


එදා උපන් දිනය දවසෙ අම්මි කියපු දේ ඒ විදියටම සිද්ධ වුනා. මම ඉගෙන ගත්තේ මහනුවර තියෙන ප්‍රසිද්ධ ගෑණු ළමයින්ගෙ ඉස්කෝලෙක. මම එනකන් අපේ ඉස්කෝලෙ ළඟ රස්තියාදු වෙවී හිටිය කොල්ලන්ගේ ගණන නම් ඉතින් කොච්චරද කියල කියන්න මම දන්නෙ නෑ.


ඒ කාලෙ දැන් වගේ මෝබයිල් ෆෝන් තිබුනෙ නැති හින්ද කොල්ලො ෆෝන් නම්බර් ඉල්ලන වැඩ තිබුනෙ නැහැ. ගොඩක් වෙලාවලට කරේ මගේ යාලුවා තුෂාරි අතේ පණිවිඩ එවපු එක තමයි. තුෂාරිටත් මේක මහ වදයක් වෙලා තිබුනෙ.


++++++++


මෙහෙම කාලය ගෙවිල ගිහිල්ල මගේ දාහත් වෙනි උපන් දිනය ආවා. ඒ උපන් දිනය දවසෙ පුදුම දෙයක් සිද්ධ වුනා.

උපන් දිනය දවසෙ උදේ පාන්දරම මගේ නමට ලස්සන කවරයකින් ඔතල, රිබන් එකක් බැඳපු පෙට්ටියක් ඇවිත් තිබුනා. මම ඇත්තටම පෙට්ටිය දිග ඇරියෙ ආසාවයි බයයි දෙකම හිතේ තියාගෙන. මේක බෝම්බයක්ද කියල මට සැකයකුත් තිබුනා.


……
පෙට්ටිය ඇතුලෙ තිබුනෙ නටුවයි කොල දෙකකුයි එක්ක හරිම ලස්සන සුදු පාට ගාඩීනියා මලක්….. ඒ ගාඩීනියා මලේ සුවඳින් මුලු ගෙදරම පිරුනා.


මට මේක අදහා ගන්න බැරුව ගියා. කවුද මට උපන් දිනේට ගාඩීනියා මල් එවන්නෙ?... පෙට්ටිය ඇතුලෙවත්, එළියෙ වත් එවපු කෙනෙක්ගෙ නමක් ගමක් තිබුනෙ නැහැ. මට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුනා. ඒ වුනත් මට සියුම් සන්තෝසයක් ඇති වුනා. ඒක පොඩි ආඩම්බර කමක් කියල කියන්නත් පුලුවන්.


මම ඉක්මනට මේක අම්මිට පෙන්නුවා. අම්මි මම දිහා ටිකක් අමුතු විදියට බැලුවා.


"
නිම්මි.. මට ඇත්ත කියන්න... ඔයා බෝයි කෙනෙක් එක්ක යාලුද?......"


අම්මී මෙහෙම ඇහුවත්, ඒ අහපු විදියේ ලොකු ලෙන්ගතු කමක් තිබුනා කියල මට හිතුනා.


"
අනේ අම්මි පිස්සුද?... මට එහෙම කෙනෙක් නැහැ... "


"
මම එහෙම ඇහුවෙ නිම්මි.... සාමාන්‍යයෙන් ගාඩීනියා මල් එවන්නෙ කෙනෙක්ට ගොඩාක් ආදරය කරන කෙනෙක්... ඉතින් මම හිතුව ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් හරි... ඔයා ගැන ක්‍රෂ් එකක් තියෙන බෝයි කෙනෙක් හරි මෙහෙම එව්වා කියලා...."


"
අනේ අම්මි... මට ක්‍රෂ් එකක් තියෙන කොල්ලො නම් ගොඩක් ඇති... ඒත් මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් නෑ... අම්මි... සුදු ගාඩීනියා මල් වල මුකුත් විශේෂ දෙයක් තියෙනවද?......"


"
දුව...ගාඩීනියා මල කියන්නෙ.. හාර්ට් එකෙන්ම එන ආදරය.. ඒ වගේම බැඳිම පෙන්නන සිම්බල් එකක්... ඒ එක්කම ගාඩීනියා මලකින්.. ශක්තිය... ධෛර්යය... වගේ දේවලුත් පෙන්නනවා......"


අම්මි මෙහෙම කිව්වම මට පුදුම හිතුනා. 


"
අනේ අම්මි.. ගාඩීනියා මල් හරිම ගණන් නේද?... ඉතින් කාටද මට මෙහෙම මලක් එවන්න තරම් ආදරයක් තියෙන්නෙ?....."


"
දුව... අපිට දැනෙන්නෙ නැතුවට අපිට ආදරය කරන අය ඉන්න පුලුවන්... අන්න එහෙම කෙනෙක් වෙන්න ඕන ඔයාට මේ මල එවන්න ඇත්තෙ... "


කවුද මට මේ ගාඩීනියා මල එව්වෙ?. මේක මට හිතට වද දෙන ලොකු ප්‍රශ්නයක් වුනා.


මම මේ ගැන තුෂාරි එක්කත් කතා කරා.


"
මේ නිම්මි.... මට නම් හොඳටම ෂුවර් මේක උඹට ට්‍රයි කරන කොල්ලෙක් තමයි එවල තියෙන්නෙ... මිනිහගෙ ලව් එක උඹට පෙන්න ගන්න වෙන විදියක් නැති හින්ද මේ විදියට ගාඩීනියා මලක් එවන්න ඇති....."


"
ඉතින් බන්.. එහෙම එවනව නම් කවුද කියල කියන්න ඕන නෙ..... අනික..එයා කොහොමද මගේ බ'ත් ඩේ එක දැන ගත්තෙ?....."


"
උඹට පිස්සුද බන්... උඹෙන් කෙළින්ම අහන්න ගට් එකක් නැති හින්දනෙ මේ වගේ මලක් එව්වෙඉතින් එහෙම එකේ මෑන් නමක් ලියල එවයිද..... අයියෝ බන්...කොල්ලෙක්ට ලව් එක ඔලුවට ගැහුවම කෙල්ලගෙ බ'ත් ඩේ එක හොයා ගන්න එක මාර සිම්පල් වැඩක්නෙ..."


"
හ්ම්ම්... අනේ මන් දන්නෙ නෑ බන්... මට නම් මේක මාර අවුලක් තමයි....."


තුෂාරි කිව්ව වගේ මේ මල එවන්න ඇත්තෙ මට ක්‍රෂ් තිබුන කොල්ලෙක් තමයි කියල මමත් හිතුව. මේ හින්ද ඊට පස්සෙ මගේ හිතට පිරිමි ළමයි ගැන හැඟීම් ගලා ගෙන එන්න පටන් ගත්තා.


මේ අතරෙදි තමයි චාමර මගේ ජීවිතයට ඇතුලු වුනේ.


චාමරට තිබුනෙ හරිම අහිංසක පෙනුමක්. ඒ පෙනුමට මම ඇදිල ගියා කියල කියන්න පුලුවන්. තුෂාරි අතේ චාමර 
එයාගෙ ආදරය මට කියල එව්වම මට ඒ ආදරය අහක දාන්න බැරි වුනා.


චාමරගෙයි මගෙයි ආදරය තුෂාරි ඇරෙන්න වෙන කවුරුත් දැන ගෙන හිටිය නැහැ. මගේ අම්මිට මේක කියන්න තරම් ආත්ම ශක්තියක් මට තිබුනෙ නැහැ.


චාමරයි මමයි ගොඩක් කිට්ටු වුනා. අපි දෙන්න ටියුෂන් පන්ති ඉවර වුනාම එහෙ මෙහෙ ඇවිදින්න ගියා. අපි ගොඩක්ම ගියේ පේරාදෙනිය මල් වත්තට තමයි.


"
චාමර... ඇත්තටම මට අර ගාඩීනියා මල එව්වෙ ඔයා නේද?.. අනේ මට ඇත්ත කියන්නකො පැටියෝ....."


මල් වත්තෙ බංකුවක වාඩි වෙලා චාමරගෙ පපුවෙ ඔලුව තියාගෙන හිටිය මම මෙහෙම ඇහුවෙ ගාඩීනියා මලේ සිද්ධිය මගේ හිතට වදයක් වෙලා තිබුන හින්ද.


"
අනේ නෑ කෙල්ලෙ... මම නෙමෙයි එව්වෙ... ඒ කොහොම වුනත් ඒ මලෙන් කියනව වගේම මම ඔයාට ආදරෙයි නිම්මි....."


"
ඔය ඇත්තමද පැටියො?...."


"
ඔව් කෙල්ලෙ..... මම ඔයාට පණ වගේ ආදරෙයි...."


මෙහෙම වෙලාවට මට ඉවසන්න බැරුව යනවා. ඉතින් මම චාමරගෙ බෙල්ල වටේ අත් දාගෙන එයා එක්ක කිස් කරන්නෙ මුලු ලෝකෙම අමතක කරල. 


ඒත්.... චාමරගෙ මේ ආදරය වචන වලට විතරක් සීමා වුන දෙයක් කියල බොළඳ ආදරයෙන් අන්ධ වෙලා හිටිය මට එදා තේරුනේ නැහැ. චාමරට ඕන කරල තිබුනේ මගේ ලස්සන ඇඟ විතරයි. එයාගෙ පහත් ආසාවල් මගේ ලස්සන ඇඟ හින්ද ඇවිස්සිලා තිබුන කියන එක ඒ දවස්වල මට හරියටම තේරුනේ නැහැ.


චාමරගෙ මේ ආසාවල් රතු ඉර පනින්න වැඩි කාලයක් ගියේ නෑ.


"
නිම්මි....."


"
ම්......." එක දවසක් මල්වත්තෙ බංකුවක චාමරට තුරුලු වෙලා හිටිය මම හෙමින් කිව්ව.


"
කෙල්ලෙ...මම ඔයාට ගොඩක් ආදරෙයි.... මේ ඇත්තමයි... මම මැරී කරන්නෙ ඔයාවම තමයි... මේ... ඒ හින්ද අපි හැමදාම මෙහෙම මල් වත්තටම වෙලා ඉන්න ඕන නැහැනෙ බබෝ..... මේ... ම්ම්ම්... අද.. අද.. අපි රූම් එකකට යමුද?....."


චාමර මෙහෙම කිව්වම මම කරකවල අත ඇරිය වගේ වුනා. මට කියන්න ඕන මොකද්ද කියල හිතා ගන්න බැරි වුනා. මගෙත් හැඟිම් ටිකක් ඇවිස්සිල තමයි තිබුනෙ. ඒත්ඒ වෙලාවෙ මට දහසය වෙනි උපන් දිනය දවසේ අම්මි කියපු දේවල් මතක් වුනා.


"...
ලෝකෙ එච්චර නරක තැනක් නොවෙයි වගේම එච්චර හොඳ තැනකුත් නෙමෙයි.. ගෑණු ළමයි.. විශේෂයෙන්ම ඔයා වගේ ලස්සන ගෑණු ළමයි ගොඩක් සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕන... " 


අම්මිගෙ මේ වචන මගේ හිත පුරාම දුවන්න ගත්තා. ඒ ගැම්ම හින්ද මම හැඟීම් යට කරල මොලය පාවිච්චි කරා.


"
චාමර... ඔයා වගේම මමත් ඔයාට ගොඩක් ආදරෙයි... ඒත් චාමර... අනේ වෙරි සොරි.... මට බෑ ඒ වගේ දේකට කැමති වෙන්න... අනේ මාව තේරුම් ගන්න ප්ලීස් ....."


චාමරගෙ මූණෙ පෙනුම එක පාරටම වෙනස් වුනා.

"
හ්ම්ම්ම්ම්....." එයා කිව්වෙ එච්චරයි.


එදා ඉඳන් චාමර වෙනස් වෙන්න පටන් ගත්තා. ඊට සුමානෙකට විතර පස්සෙ මගේ හදවතේ තුවාලයක් ඇති කරල චාමර මගෙන් වෙන් වෙලා ගියා.


එදා මුලු දවසම මම ඇඬුවා. රෑට කෑම කන්න ආවේ නැති වුනාම අම්මි මගෙ කාමරේට ආවා. මගේ ඉදිමිලා රතුවෙලා තිබුන ඇස් දැක්කම අම්මිට වෙලා තියෙන දේ තේරුනා.


"
අනේ අම්මී....."


මම අම්මිව බදා ගෙන හයියෙන් අඬන්න ගත්තා. අම්මි පොඩි කාලෙදි වගේ මාව තුරුලු කර ගත්තා.


"
දුව... ඔයාගෙ දුක ඉවර වෙනකන් ඇති වෙන්න අඬන්න වස්තුවෙ.. කිසිම දෙයක් පපුවෙ හිර කරගෙන ඉන්න එපා.... දුක කියන එක පිට කරල දාන්න ඕන... ඔයාට වෙලා තියෙන දේ මට හිතා ගන්න පුලුවන්.... මටත් ඔයාගෙ වයසෙදි ඔය දේ වෙලා තියෙනව නිම්මි....."


"
අනේ අම්මි... මට සමාවෙන්න අම්මි... මම අම්මිට හොරෙන් තමයි එයත් එක්ක යාලු වෙලා හිටියෙ.. මම එයාට ආදරය කරා.. ඒත් එයා මාව දාල ගියා... ඒත් අම්මි... මම අම්මිටයි තාත්තිටයි කිසිම දුකක් වෙන දෙයක් කරේ නෑ...."


"
මම ඒක හොඳටම දන්නව දුව.... ඔයා ඔලුව කල්පනා කරල වැඩ කරනව කියල මම හොඳටම දන්නවා... දුව ...ඔයා කිසිම දේකින් පස්සට යන්න එපා... මතක තියා ගන්න දුව... ඔයාගෙ ජීවිතේට මේ ඇතුලු වෙලා හිටියෙ දෙවියන්ගේ පණිවිඩ කාරයෙක් විතරයි... ඒ නියම දෙවියෙක් නෙමෙයි... ඒ නියම දෙවියා... ඒ කියන්නෙ ඔයාගෙ උරුමක්කාරයා ඔයාව හොයාගෙන කවද හරි එනවා... අන්න ඒ උතුම් දෙවියාට ඔයා ළඟට එන්න පාර හැදුවෙ මේ පණිවිඩ කාරයා තමයි.....


අම්මිගෙ මේ කතාවෙන් මට කියන්න බැරි තරම් හයියක්, පණක් ලැබුනා.


"
අනේ අම්මි.... මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම දුව මම තමයි අම්මී...." අම්මිගෙ උකුලෙ ඔලුව තියාගෙන මම ආයිත් ඇඬුවා.


"
නිම්මි... මම ඔයාට කලින් කියල තියෙනවනෙ කෙල්ලෙ.... අපිට මොකක් හරි කරදරයක් වුනාම අපි ඒකෙන් ජීවිතයට අත් දැකීමක් අර ගන්න ඕන.... ඔයාටත් දැන් මේ වුන දෙයින් අත් දැකීමක් ගන්න පුලුවන්.. දැන් ඔයාට මිනිස්සු තේරුම් ගන්න පුලුවන් කමක් තියෙනවා... ඉස්සරහට ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි... හොඳ මිනිස්සු කවුද.. නැත්තෙ කවුද කියල තේරුම් ගන්න ඔයාට දැන් පොඩි දැනීමක් හරි තියෙනව...."


අම්මි මට දුන්න මේ ශක්තියයි ආදරයයි ජීවිතය ඉස්සරහට අරන් යන්න ලොකු අත් වැලක් වගේම පන්නරයක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙ.

එදා ඉඳන් මම හැඟිම් වලට වැඩිය උඩ එන්න දෙන්නෙ නැතුව ගොඩක් කල්පනාවෙන් වැඩ කරන්න ගත්තා. මම චාමරගෙන් වෙන් වුනා කියල දැන ගත්ත අනිත් පිරිමි ළමයි මාත් එක්ක යාලු වෙන්න ගත්තෙ පුදුම උත්සාහයක්. මම හින්ද කීප දෙනෙක් ගහ ගෙන රණ්ඩු වෙලා තියෙනව කියල මම පස්සෙ දැන ගත්තා. 


මම ආදරයක් ගැන හිතන්නෙ නැතුව ළඟ එන උසස් පෙල විභාගෙට ලෑස්ති වුනා. අම්මි කිව්ව වගේ ඒ නියම දෙවියා... මගේ උරුමක්කාරයා වෙලාවට එයි. 


අම්මිගෙයි තාත්තිගෙයි බලාපොරොත්තුව වෙලා තිබුනේ මාව ඩොක්ට' කෙනෙක් කරන්න. ඉතින් ඒ දෙය කරන්න මම හැම උත්සාහයම ගත්තා.

උසස් පෙළ විභාගය පටන් ගන්න තිබුනෙ මගේ දහ අට වෙනි උපන් දිනයට සුමාන දෙකකට පස්සෙ. දහ අටවෙනි උපන් දිනයදවසෙ උදේ පාන්දරම කලින් උපන් දිනයෙ වගේම මට ලස්සන සුදු පාට ගාඩීනියා මලක් ඇවිත් තිබුනා. ඒ මල කලින් අවුරුද්දටත් වඩා ගොඩක් ලස්සනයි, ඒ වගේම ඊට වඩා ලොකුයි.


මම මේ ගැන අම්මිට කිව්වම අම්මි කිව්වෙ කලින් අවුරුද්දෙ කියපු කතාවම තමයි.


"
දුව... ඔයාට ගොඩක් ආදරය කරන..ඒ වගේම ඔයාව අගය කරන... ඒත් ඔයාට ඒ ආදරය කරනවකියන්න කැමති නැති කෙනෙක් ඉන්නව... අන්න එයා තමයි මේ ගාඩීනියා මල් එවන්නෙ.... "


"
අනේ අම්මි... මට එයා කවුද කියල දැන ගන්න ඕන....."


"
ඔව් මම දන්නවා මේක ඔයාට ලොකු කුතුහලයක් කියල.. ඒත් දුව.. අපිට ඒක දැන ගන්න විදියක් නැහැනෙ... අනික ඉතින්... ඔයා සන්තෝස වෙන්න දුව.... ඔයාට ආදරය කරන මේ වගේ කෙනෙක් ඉන්න එක ගැන....ඔයාට තියෙන්නෙ මේ මල එවන එක්කෙනාගේ ආදරයෙන් ජීවිතයට ශක්තියක් ගන්න එක විතරයි... සමහර විට මේ එවන එක්කෙනාගෙ අදහසත් ඒකද කියල කියන්න බැහැ නෙ.....එයා මේ මල එවන්නෙ ඔයාගෙ ජීවිතයට ශක්තිය.. ඒ වගේම විස්වාසය දෙන්න වෙන්න පුලුවන්....."


අම්මි කියපු මේ කතාව ඇත්තක් කියල මට හිතුනා. මේ ගාඩීනියා මල හින්ද මගේ ජීවිතයට අමුතු පණක් ලැබුන කියල මට දැනුනා.ඒකෙන් තව සුමාන දෙකකින් තියෙන මගේ උසස් පෙළ විභාගෙ හොඳට කරන්න මට ලොකු ගැම්මක් ඇත්තටම ආවා.


++++++++


උසස් පෙල විභාගයෙන් මම මහනුවර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය අරගෙන මෙඩිසින් කරන්න තේරුනා. මට, අම්මිට තාත්තිට, ඒ වගේම තුෂාරිට ඇතිවුනේ කියන්න බැරි තරම් සන්තෝසයක්. ප්‍රතිඵල ආපු දවසෙ තාත්ති මාව තුරුලු කරගෙන පොඩි ළමයෙක් වගේ ඇඬුවා. තාත්ති මට කොච්චර ආදරේද කියල එදා මට කවදාවත් නැති විදියට තේරුනා.


අපේ ඉස්කෝලෙ හොඳම ප්‍රතිඵල තිබුනෙ මට. ඒ හින්ද මට විශේෂ මෙඩ්ල් එකක් දෙන්න ඉස්කෝලෙන් උත්සවයක් ලෑස්ති කරල තිබුනා. අම්මි කිව්ව මේ උත්සවයට සාරියක් අඳින්න කියල. තාත්ති මට හරිම ලස්සන සාරියක් අරගෙන දුන්නා.


"
දුව... ඔයා මේ සාරිය ඇන්දම ප්‍රින්සස් කෙනෙක් වගේ ඉඳී...."


තාත්ති මෙහෙම කිව්වෙ පපුවෙ හිර කරගෙන ඉන්න මහ මෙරක් වගේ ආදරයක් එක්ක කියල මට තේරුනා.


ඒත්...ඒත්... ඒත් අනේ.... ඉස්කෝලෙ ඒ උත්සවයට සුමාන තුනකට කලින්.... හදිස්සියෙ හැදුන අසනීපයක් හින්ද මගේ තාත්ති....ස්ස්ස්ස්... අම්මිවයි මාවයි තනි කරල මේ ලෝකෙන් සමු ගත්තා.......


මට හැම දේම එපා වුනා...... මට මුලු ලෝකෙම එපා වුනා.... දෛවය මට මේ තරම් දුක් ගින්දරක් දුන්නෙ ඇයි කියල මට හිතා ගන්න බැරි වුනා.... මම ගොඩාක් ආදරේ කරපු තාත්ති.... මට පණ වගේ ආදරේ කරපු මගේ රත්තරන් තාත්ති... මගේ ජීවිතයේ වැදගත් සිදුවීම් බලන්න ඉන්නෙ නැතුව මෙහෙම මාවයි අම්මිවයි දාලා ගියේ ඇයි කියල ගෙදර තියෙන බුදු හාමුදුරුවන්ගෙ පිළිමෙ ඉස්සර දණ ගහල වැඳගෙන මම ඇහුවා.


මට මගේ දුක වාවා ගන්න බැරි වුනා. ඉස්කෝලෙ උත්සවයට යන එක මට එපා වුනා. මට හිත හදා ගන්න බැරි වුනා.


අම්මිත් කොච්චර දුකෙන් ඉන්නවද කියන එක මට හොඳට පෙනුනා. අම්මිට කොච්චර දුකක් තිබුනත්... අම්මි කොච්චර කඳුලු හැලුවත්ඒ දුකත් එක්ක අම්මි පොඩ්ඩක් වත් වැටුනෙ නෑ. හරියට පිටාර ගලන ගංගාවක් මැද්දෙ තියෙන රූස්ස ගහක් වගේ අම්මි වැටෙන්නෙ නැතුව හිටියා. ඒ විතරක් නෙමෙයි... මගේ දුක අඩු කර ගන්න.. මගේ හිත වැටෙන එක නවත්තන්නඅම්මි මට ලොකු ශක්තියක් දුන්නා.


තාත්තිගෙ අවමගුල දවසෙ අම්මියි මමයි එකට බදා ගෙන අපි දෙන්නගෙ දුක නැති වෙනකන් හොඳටම ඇඬුවා. එදා මරණෙට ඇවිල්ලා හිටිය අයගෙන් ඇස් වලට කඳුලු ආපු නැති කෙනෙක් හිටියෙ නෑ. ඒ ගොල්ලො ඇඬුවෙ තාත්ති නැති වුන එකටද... එහෙම නැත්නම් අම්මියි මමයි අඬනව දැකලද කියල මට හරියටම කියන්න බැහැ.


තාත්තිගෙ මරණෙන් පස්සෙ අම්මි මාව තුරුලු කර ගෙන මට ශක්තිය දුන්නා.


"
දුව.... තාත්ති කොහේ හිටියත් ඔයාට තාත්තිගෙ ආශීර්වාදය තියෙනවා.. තාත්ති ඔයාට කොච්චර ආදරේද කියල ඔයා සමහර විට දන්නෙ නැතුව ඇති... තාත්තිගෙ හයියත් එක්ක අපි ඉස්සරහට යන්න ඕන.... ඒ හින්දා තාත්ති ඔයාට ආසාවෙන් අරන් දුන්න ඒ සාරියත් ඇඳගෙන ඔයා ඉස්කෝලෙ උත්සවයට යන්න ඕන මගෙ රත්තරන්...."


අම්මි මට පුදුම විදියට ධෛර්යය දුන්නා. තාත්ති නැති නිසා මට ඇති වුන දුක, තාත්තිගෙ ආදරයත් එක්ක එකට එකතු වෙලා මට ලොකු ජවයක් දුන්නා. ඒ ජවයෙන් මම ඉස්සරහට ගියා.


ඉස්කෝලේ උත්සවය දවසෙ මම කුමාරිකාවක් වගේ හිටිය කියල අම්මි මට පස්සෙ කිව්වා. මම ප්‍රින්සිපල් ගෙන් මෙඩ්ල් එක ගන්න කොට ඇවිල්ල හිටිය ඔක්කොම හයියෙන් අප්පුඩි ගැහුවා. මම හැරිල බලන කොට මම එක පාරටම දැක්කෙ අම්මිගෙ හිනාව පිරුණ මූණ. ඒත් එදා අම්මි ළඟ තාත්ති හිටියේ නෑ. ඒ වුනත් තාත්තිගෙ ආදරය අම්මිගෙ හිනාවෙන් මම දැක්කා.


තාත්ති නැති පාලුව මට එදා වගේම අදත් දැනෙනවා.කොච්චර පාලුවක් දැනුනත් තාත්ති මගේ ජීවිතයට අදත් ලොකු ආශීර්වාදයක් වෙනව.


++++++++


තාත්ති නැති වුනාට පස්සෙ අම්මියි මමයි මේ ලෝකෙ තනි වුනා. ඒත් අම්මි පොඩ්ඩක්වත් ඒකෙන් මට බලපෑමක් වෙන්න දුන්නෙ නැහැ. අපේ ජීවිත නැවේ සුක්කානම අම්මි අතට ගත්තා. අම්මිට හොඳට ඇඳුම් මහන්න පුලුවන්. ඉතින් අම්මි මාව ජීවත් කරන්න පොඩි මසා නිම කල ඇඳුම් ව්‍යාපාරයක් පටන් ගත්තා. කොහොම හරි අම්මි මේකෙන් මාව ජීවත් කරා.


මගේ දහ නම වෙනි උපන් දිනය ආවා. එදාත් කලින් වගේම උදේ පාන්දර ලස්සනට ඔතපු පෙට්ටියක් ඇතුලෙ දාපු ලස්සන සුදු ගාඩීනියා මලක් මට ලැබුනා.


ඇත්තම කිව්වොත් මම එදා මේ ගාඩීනියා මල එනකන් බලා ගෙන හිටියා. ඒක ආවම මට දැනුනෙ කියන්න බැරි තරම් සන්තෝසයක්. මට රහසේ ආදරය කරන මේ එක්කෙනා මාව අමතක කරල නැහැ නේද කියන සිතිවිල්ල මට ගොඩක් වැදගත් වුනා. 


මගේ උපන් දිනය දවසෙ ඒ ගාඩීනියා මලෙන් ලැබුන ඒ සතුට, ඒ ජීවය, ඒ පන්නරය මගේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න ලොකු උදව්වක් වුනා.

මම මෙඩිසින් කරන්න පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි එකට තේරුනා. කැම්පස් ජීවිතය ඉස්කෝල ජීවිතයට වඩා ගොඩක් වෙනස් කියල මට තේරෙන්න වැඩි කල් ගියේ නැහැ. කැම්පස් ජීවිතය ඉස්කෝල ජීවිතය තරම් සැහැල්ලු නැහැ. ඒත් කැම්පස් ජීවිතයෙන් ගොඩක් අත් දැකීම් ලබා ගන්න පුලුවන් කියල මට තේරුනා. මෙඩිසින් කරන එක ලේසි නැහැ. ගොඩක් පාඩම් කරන්න ඕන. හොස්පිට්ල් වලට යන්න ඕන. 


මේ හැම වැඩක් මැද්දෙම අම්මි මට ලොකු අත් වැලක් වුනා. අම්මි කවදාවත් මට බලපෑමක් කරේ නැහැ. මට මග පෙන්නුව විතරයි.මම ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට අම්මිගෙ ආදරය මට ලොකු සැනසිල්ලක් වුනා.


කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දෙ ඉන්න කොට තමයි මට විශ්ව හමු වුනේ.


මම කැම්පස් ගිය දවසෙ ඉඳල මෙඩිකල් ෆැකල්ටි එකේ විතරක් නෙමෙයි, අනිත් ෆැකල්ටි වල පිරිමි ළමයිත් මාත් එක්ක යාලු වෙන්න සෑහෙන්න උත්සාහ කරා. ඒත් මම කැම්පස් එකේ හිටිය මුල් කාලෙ ඒ දේවල් ගැන හිතුවෙ නැහැ.


විශ්ව මාත් එක්කම මෙඩිකල් ෆැකල්ටි එකට ආපු ළමයෙක්. අපි දෙන්න නිතරමකතා බහ කරත් කිට්ටු යාලු කමක් තිබුනෙ නැහැ. කොහොම වුනත් අනිත් පිරිමි ළමයින්ට වැඩිය වෙනසක් මට විශ්වගෙ පෙනුනා.ඒ වෙනස මොකද්ද කියන එක මට අදත් හරියට තේරුම් ගන්න බැහැ.


විශ්වයි මමයි ආදරෙන් බැඳුනෙ අපි දෙන්න දන්නෙම නැතුව කිව්වොත් ඒකෙ වරදක් නැහැ. විශ්ව මගේ හදවත ඇරල ඇතුලට ගියා වගේ හැඟීමක් තමයි මට ඇති වුනේ. ඒ හැඟීමට මම ගොඩක් ආස කලා. මට අම්මි කියපු කතාව මතක් වුනා.


"….
දුව... ඔයාගෙ ජීවිතේට මේ ඇතුලු වෙලා හිටියෙ දෙවියන්ගේ පණිවිඩ කාරයෙක් විතරයි...ඒ නියම දෙවියෙක් නෙමෙයි... ඒ නියම දෙවියා... ඒ කියන්නෙ ඔයාගෙ උරුමක්කාරයා ඔයාව හොයාගෙන කවද හරි එනවා... " 


ඒ නියම දෙවියා විශ්ව කියල මගේ හදවතට දැනුනෙ කොහොමද කියල කියන්න මට තේරෙන්නෙ නැහැ. ඒත් මට එහෙම දැනුනා. ඒ මගේ අම්මිගෙ ආදරයයි, නොපෙනෙන තාත්තිගෙ ආශීර්වාදයයි නිසා වෙන්න පුලුවන්.


විශ්ව මට පණ වගේ හදවතින්ම ආදරය කරනව කියල දැන ගන්න මට වැඩි කාලයක් ගියේ නැහැ. මමත් විශ්වට ඒ වගේම ආදරය කරා. තාත්ති නැති වුනාට පස්සෙ මගේ ජීවිතයේ ඇති වුන ඒ ලොකු හිඩැස විශ්ව හින්ද නැති වුනා කියල මට දැනුනා. විශ්ව ගෙන් මම මගේ තාත්තිව දැක්කා. මට ඒ රැකවරණය විශ්වගෙන් ලැබෙනව කියල මට තේරුනා.


විශ්ව කියන්නෙ නියම දෙවියෙක් කියන එක මගේ මුලු ඇඟටම දැනුනා. විශ්ව කවදාවත් මාව පහත්, නරක දේවල් වලට පොළඹවා ගන්න හැදුවෙ නැහැ.විශ්ව එයාගෙ ජීවිතයට වඩා මට ආදරය කරා.... ඔව්... එයාගෙ පණටත් වඩා මට ආදරය කරා. ඒ ආදරය මගේ හිතටයි ඇඟටයි දෙකටම දැනුනා.


ගොඩක් දවස් වල හැන්දෑවට අපේ ෆැකල්ටි එක ලඟ තියෙන ලස්සන පොඩි මල් වත්තට අපි දෙන්නා ගියා. එතන අරලිය ගහක් යට තියෙන පුංචි බංකුව අපේ ආදර අසපුව වුනා. ඒ බංකුව උඩ වාඩි වෙලා විශ්වට තුරුලු වෙලා ඉන්නව තරම් සැහැල්ලුවක් මට තවත් තිබුනෙ නැහැ.


"
විශ්ව... ඇයි ඔයා මට මෙච්චර ආදරේ මගෙ රත්තරන්...."


මම මේ ප්‍රශ්නෙ මේ අරලිය ගහ යටදි විශ්වගෙන් අහපු වාර ගණන මටවත් මතක නැහැ. ඒත් ඒ හැම පාරම විශ්ව මට ආදරෙන් උත්තර දුන්නා.


++++++++


හැම අවුරුද්දකම වරදින්නෙ නැතුව වුන දෙයක් තමයි මගෙ උපන් දිනේට සුදු ගාඩීනියා මලක් හම්බ වෙන එක. හැම උපන් දිනයක් දවසෙම මම උදේ පාන්දර මේ මල බලාපොරොත්තුවෙන් හිටියා. සමහර අවුරුදු වල උපන් දිනය දවසෙ උදේට මට ටිකක් බය හිතෙනව මේ මල එන එකක් නැද්ද කියල. ඒත් ඒ මල හැම උපන් දිනයක් දවසෙම මට ලැබුනා. ඉතින් ඒ අවුරුද්දටම මට ඒකෙන් ලොකු ජවයක් ලැබුනා. ඒ මල මගෙ ජීවිතය අලුත් කරනව වගේ මට දැනුනා.


කවුද මට මේ ගාඩීනියා මල එවන්නෙ?... මේ ප්‍රශ්නෙ මගේ හිතට වදයක් වුනත් ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව මට ඒ ගාඩීනියා මලෙන් ජීවිතයට ලැබෙන ධෛර්යය ගැන හිතල සන්තෝස වුනා.


මේ ගාඩීනියා මල ගැන මම විශ්ව එක්ක කිව්වා.


"
අනේ විශ්ව... මගේ හැම බ'ත් ඩේ එකකටම කවුද එක්කෙනෙක් මට ගාඩීනියා මලක් එවනව.... අපි කවුරුත් දන්නෙ නෑ කවුද එවන්නෙ කියල... අම්මි නම් කියන්නෙ මට ආදරය කරනඒත් කියන්න කැමති නැති කෙනෙක් කියල...."

"
ම්ම්ම්... ඒ කියන්නෙ ඔයාට හොරෙන් ලව් කරන කෙනෙක් ඉන්නව වගෙ නේද...."


"
අනේ විශ්ව... අනේ ප්ලීස් මාව වරද්දල තේරුම් ගන්න එපා රත්තරන්.... ඔයා ඇරෙන්න මට ඒ වගේ වෙන කිසිම කෙනෙක් නැහැ... මගේ ආදරයයි..ජීවිතයයි ඔයා විතරමයි පැටියෝ...."


"
අයියෝ නිම්මි... ඔයාට පිස්සුද කෙල්ලෙ... මම විහිලුවටනෙ කිව්වෙ... අපි දෙන්නගෙ ආදරය අපි දෙන්නට විතරයි නෙ කෙල්ලෙ.... ඒ කොහොම වුනත් නිම්මි... මේ මල් එවන එක්කෙනා ඔයාට ගොඩක් කැමති කෙනෙක් වෙන්න ඕන... නැත්නම් මෙහෙම එවන්නෙ නැහැ නෙ... අපි ඒක හින්ද කවුරු එව්වත් ඒක අගය කරමු....."


"
ඔව් විශ්ව... ඒක හරි...."

මේ
විදියට මගේ හැම උපන් දිනයකම ගාඩීනියා මලක් හම්බ වෙන එක මගේ ජීවිතයේ කොටසක් වගේ වුනා. ඒ මල ලැබෙන එක මගේ ජීවිතයට ලොකු ආශීර්වාදයක් වුනා.


++++++++


මම ඩොක්ට' කෙනෙක් හැටියට මෙඩිකල් ෆැකල්ටි එකෙන් උඩින්ම පාස් වුනා. ඒ අවුරුද්දෙ දෙන ගෝල්ඩ් මෙඩ්ල් එකත් හම්බ වුනේ මට. අම්මිටයි, විශ්වටයි ඇති වුනේ දරා ගන්න බැරි තරම් සන්තෝසයක්.


"
ම්ම්ම්.. නිම්මි... ඔයාටනෙ මෙඩිසින් ගෝල්ඩ් මෙඩ්ල් එක හම්බ වුනේ... දැන් ඉතින් ඔයාට මට වැඩිය හොඳ කෙනෙක් හොයා ගන්න පුලුවන් නේද?....."


"
විශ්ව... මට මුලු ලෝකෙම හම්බ වුනත්.. මම අයිති ඔයාට විතරයි මගෙ රත්තරන්...."


විශ්ව ගෙන් පිට ලෝකයක් මට තිබුනෙ නැහැ.


අපි දෙන්න ඩොක්ට'ස්ලා වෙලා මාස හයකට පස්සෙ අපි කසාද බඳින්න තීරණය කරා. මගේ අම්මිත්, විශ්වගෙ අම්මියි තාත්තියිත් අපේ වෙඩින් එකට සම්පූර්ණ ආශීර්වාදය දුන්නා.


අපි දෙන්නා කසාද බැන්දේමගේ විසිහය වෙනි උපන් දිනය පහුවෙලා මාස තුනකට පස්සෙ. මගේ විසිහය වෙනි උපන් දිනය දවසෙ තව පුදුම දෙයක් සිද්ධ වුනා. ඒ තමයි මට එක ගාඩීනියා මලක් වෙනුවට මල් දෙකක්ම ලැබුන එක. මට මේක අදහා ගන්න බැරි වුනා.


අම්මියි විශ්වයි දෙන්නම කිව්වෙ මේ මල් එවන එක්කෙනා මගේ වෙඩින් එක ගැනත් දන්නව ඇති කියලා. ඉතින් එක මලක් වෙනුවට මටයි විශ්වටයි දෙන්නටම මල් දෙකක් එවන්න ඇති කියල අම්මියි විශ්වයි කිව්වා.


මේ ගාඩීනියාමල් එවන එක්කෙනා දැන ගන්න මට තිබුනෙ කියන්න බැරි තරම් ආසාවක්. ඒත් මට එයාව හොයා ගන්න විදියක් තිබුනෙම නැහැ.


++++++++


මගේ වෙඩින් එක දවස මට කවදාවත් අමතක වෙන දවසක් නෙමෙයි. ඕන කෙනෙක්ට තමන්ගේ වෙඩින් එක වැදගත් දවසක්. මට ඒ වැදගත් කම තවත් වැඩියෙන් දැනුනෙ එදා අම්මිගෙ මූණෙ තිබුන සන්තෝසෙ දැකල. අම්මි මම වෙනුවෙන් අම්මිගෙ ජීවිතය කැප කරා. තාත්ති නැති වුනාට පස්සෙ මට කිසිම දුකක් නොදී මාව බලා ගත්තා. මට හොඳට ඉගැන්නුවා. අම්මිගෙ මූණේ එදා තිබුනෙ තමන්ගෙ වග කීම හරියට ඉටු කරපු කෙනෙක්ගෙ මූණෙ තියෙන සන්තෝස පෙනුම කියල මට හිතුනා.


විශ්වයි මමයි පිටත් වුන වෙලාව තරම් සංවේදී කමක් මට ජීවිතේ කවදාවත් දැනිල නැහැ. මම අම්මිගෙ කකුල් දෙක අල්ලල වැඳල අම්මිව බදාගෙන මිනිත්තු පහක් විතර දිගටම ඇඬුවා.... ඔව් අපි දෙන්නම හොඳටම ඇඬුවා.... විශ්ව මගේ ඔලුව අත ගාලා මාව සැහැල්ලු කරන්න හැදුවා. ඒත් මට අඬන එක නවත්ත ගන්න බැරි වුනා.


පි පිටත් වෙන්න කාර් එකට නගින්න ඉස්සෙල්ල අම්මි මගේ අත අරගෙන විශ්වගෙ අත උඩින් තිබ්බා.


"
පුතේ.. අද ඉඳන් මගේ කෙල්ල ඔයාට බාරයි.. අනේ.. ඒකිව ඇහැක් වගේස්ස්ස්ස්ස්ස්.....ඉහිහි..ඉහිහි.. ඇහැක් වගේ බලා ගන්න මගෙ පුතේඒඒඒ....."


අම්මි අඬ අඬ කිව්වා. විශ්වටයි මටයි දෙන්නටම ඒ එක්කම ඇඬුනා.


"
අම්මි... මම පොරොන්දු වෙනව අම්මි... මම නිම්මිව මගේ පණ වගේ බලා ගන්නව කියල... අම්මිත් අද ඉඳන් මගේම අම්මි තමයි...."


විශ්ව අම්මිව බදාගෙන කිව්වා.


කාර් එක පිටත් වෙලා යනකොට මම ආපහු හැරිල අම්මි දිහා බැලුවා. අම්මිගෙ මූණේ තිබුනෙ දුකයි සන්තෝසෙයි එකට කැලතුන අහිංසක පෙනුමක්. ඒ පෙනුම මට ජීවිතයේ කවදාවත් අමතක වෙන්නෙ නැහැ.


++++++++


කසාද බැඳල විශ්වයි මමයි අපේ අලුත් ජීවිතය පටන් ගත්තා. මට අම්මිව දාල යන්න දුක හිතුනා. ඒත් අම්මි මෙතනදිත් මට ලොකු හයියක් හිතට දුන්නා.


"
නිම්මි..විශ්ව…. ඔය දෙන්න දැන් කසාද බැඳල ඉන්නෙ... ඔය දෙන්න වෙනම ගෙයකඉන්න ඕන... එතකොට තමයි දෙන්නට දෙන්න ගොඩාක් කිට්ටු වෙන්නෙ.. එතකොට තමයිදෙන්නට දෙන්නා එකට ජීවත් වෙන්න ඕන කරන අවබෝධය ඇති කර ගන්නෙ... මම ගැන එච්චර හිතන්න එපා.. කොහොමත් ඔය දෙන්න වැඩි ඈතකට යන්නෙ නැහැ නෙ .. මේ නුවරම නෙ ඉන්නෙ...මට පුලුවන් මේ ගෙදර තනියම ඉන්න... අර ගෑණු ළමය ඉන්නවනෙ මාත් එක්ක... ඉතින් මට තනියක් නැහැ... ඔය දෙන්නා අලුත් ජීවිතය ඉස්සරහට අරගෙන යන්න... ඔය දෙන්නට බුදු සරණයි... දළදා සමිඳු පිහිටයි.... "


විශ්වයි මමයි අපේ පුංචි කැදැල්ලෙ අපේ ජීවිතය පටන් ගත්තා.


ඒ දවස මට අද වගේ මතකයි... එතකොට අපි දෙන්න බැඳල මාස දෙකක් වෙනවා... ඔව්... ඒ දවස මට අද වගේ මතකයි... මට ආපු ඒ ටෙලිෆෝන් කෝල් එක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. කතා කරේ අම්මිගෙ තනියට ගෙදර ඉන්න ගෑණු ළමයා.


"
අනේ..අනේ..දො..දොස්තර නෝනා…. අනේ ඉක්මනට එන්න....."


මම විශ්ව එක්ක අපේ ගෙදරට ගියේ හීනයකින් වගේ...ඒත්...


ඒත්.... මට බලන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නැහැ.


මම ඉපදුන දවසෙ ඉඳන් මට කවල පොවල... මාව ආදරයෙන් බලාගෙන... මට හොඳ නරක කියල දීලා... මට ජීවත් වෙන විදිය කියල දීලා... මට උගන්නලා.... තාත්ති නැති වුනාට පස්සෙඇඳුම් මහල විකුණල මාව ජීවත් කරවපු... දාඩිය මහන්සියෙන් හම්බ කරල මාව ඩොක්ට' කෙනෙක් කරපු මගේ රත්තරන් අම්මි... නැහැ.. රත්තරන් වලටත් වැඩිය වටින මගේ ඒ අම්මි…. මටත් නොකියම මේ ලෝකෙන් සමු අරගෙන තාත්ති ගාවට ගිහින් තිබුනා.


අම්මිගෙ තොල් දෙකේ ලස්සන, අහිංසක හිනාවක් ඇඳිල තිබුනා. තමන්ගෙ වගකීම් ඔක්කොම නියම විදියට කරලා සැහැල්ලුවට පත්වෙලා ඉන්න කෙනෙක්ගෙ හිනාව අම්මිගෙ තොල් දෙකේ තිබුනා.


මමයි විශ්වයි අම්මිව බදා ගෙන කෑ ගහල ඇඬුවා... ඔව් මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහල ඇඬුවා.... මම මේ ලෝකේ ජීවත් වුන හොඳම අම්මා නිසා වැලපෙන දුවෙක් කියල ලෝකෙටමඇහෙන විදියට මම කෑ ගහල ඇඬුවා... පොඩි කාලෙ මට දැනුන අම්මිගෙ රස්නෙ මට ඒ වෙලාවෙත් දැනුනා.


++++++++


අම්මිගෙ චිතකයෙන් විහිදෙන ගිනිදැල් දිහා විශ්වගෙ ඇඟට තුරුලු වෙලා මම බලාගෙන හිටියේ කිසිම හැඟීමක් නැතුව. ඉර බැහැල ගිහිල්ලා යන්තම් කරුවල වැටිල තිබුනා. අම්මිගෙ ලස්සන, අහිංසකහිනා මුහුණ මට හැම පැත්තෙන්ම මැවිල පෙනුනා. 


"
විශ්ව....."මම හෙමින් මිමිනුවා.


"
ඇයි මගෙ මැණික....." විශ්ව මගේ ඔලුව ඉඹින ගමන් ඇහුවා.


"
මට දැන් ඉන්නෙ ඔයා විතරයි විශ්ව....." මෙහෙම කියන කොට මට ආයිත් ඇඬුනා.


"
මගෙ නිම්මි... මම ඔයා ළඟ හැමදාටම ඉන්නවා... මම කවදාවත් ඔයාව තනි කරන්නෙ නෑ... ඔයාට මතකනෙ මම අම්මිට වුන පොරොන්දුව.... මම ඔයාව ඇහැක් වගේ බලා ගන්නව මගේ රත්තරන්......"


ගිනිගෙන දැවෙන අම්මිගෙ චිතකය දිහා අන්තිම පාරට බලලා විශ්වගෙ අතින් අල්ලගෙන මම සොහොන් පිට්ටනියෙන් ආපහු ගෙදරට ආවෙ පපුව ඇතුලෙ කියන්න බැරි තරම් දුකක් හිර කරගෙන. 


කාලයත් එක්ක ඒ දුක තුනී කර ගන්න විශ්වගෙ ආදරයයි, රැකවරණයයි මටලොකු උදව්වක් වුනා.

………..
ඒත් එදායින් පස්සෙ කිසිම දවසක මගේ උපන් දිනයට ගාඩීනියා මලක් නම් මට ලැබුනෙ නැහැ…..………..

***************