Sri Lanka

Sunday, October 20, 2013

මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...


ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙ 'සමනල සංධිවනිය' කියන චිත්‍රපටයේ එන 'ඉකිගසා හඬන අතීතයක' කියන ගීතය ගැන අපි පුංචි සටහනක් ලියුව පහුගිය දවසක. අපි මේතරම් මේ ගීතයට ආස කරන්නෙ මේ ගීතයේ තේමාව බොහොම අපූරු එකක් නිසාමයි. චිත්‍රපටයට ප්‍රථම මෙම ගීතය හදල තිබුණත් තිබුනත් ජීවිතයේ බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුවන පොදු අත්දැකීමක් මෙම ගීතයට තේමා වෙලාතියන හින්දම සහ එම ගීතය විශේෂයෙන්ම සමනල සන්ධ්වනියේ තේමාව හා බැඳෙන නිසාම ජයන්ත චන්ද්‍රසිරි මහත්තය විසින් තමාගේ චිත්‍රපටයට මෙම ගීතය එක්කොට තිබෙනවා. මේ ගීතයට අපි ගොඩක් ආස කරන නිසාම මේ ගීතය ගැන තවත් බොහෝදේ සොයන්න අපි උත්සාහ කලා. ඒ අතරෙදි තමයි පහුගිය දවසක මේ ගීතය රචනා කරල තියන අමිල තේනුවර මහත්මය සති අන්ත පුවත්පතකට මේ ගීතයට පසුබිම් වෙච්ච සිදුවීම ගැන කියල තිබ්බ සටහන හම්බ උනේ. ඉතින් අපි හිතුව අපේ යාලුවන්ටත් බලන්න ඒ ටික මේ විදියට ලියන්න.

"එතකොට මගේ වයස අවරුදු දහ අටක් විතර ඇති. මම සාමාන්‍ය පෙල විභාගය කරලා ඉවර උනා විතරයි. මට එක්තරා ගෑනු ළමයෙකු හමු උනා..ඇත්තටම එක හරිම සුන්දර හමුවීමක්. ඒ ගෑනු ළමයාගේ තිබුනා අපුරු සුන්දර කමක්..

දැකපු ගමන් මගේ හිතේ ආදරයක් උපන්න..එත් ඒ ආදරේ වචන වලට පෙරලා ගන්න බැරි තරමට මම අසරණ වුනා. මට කවියක්වත් සින්දුවක්වත් ලියාගන්න බැරි අවස්තාවක් මේක. එත් මේ ළමයා ලඟදි මගේ හිත ලස්සන ගීතයක් බවට පත්වුනා.. 

ඔය කාලෙත් මම මහගමසේකරගේ , රත්නස්රි විජේසිංහගේ කවි කියවනවා..මේ කවි වල සමහර තැන මගේම අධ්‍යාත්මය කියල මට හිතුනා..මම ඒ තැන්වල කවකටු තුඩින් ඉරි ගහනවා..හැබැයි බැලු බැල්මට මේ ඉරි පෙන්නේ නැහැ..

සුක්ෂමව බැලුවොත් විතරයි පෙන්නේ..නොකියන ආදරය කියල සේකරගේ කවියක් තිබුනා..ඒ දවස්වල මගේ ප්‍රියතම කවිය ඒක. 

නොහැකිමුත් වචනයෙන් කියන්නට 
දරාගන්න නමුත් සිත යට 
දරාගන්න බැරිය එය මට 
දෙනෙත දෙනතින් ගැටී ගියවිට 

මම ඔය කවියට යටින් කවකටුවෙන් ඉරිගහුවා..ඊට පස්සේ ඒ පොත අරගෙන අර ගෑනු ළමයට දුන්න...එත් එයාට ඒ ආදරේ දැනුනේ නැහැ.. 

ඔබ දන්නවනම් එක කඳුළු බිඳක් 
හිත යටට වෙලා දුක් විඳින තරම් 

වගේ ආදරණීය ගීත පටිගත කරලා කැසට් පට එයාට දුන්න..එත් වැඩක් උනේ නැහැ...ඔය වේදනාව මගේ හිතේ හැමදාම තිබුනා..පුන්‍යා ගෙයි රේවතගෙයි ආදර කතාවේ  (සමනල සංධ්වනිය චිත්‍රපටයේ) මගේ මේ ආදර කථාවෙයි වෙනසක් නෑ කියල මට හිතෙනවා. 

මේ අප්‍රකාශිත ආදරය මගේ හිත යට නිද්‍රාගත වෙලා තියෙනවා. ඒක අවදි උනේ අවරුදු දහයකට පස්සේ.. 

අතින්වත් අත ඇල්ලුවේ නැහැ 
කිසිම කිළුටක් තිබුනේ නැහැ 
ආදරය හැර හීනයක්වත් 
කිසිම කිළුටක් තිබුනෙත් නැහැ 

අමරසිරි පීරිසිට ලියු මේ ගීතය වගේම 

කඳුළු වලින් කැනු මා හදවතේ 
මින් මැදුරේ පීන පීන සැරිසරනා 
හීන හීනයේ පෙනෙනා
ප්‍රථම ප්‍රේමයයි මීනා 

ගීතයත් ලිව්වේ ඒ අප්‍රකාශිත ප්‍රේමයටයි". 

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා ගීතය 

ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා....

හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...