Sri Lanka

Friday, August 2, 2013

දේශ සීමා ජාති භේද බිද දැමූ ආදර කතාවක්

ගුණදාස කපුගේ කියල කියන්නෙ ශ්‍රී ලාංකීය සංගීත වංශ කතාවේ නවතම පරිච්ඡේදයක් සටහන් කළ ගායන ශිල්පියෙකි. ශ්‍රී ලාංකික රසික සිතු තුළ කපුගේ නාමය සදා අමරණීය වී ඇත. ඔහුගේ ගීත අදටත් ජනප්‍රියත්වයේ ඉහළම තලයේ ඇත. ඔහුගේ ගීත රචනා බොහොමයක් සිදුකර ඇත්තේ ජනප්‍රිය ගීත රචකයන් විසින්ම නොවේ. බොහෝ දුර බැහැර ප්‍රෙදේශ වල තරුණයන් පවා ඔහුගේ ගීත රචනා කරල තියනව. ගල්ගමුව ඇහැටුවැව කියන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈත කෙලවරක අනුරාධපුර දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටි දුෂ්කර ප්‍රෙද්ශයක්. ඒ ප්‍රෙදෙශයෙන් බිහිවුන 'වසන්ත බණ්ඩාර දිසානායක' මහත්මය තමයි 'දුක හාදු දෙන රැයේ' ගීතය රචනා කරල තියෙන්නෙ. ඒ වගේම මහව - නාගොල්ලාගම කියන ප්‍රෙදේශයේ තරුණයෙකුත් ඔහුගෙ ජනප්‍රිය ගීතයක් රචනාකරල දීල තියනව. නමුත් ඔහුගෙ නමත් ගීතයෙ නමත් හරියටම මතකනැ මට.

ඉතින් කපුගේ මහත්මයා තමන්ගෙ සංගීත දිවිය අරඹන්නේ 1973 වසරෙ. ඒ අනුව 1973 වසරේ දෑස නිලුපුල් තෙමා - කඳුළු මුතුවැල් සලා ගීතය ගායනා කරමින් ජනතා හදවත් තුළ ලැගුම් ගන්නට එතුමාට හැකි වෙනව. එතැනින් ඇරඹුන ඔහුගෙ සංගීත දිවිය එක්ටැම්ගේ වැනි චිත්‍රපට වලට දායක වෙමින් තාරාවෝ ඉගිලෙති වැනි නාට්‍ය වල සංගීත අධ්‍යක්ෂණයට දායක වෙමින් කෙමෙන් කෙමෙන් ගෙවීගෙන යනව. ඒ අතරෙ තමයි ලංකාවෙ කළු ජූලිය ඇති වෙන්නෙ. ජූලි මාසය ලේ වලින් තෙත් කළ, ලංකාවෙ ඉතිහාසයේ කළු පැල්ලමක් සටහන් කළ කාල පරිච්ඡෙදයක්. 
ඉතින් 83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව, අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහත්තය. කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල. රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති. නමුත් ඒ වෙලාවෙ හිතේ ඇතිවෙන කුතුහලයත් එක්ක ඔහු මේ සගරාව අරගෙන කියවනව. ඒ සගරාවේ තබුන බොහොම සුන්දර කෙටිකතාවක් ...

මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නව. එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා. ඉතින් එකටම රාජකාරි කරගෙන යන අතරෙ දෙදෙනා අතරෙ හිතවත් කමක් ඇති වෙනව. මුලදී දෙදෙනා අතර ඇතිවෙන මේ හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා. මෙ දෙන්න තදින්ම ආදරෙන් බැදෙනව. තරුණයා හිටියෙ තරුණිය වෙනුවෙන් ජීවිතය උනත් දෙන්න සූදානමෙන්. තරුනියටත් ඔහු නැතුව එක මොහොතක් ගෙවන්න පුළුවන් කමක් නැ. නමුත් තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායිකව ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් තදින්ම එල්ල වෙනව. එත් මේ විරුද්ධවාදී කම් වල අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා.

මේ අපූරු සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට.,,

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලි
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී

මෙන්න මේ විදියට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අතින් නිර්මානය වෙන අරුත්බර ගී සංකල්පනාවට ගුණදාස කපුගේ මහතා තනූ නිර්මාණය හා ගයනයෙන් උපරිම සාදාරණක් ඉ‍ටුකර තියෙනවා.
නමුත් කතාව එහෙම වුනාට අපි කරපු තවත් සොයාබැලීමකදි දැනගන්න ලැබුනෙ ගුණදාස කපුගේ මහත්මයාගෙ මේ ගීතය ලියැවිලා තියෙන්නෙ කොටි නායකයෙකු වන නඩේසන්ගේ සිංහල භාර්යාව ගැන බවයි. අවි ගත්ත මිනිස්සු ගැනත් මේ ගීතයෙන් කියැවෙන නීසා එම අදහස බැහැර කරන්නටද නොහැක.

-
බුවනෙකබා යෞවන සමාජය-