Sri Lanka

Sunday, September 15, 2013

මල් පිපුනට සුවද දිගේ නොයන්නයි ...




අපේ යූත් නිවස විවෘතයට අපි කට්ටියම කැපවෙලා හිටිය නිසාම අලුත් යමක් ලියන්න බැරි වුනා. අපේ වැඩේ කරන්න වැස්සෙන් ගොඩක් බාධා ආවත් අපි පුලුවන් උපරිමයෙන් ඒ උත්සවය ලස්සනට කලා. ඒ දෙවලුත් එක්ක අයෙත් වෙලාවක් ලැබුන ගමන් අපේ යාලුවොන්ගෙ රසාස්වාදය උදෙසා යමක් ලියන්න හිතුන. අපි විශේෂයෙන්ම කියනව අපි මේ දෙවල් ලියන්නෙ අපි හැමෝගෙම රසාස්වාදය උදෙසා මිසක් ෆේස් බුක් එකේ කෑ ගහල ආන්ඩු මට්ටු කරන්න හදන වීරයින්ව බිහි කරන්න නෙමෙයි. පසුගිය දවසක අපි නුවර පෙරහැරේ අලි ඇතුන් ගැන දාපු පෝසට් එකකට කෙනෙක් ඒ වගේ කොමෙන්ට් එකක් දාල තිබ්බ. අපි එයාට දෙන්න ඕන උත්තරේ ලස්සනට දුන්න. පස්සෙ එයාටම ලැජ්ජ හිතිල තමන්ගෙ කොමෙන්ට් එක අයින් කරන් තිබුණ. නමුත් මේ දේවල් බුද්ධිමත්ව රස විදින අපේ හිතවතුන්ට අපි හැමදාමත් හිස නමා ආචාර කරනව. කොහොම වුනත් අලුත් දෙයක් ලියන්න ලැබුණ එකට ගොඩක් සතුටුයි. මාව ආයෙම ලියන්න උනන්දු කල ඔයාට ගොඩක් ස්තූතියි.
            අපි හැමදමත් විවිධ කතා අහනව. ඒ කතා අතරින් අපි ගොඩක් උත්සාහ කරනව ගමේ සිද්ධවුන කතා බොහොමයක් අරන් එන්න. ඉතින් මේ සිද්ධිය සිද්ධ වුනෙත් එක්තරා ගමක. ඒක බොහොම දුප්පත් ගමක්. ඔහුත් ඇයත් ගමේ හැදුනෙ වැඩුනෙ පුංචි කාලෙ ඉදන්ම එකටමයි. එකට වැලිබත් ඉවුව. බට්ට පැන්න. හැංගි මුත්තං කලා. ඇලේ දොලේ එකට නෑව. පීනුවා. බොහොම රසවත් විදියට තමයි පුංචි කාලය ගෙවුනෙ. ඒ කාල අපි කවුරුත් මතක් කරන්න කැමතියි. කොච්චර ඒ කාලෙ අපි එකට සෙල්ලම් කලත් ඉතින් පුංචි පුංචචි රන්ඩුත් තිබුනෙ නැතුවම නෙමෙයි. ඒ කාලේ ඒව රන්ඩු විදියට දැක්කට දැන්නම් මතක් කරන්නත් ආසයි. ඒ වගේමයි මේ දෙන්නත්.
මේ විදියට දෙන්නම ටික ටික ලොකු මහත් වෙද්දි පාසල් දිවිය එළඹෙනව. ඉතින් දෙන්නම තමන්ගෙ පාසල් ගමන අරඹනව. මුලින් මුලින් ටිකක් කම්මැලි උනාට දෙන්නම ගොඩක් ආසාවෙන් පාසල් ගියෙ. දෙන්නම එක කුසේ උපන් සහෝදර සහෝදරියො නොවුනට ගොඩක් සෙනෙහසකින් හිටියෙ. ඉතින් කාලය කෙමෙන් කෙමෙන් ගෙවුන. මෙ දෙන්නත් ටික ටික ලොකු මහත් උනා. ඔහු ලස්සන කඩවසම් තරුණයෙක්. ඇය බොහොම ලස්සත තරුණියක්.
මෙ අතරෙදි තමයි ඔවුන්ගෙ උසස් පෙළ සමය ඇඹෙන්නෙ. ඔවුන් දෙන්නම ඔවුන්ගෙ දුප්පත් පාසලේම උසස් පෙළ පන්තියට ඇතුල් වෙනව. මොවුන් දෙන්නටම වෙනත් පාසලකට යන්න සුදුසුකම් තිබුණත් ඒ තරම් දෙයක් කරන්න ඔවුන්ගෙ ගෙවල් වලට හයියක් තිබුනෙ නැහැ. එත් දෙන්න පුළුවන් විදියට තමන්ගෙ කටයුතු කරගත්ත. දන්නම පාසල් ගියේ ආවෙ එකට.
            වයසත් එක්ක පරිණත වෙද්දි දෙන්නටම නව යොවුන් වියේ හැගීම් දැනෙන්න උනා. දන්නෙම නැතුම මේ දෙන්නට දෙන්න ගැනම ආදරයක් ඇති වුනා. ඉතින් දෙන්න ජීවිතේ ගැන ගොඩක් බලාපොරොත්තු පොදි බැදගෙන මේ ආදරය පටන් ගත්ත. කාටත් හොරෙන් බොහොම ලස්සනට සොදුරු විදියට තමන්ගෙ ආදරයට ගලා යන්න ඉඩ හැරිය. කියල නිම කරන්න බැරි තරම් සුන්දරත්වයක් ඒ ආදරය තුළ තිබුණ.
            ඒත් මේ දෙන්නගෙම අවාසනාවකට දෙන්නටම සරසවි වරම් ලබාගන්න බැරි උවුනා. ඒ අතරෙම තමයි මේ දෙන්නගෙ සම්බන්ධය ගෙදරින් දැනගන්නෙ. හැබැයි ගෙවල් වලින් එච්චරම අකමැත්තක් නම් තිබුනෙ නැහැ. එත් මේ දෙන්නටම ලොකු අභියෝගයක් තිබුන ජීවිතේ ජයගන්න. මොකද උසස් අධ්‍යපනයට යන්නත් බැරිවුන නිසා ලොකු සටනක් කරන්න වෙනව තමන්ගෙ අනාගතය වෙනුවෙන්. ඒ නිසාම තමයි ඇය වෙළද කලාපෙ රැනියාවකට යන්න හදන්නෙ. ඒත් ඔහු කැමති නැහැ ඇයව රැකියාවකට යවන්න. ඒ නිසා ඔහු ගමේ ඉදන් කොළඹ එනව රැකියාවක් හොයාගෙන.
මොහු ගමෙන් ගිහින් කාලයක් ගත වෙනව. මුලින් ඔහු ඇයට ලිපියක් දෙකක් එවුවත් ඔහුගෙන් ලැබෙන ලිපි නැති වෙලා යනව. මේ තරුණිය බොහොම කනගාටු වෙනව. ඒත් එක්කම ගෙමේ විවිධ කටකතා හදෙනව. ඔහු කොළඹින් විවාහයක් කරගෙන ගමට එන්නෙ නැහැ කියල. තවත් විවිධ නරක කතා කියනව මේ තරුණියටත්. ඔහු ඇයව අනාත කරල පැනල ගිහින් කියල. මේ දේවල් ඉවසන්න බැරි නිසාම ඔහුට ලිපියක් ලියනව මේ විදියට.

මල් පිපුනට සුවද දිගේ නොයන්නයි ...
නෙලුම් මලට නුඹෙ සෙනෙහස ලබෙන්නයි...
දුකින් වෙසෙන නුඹෙ තනිකම මකන්නයි...
මගේ පැතුම හෙට දින නුබ දකින්නයි
නිකන් ඉන්න බැරි කමකට ආව නොවෙයි
ගමේ කමට මන් අසරණ වෙලා වගෙයි
හිතේ දුකට දුක් කදුළැලි දෝරෙ ගලයි
හිතේ දුකට දුක් කදුළැලි දෝරෙ ගලයි
පෙරුම් පුරන මගෙ බෝසත් නුඹම තමයි

අහස උසට මං විදි දුක් නිමක් නැතේ
නුඹ ගැන කට කතා ගමේ එමට ඇතේ
පනං කාසි මගෙ දෑතට වාරු නැතේ
පනං කාසි මගෙ දෑතට වාරු නැතේ
කොහොම උනත් මමමයි නුඹෙ අරුන්දතී

ඔහුට මේ ලිපිය ලැබෙන්නෙ ගොඩක් ප්‍රමාද වෙලා. ඇත්තටම ඔහු තමන්ගෙ රැකියාවත් එක්ක ගොඩක් දුක් විදිනව. උදේ ගියාම ගොඩක් රෑ වෙලයි නැවතුමට එන්නෙ. මේ කරදර නිසාමයි ඔහුට ඇය වෙනුවෙන් ලිපියක්වත් ලියා ගන්න බැරි වෙන්නෙ. ඒ අතරෙදි තමයි මේ ලිපිය ඔහු අතට ලැබෙන්නෙ. ඒත් ඒ වෙනකොට ඇයගෙ දෙමව්පියන් ඇයව වෙනත් කෙනෙකුට බන්දලා දෙන්න තීරණය කරල ඉවරයි. ඔහු තමන්ගෙ අවසාන ලිපිය ඇයට ලියනව මේ විදියට.

මල් පිපුනට සුවද දිගේ නොයන්නයි ...
හදේ රැදුන සෙනෙහස මට ලැබෙන්නයි
පිදුව සෙනෙහෙ වෙන හදකට නොදෙන්නයි
මගේ කදුළු නුඹෙ සතුටින් මැකෙන්නයි..

නුඹේ රුව දකින්නට මම ආව දිනේ
සිතට දැනුනෙ ඔබ අන් සතු වෙලා වගේ
ඔබේ දෙනෙත් ළග රැදෙන්න වරම් නැතේ
සිතේ පැතුම් නෙත ළග තනි වෙලා වගේ

අහස උසට නුඹ ගැන මම පැතූ පැතුම්
බොදවී යනවා මා නෙතු කදුළු මතින්
විසිරුණු පෙම් අතීතයක මතක සිතුම්
සිතේ කොනක රදවාගෙන පතමි පැතුම්