Sri Lanka

Tuesday, September 24, 2013

සිදාදියේ නුඹ දු‍ටුවට මං ගම්මානේ



අලුත් දෙයක් ලියන්න තරමක් කල් ගන්න සිදුවුන එක ගැන ගොඩක් කනගාටුයි. ඒත් මේ විදියට හරි යමක් ලියන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි. වෙනස්ම දෙවල් සොයන් යද්දි යම් යම් සංක්‍රාන්ති සමයන් ඇති වෙන්න පුළුවන්නෙ ඉතින්. කොහොම උනත් හිතට දැනෙන දෙයක් අරන් එන්න හිතුන. හැමදාමත් මාව ලියන්න උනන්දු කරන ඔයාට ගොඩක් ස්තූතියි.

ගම සහ නගරය අතර තියෙන පරතරය බොහොම ඈත අතීතයේ ඉදන්ම තිබුන දෙයක්. ඒක අපි කවුරුත් බොහොම හොදින්ම දන්නව. ගමෙන් නගරෙට එන අයට සමානාත්මතාවයෙන් සලකන අය වගේම ඒ අයට වෙනස් කම් කරන බොහෝ අය තාමත් නගරයේ දකින්න පුළුවන් බොහොම හොදින්. සමහර විට ගමෙන් එන අඩු අධ්‍යපනයක් ලැබූ පුද්ගලයින් නගරෙ ඉන්න අය හදුන්වන්නෙ ගමෙන් එන ගොඩයන් විදියට. එත් ඔවුන් සමහර විට නොදන්නව ඇති ඔවුන් තුළ බොහෙම යහපත් මිනිස්සු ඉන්න බව. අන්න ඒ කාරණය අවබොධ කරවන්න බැරි එකම තමා කනගාටුවට කාරණයත්.

ඉතින් අපි මේ කියන තරුණයත් බොහොම ගමේ කමට හැදුන කෙනෙක්. ගමේ තියෙන කොස් පොලොස් දෙල් කලා පළු වීර මාදං වගේ පලතුරු කාලා ඇලේ දොලේ එහෙම මෙහෙට දුවල පැනල හැදුන වැඩුන කෙනෙක්. හොදට හැදුනට වැඩුනට ඔහු ගමෙන් පිට කිසිම දෙයකට ගිහින් තිබුනෙ නැහැ. ඒ කාලෙ නගරෙට කිවුවෙ සිදාදිය කියලනෙ. ඉතින් සිදාදියට කවමදාකවත් ගිහින් තිබුනෙ නැති තරම්. මොවුන් ඉතින් බොහොම දුප්පත් පවුලක්. ඇදුමක් ඇන්දෙ කවුරු හරි දුන්නොත්. ඒත් ඉතින් එහෙන් මෙහෙන් මහල තමයි. හරිම අමරුවෙන් තමා ජීවිතේ ගෙනිච්චෙ.

ඉතින් කොහොම හරි මොහුත් එක්ක ඔහුගෙ අම්ම මහනුවර දළදා මලිගාව වදින්න යනව. ඔහු ඉතින් ඔහුට ගියෙන හොදම ඇදුම අදිනව මේ ගමන යන්න. ඒ කලිසමකුත් කමිසයකුත්. හැබැයි හොදම ඇදුම කිවුවට ඒකත් ඉරිලයි තිබ්බෙ. අම්ම ඉතින් පුලුවන් විදියට අත් මැහුමෙන් මහල දුන්න. කමිසෙත් ඉතින් බොත්තමක් අඩුයි ඒකටත් කට්ටක් එහෙම ගහගෙන කැඩිච්ච සෙරෙප්පු දෙකක් දාගෙන පුළුවන් තරම් ලස්සනට ඇදන් ගියා.

ඉතින් මෙහෙම නුවර වදින්න ගියාම එහෙදි මොහු ලස්සන තරුණියක්ව දකිනව. ඒත් ඒ ගැහැණු ළමය මොහුව දැක්කම මොහුගෙ අන්ඩ දාපු කලිසම, කට්ට ගහල ඇන්ද කමිසෙ දැක්කම ගමෙන් ආව ගොඩයෙක් කියල ඔහුට සමච්චලේට හිනා වෙනව. එහෙත් ඇය දුටු වනම ඔහුගෙ හිතේ ඇයගෙ රුව බොහොම තදින් ඇදෙනව. මොකද ගමෙන් ආව උනත් ඔහුත් තරුණයෙක්. ඔහුගෙ හිතෙත් බොහොම අපූරුවට තරුණ හැගීම් ඇති වෙනව. ඔහුටත් ඒව සගවාගෙන ඉන්න බැහැනෙ.

අන්න ඒ වෙලාවෙ මේ තරුණයෙගෙ හිතේ ඇතිවුණ හැගීම තමයි චාමර රණවක අපේ හිතවතා විසින් මේ විදියට ගයන්න. ඔහු නගරෙ සදළුතල වල ඉදන් ගම ගැන ගීත ගයපු කෙනෙක් නෙමෙයි ඔහු ගමේ කමට හැදිච්ච පොළවෙ පය ගහල ඉන්න කොල්ලෙක්.

සිදාදියේ නුඹ දු‍ටුවට මං ගම්මානේ
අම්මා එක්ක නුවර වදින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවේ
දුප්පත් මට සමච්චලේටද හිනා වුනේ

කලිසම ඉරුනට හරියට ඒක පේන්නෑ
අම්මා හොඳට මහල දුන්නා ඒකට බය නෑ
උඩ බොත්තමේ ගහල තියෙන ක‍ටුව පේන්නෑ
සැරෙප්පු දෙක හොඳට ගෙවිලා ඒක පෙන්නෑ


ගෙදර ආව තමයි ආවේ කොහොමද දන්නෑ
බකිනි මලක් වගේ මූන අමතක වෙන්නෑ
ආයේ නුවර කවදා යයිද කියලා දන්නේ නෑ
අඩන්නැතිව කඳුලු ආවේ කොහොමද දන්නෑ