Sri Lanka

Friday, August 2, 2013

මා ගැන මතකය ගුලි කර මහවැළියට දමන්න

මෙය 1990 දශකයේ සිදු වුන එක්තරා සත්‍යය සිදුවීමක්. ඔහු උසස් පෙළ සිංහල විෂය සදහා උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක්. මෙය ඔහු අත් දැක්ක සත්‍යය සිදුවීමක්.
ඔහු දකිනව ඔහුගෙ පන්තිය තුළ පුංචි ප්‍රේම පැළැටියක් වැවෙනව. එක්තරා ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි විවේකයක් දුන්න වෙලාවට බත් පාරසලයක් බෙදාගෙන කනව. නිතරම එකට එලි පෙහෙලියට යනව. අයිනකට වෙලා කතා කර කර ඉන්නව. ඉතින් මෙය විනය විරෝධී ක්‍රියාවක් නොවන නිසා ඔහු මේ ගැන වැඩිදුර සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. 
ඉතින් කාලය ගත වෙලා යනව. උසස් පෙළ විභාගය නිමා වෙලා ප්‍රතිඵල ලැබෙනව. අර ගැහැණු ළමය මේ ගුරුවරය හමුවෙන්න එනව. ඇවිත් කියනව ̋සර් මට A 4ක් තියනව ̏ කියල. මොකද ඒ කාලෙ විෂයන් 4ක් තියනව. එහෙම කියල ඇය යන්න යනව. විශ්ව විද්‍යාලයට යන දවසෙත් ඇය ඇවිත් ̋සර් මම පේරාදෙනිය විශ්ව විද්‍යාලයට තේරුනේ ̏කියල යන්න යනව. ඉතින් කාලය කෙමෙන් කෙමෙන් ගෙවීගෙන යනව මේ ගරුවරයට ගැහැණු ළමයව අමතක වෙනව. අර පිරිමි ළමයවත් අමතක වෙනව.
දවසක් අහම්බෙන් මේ ගුරුවරය ළග වෑන් එකක් නවත්තනව. වැන් එකෙන් ටයි එකක් දාගත්ත තරුණයෙක් ඇවිත් සර් කියල කතා කරනව. මේ තරුණයව දකිද්දි අර බත් මුල කෑව තරුණයව ඔහුට මතක් වෙනව. ඒත් එක්කම අර ගැහැණු ළමයවත් මතක් වෙනව.
මේ ගුරුවරයා තරුණයාගෙන් අහනව ̋කෝ දැන් අර බත් මුල කෑව ගැහැණු ළමය? එයා විශ්ව විද්‍යාලෙට ගියා නේද? දැන් මොකද කියල. අර පිරිමි ළමයගෙ මූන එක පාරම පොඩ්ඩක් වෙනස් වෙනව. එයා කිවුව ̎සර් මම ඒ සම්බන්දෙ අතෑරිය ̎ කියල. ඉතන් මේ ගුරුවරය අහනව ̎ඔයා පුදුම මනුස්සයෙක්නෙ. සමාන්‍යෙයන් වෙන්නෙ ඕක නෙමෙයිනෙ. වෙන්නෙ විශ්ව විද්‍යාලයට ගියාම ගමේ ඉන්න පිරිමි ළමයව අතාරින්නෙ විශ්ව විද්‍යාලයට ගිය ගෑණු ළමය. එයා එහෙ එක්කෙනෙක් හොයා ගන්නව. මේක එහෙම නෙමෙයිනෙ, ඇයි මෙහෙම අතෑරියෙ ̎ කියල. තරුණයා කියනව ̎ නෑ සර් මෙහෙමනෙ, මට යන්න බැරි උනානෙ. එතකොට එයාගෙ ලෝකෙ වෙනස්නෙ. මම දන්නව ඒක හරි ලස්සනයි. මම ඔතෙන්ට ආපහු කඩා පාත් වෙන්න ගියාම ඒ ළමයට ගොඩක් දේවල් නැතුව යනව. ඒකයි මම එහෙම කළේ ̎ කියල. ඉතින් මේ ගුරුවරය ̎තමුසෙ මාර බෝධිසත්වයෙක්නෙ අයිසෙ ̎ කියල යන්න යනව.
පස්සෙ කාලයක් යද්දි මේ ගුරුවරයට මේ සිද්දිය අමතක වෙලා යනව. 2005 වසරෙ දවසක් ඔහු යම්කිසි ලිපියක් ලියමින් ඉන්න වෙලාවක ඔහුට ඇහෙනව හුලවාලි කියන චිත්‍රපටයෙ සුනිල් එදිරිසිංහයන් ගායනා කල 'කුඩා ගමේ මද්දහනේ'කියන ගීතය. මේ ගීතයේ අන්තිම පද පේළිය හොදින්ම ඔහුගේ මතකයේ රැදෙනව. ' ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි.. රෑට නිදන තනි පැදුරේ නැති හීනෙකි සකි.. ආලෙ බිදුනු දා කුමකට කදුළු හෙලනු සකි.. ආලවඩන යන තේරුම බෝසත් කම සකි..
මෙන්න මේ පද පේළිය ඇහෙද්දිම ඔහුට අර සිද්දිය ආයෙත් මතක් වෙනව. ඊට පස්සෙ ඔහු අර ලිය ලිය ඉන්න කොලේ පැත්තක 'හන්තානට පායන හද ලස්සනයිද කියන්න.. මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න.. කියන පද පේළිය ලියනව. ඊටත් තවත් සති දෙකකට පස්සෙ ඔහු මුළු ගීතයම ලියනව. 'ධම්මික බණ්ඩාර' කියන සිංහල ගුරුවරයා තමයි මේ සිද්දි දාමය දකින අසන පුද්ගලයා. ඔහු අතින් තමා මේ තරුණයාගෙ කදුළු කතාව රැගත් ගීතය රචනා වෙන්නෙ.
ඉතින් මේ ගීතය ඇතුළත්ව 'නිල්කැට වැස්ස' සංයුක්ත තැටිය නිර්මාණය වෙන්නෙ 2005 අග භාගයෙ. උසස් පෙළ භෞතික විද්‍යා දේශක 'කීර්ති ධර්මසිරි සර්' තමයි මෙහි නිෂ්පාදක වරයා. සංයුක්ත තැටිය නිෂ්පාදනයෙන් පසුව වෙළද පොළට නිකුත් කිරීමට ප්‍රථමයෙන් ඔහුගෙ උසස් පෙළ 2006 කණ්ඩායමට කරුණැගල නිව් ලෙක්ෂිකොන් ශාලාවෙදි ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දුන්නා. ඉතින් මේ ලිපිය ලියන ඒ කණ්ඩායමේ හිටිය මමත් වාසනාවන්තයෙක් උනා ඒ අර්ථාන්විත ගීත සමුච්ඡය ශ්‍රවණය කරන්නට.
මේ ඒ සුන්දර ගීතය. අමරසිරි පීරිස් මහත්මයාගෙ හඩ මේ ගීතයට මුසු වුනාම කොයි තරම් නම් සුන්දරද?

හන්තානට පැයන හද 
ලස්සනයිද කියන්න..
මා නොදකින ඒ පුර හද
ඔබට හැකිය දකින්න..

අදුරු ලලා වහිනා කල 
සරසවි බිම තෙමෙන්න..
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න..

ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න..
මා ගැන මතකය ගුලිකර 
මහවැළියට දමන්න.. 

පද - අචාර්ය ධම්මික බණ්ඩාර
නද - ඩෙනිස්ටර් පෙරේරා
හඩ - අමරසිරි පීරිස්

බුවනෙකබා යෞවන සමාජය