Sri Lanka

Sunday, October 6, 2013

අනවසර මධුසමය


මේ කතාවත් ටිකක් වෙනස්ම තේමවක් තියෙන්නෙ. කතාව කියවලා ඉවරවෙනකල්ම අපි කාටවත් හිතාගන්න බෑ අපිට මේකෙන් ගන්න තියන හරය මොකක්ද කියල. අවසානෙදි තමයි අපිට ඇත්ත සිද්ධිය දැනගන්න වෙන්නෙ. බුවනෙකබා අපි හැමදාමත් වෙනස්ම දෙවල් අරන් ආව හින්ද වෙනස්ම තේමාවකින් දුවන මෙ කෙටි කතාව ඔයාලට අරන් එනන් හිතුන. මේ කතාව අපි උපුටගත්තෙ බූන්දි කියන බ්ලොග් එකෙන්. කතාවෙ මුල් රචක අනුර බී. සෙනෙවිරත්න මහත්මයට අපගේ සියළු ගෞරවය හිමිවේ.


හෝටල් කාමරයට ඇතුළුවෙද්දී සීතාගේ සිරුර දියෙන් ගොඩලූ මසකුගේ මෙන් ගැහෙන්නට වී ය. තමන් දන්නා හඳුනන කිසිවකු තමාත්, ජයපාලත් දෙස බලා සිටින්නේ යැයි ඇයට හැඟිණි. බොහෝ වේලාවක් තිස්සේ බිමට නැඹුරු කරගෙන සිටි හිස පළමුවරට ඉහළට ඔසොවා ඇය මඳක් වටපිට බැලුවා ය. අසළ සිටිනවුන් සියල්ලෝම තම-තමන්ගේ වැඩවල නිරතව සිටිති. එයින් සැනසීමක් ලද ඇය, පිනිජම්බු ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වුණු මුහුණ, කවුන්ටරය අසළ කාමරයක් ඇණවුම් කරමින් සිටින ජයපාල වෙත යොමු කළා ය. කිසිදු තිගැස්මක් නොමැතිවම අමුත්තන්ගේ පොතේ මිස්ටර් ජයපාල සහ මිසිස් ජයපාල යනුවෙන් සටහන් කර කාමරයේ යතුර අතට ගත් ජයපාල, නියම නීත්‍යනුකූල ස්වාමිපුරුෂයකුගේ විලාසයෙන් කාමරය වෙත යන්නට පෙරමුණ ගත්තේ ය. සීතාට කරන්නට තිබුණේ සුවච කීකරු භාර්යාවක මෙන් ඔහු පසුපස ගමන් කිරීම පමණ ය. දිලිසෙන පොළොවේ සීතා පියවර තැබුවේ ඉතා සීරුවෙනි. පතුළටම ගෙවී ඇති සෙරෙප්පු යුවල තමා කොයි මොහොතේ මේ දිලිසෙන බිමේ උස්සා පොළොවේ ගසත් දැයි දන්නේ දෙවියන් වහන්සේ පමණකැයි ඇයට සිතිණි.


මෙවන් දිලිසෙන බිමක් අනාගතයේ කෙදිනක හෝ තම අළුත් නිවසේ ගෙබිමට ද යොදාගත යුතු යැයි ඇය ජයපාල පසුපස යමින් කල්පනා කරන්නට වූවා ය. එහෙත්, හතර අතට ණය තුරුස් වී සිහින නිවසින් යාන්තම් කාමර කෑල්ලක් අටවාගෙන සිටින තමන්ට එය දවල් සිහිනයක් පමණක් නොවේදැයි ඇය තමාගෙන්ම ප්‍රශ්න කර ගත්තා ය.

කාමරයට ඇතුළු වී අත්බෑගය පසෙක තැබූ සීතා ඉතා විමසිල්ලෙන් යුතුව කාමරය හාත්පස විපරම් කරන්නට වූවා ය. සුදෝසුදු ඇඳ ඇතිරිලි අතුළ විසල් යුවල ඇඳට අමතරව කාමරය තුළ ඇත්තේ අල්මාරියක්, කණ්නාඩි මේසයක්, පුටුවක් හා මේසයක් පමණි. විසල් යුවල ඇඳ වෙත සෙමින් ඇවිද ගිය ඇය, තවදුරටත් හාත්පස පිරික්සමින් ඇඳ මත වාඩි වූවා ය. සැනෙකින් අඩියක් පමණ පහළට එරුණු ඇගේ සිහින් සිරුරට නවීන පන්නයේ ඇඳ මෙට්ටයේ සුවපහසු බව වඩාත් හොඳින් දැනිණි. කාමරයට සෑහෙන මුදලක් වැයවන්නට ඇතැයි ඒ සමඟම ඇයට සිතිණි.

''
කාමරේට කීයක් ගියා ද?'' ඇඳුම් අහවර කරමින් සිටින ජයපාල දෙස නොබලාම ඇය කටහඬ අවදි කරන්නට වූවා ය.

''
පැය දෙකට රුපියල් දාහක්...'' මේස් බැනියම ගලවා පුටු ඇන්දට දමමින් ඔහු පිළිතුරු දෙන්නට වූයේ කිසියම් නුරුස්නා සුළු හැඟීමකිනි.

''
මගෙ අප්පේ....! ඒ ටික වෙලාවට එච්චර ගාණක්....! ඒක නං හරිම අසාධරණයි. එච්චර ගාණක් යනව කියල දන්නව නං... මං කොහොමවත් කැමති වෙන්නෙ නෑ...මේ ගමන එන්න. අපරාදෙ සල්ලි'' කාමර කුලිය ගැන විමතියට පත් සීතා විස්සෝප වන්නට
වූවා ය. ඉතාමත් ආයාසයෙන් උදාකර ගත් මේ දුර්ලභ අවස්ථාවේ ඇයගේ මේ විස්සෝපය නම් එතරම් හොඳ දෙයක් නොවේ යැයි ජයපාලට සැනෙකින් අවබෝධ වී ය. ඉතා අමාරුවෙන් එකඟ කරවාගෙන මෙහි කැටුව ආ සීතාගේ මනස කිසියම් හේතුවක් නිසා වෙනස් වුවහොත්, තමන් දැරූ උත්සාහයන් සියල්ල ගඟේ ගියාක් මෙන් වනු ඇතැයි ඔහුට සිතිණි. එනිසාම ඔහු ඇගේ විස්සෝප සිතිවිලි වෙනස් වන ආකාරයෙන් වචන එක්කාසු කරන්නට උත්සාහ කළේ ය.

''
ඔයා හිතන්නේ... මෙච්චර සැප පහසු කාමරයක් මේ මිනිස්සු අපිට නිකං දෙයි කියල ද? ඔය ගැන ඔච්චර හිතන්නැතුව... හොඳ ළමය වගේ.... දැන් ඉතිං ඔය ඇඳුම් මාරුකර ගත්තනං...'' ජයපාල නාන කාමරයට ඇතුළුවෙමින් කියාගෙන ගියේ ය.

තවත් මඳ වේලාවක් සිතිවිලිවල ගැලී සිටි සීතා, දිගු සුසුමක් හෙළමින් වාඩිගෙන සිටි යහනින් නැඟී සිටියා ය.

නුහුරු-නුපුරුදු බවත්, තැතිගැස්මත් නිසා දහදියෙන් ඇඟට ඇළුණු ඇඟලුම් එකිනෙක ඉවත් කළ සීතා, ඇඳුම් රාක්කයේ වූ සුදු පැහැති නාන තුවාය අතට ගත්තා ය. සමඟම තම නිරුවත් සිරුරේ හැඩරුව කලෙකින් දැක ගැනීමේ ආසාවක් ඇයට ඇති වී ය.

කණ්නාඩි මේසය ඉදිරිපිටට ගිය ඇය, නාන කාමරයෙන් වෑස්සෙන වතුර හඬට සවන් දෙමින් විසල් කණ්නාඩිය මත ඇඳී ඇති සිය නිරුවත් පිළිබිඹුව දෙස මොහොතක් බලා සිටියා ය. තම සිරුරේ හැඩරුව තවමත් තමා සිතූ තරම් වැහැරී නැතැයි ඇයට සිතිණි. යාන්තම් මුහුණ පමණක් බැලිය හැකි රසදිය පවා මැකී යමින් පවතින තම නිවසේ ඇති කුඩා කණ්නාඩියට වඩා මේ විසල් කණ්නාඩිය මොනතරම් සුපැහැදිලිදැයි ඒ සමඟම ඇයට සිතිණි.

නාන කාමරයේ දොර ඇරෙන හඬින් සිතිවිලිවලින් පිබිදුණු සීතා, ඇඳ මත දමා තිබූ නාන තුවාය ගෙන තන මත්තේ දවටා ගත්තා ය.

''
පමා වෙන්නැතුව...ඉක්මණට වොෂ් එකක් දාගෙන එන්න.'' නාන කාමරයෙන් එළියට එමින් සිටි ජයපාල, සීතාව උනන්දු කරන්නට වී ය. තමා දන්නා තරමින් සති ගණනකින් ලිංගික සංසර්ගයේ යෙදී නැති ජයපාලට ඇත්තේ, එසේ-මෙසේ හදිස්සියක් නොවේ යැයි නාන කාමරයට ඇතුළුවන ගමන් සීතා කල්පනා කළා ය.

නාන කාමරයට ඇතුළු වූ සීතා, එතුළ වූ නවීන පන්නයේ නාන කාමර උපාංග දෙස බලා සිටියේ ඉමහත් ආසාවෙනි. මේ නාන කාමරය නම් තමන් යාන්තම් කාමර කෑල්ලක් අටවාගෙන සිටින තම අනාගත සිහින නිවසේ නාන කාමරයම යැයි ඒ සමඟම ඇයට සිතිණි.

සිරුරේ දවටාගෙන සිටි තුවාය ඉවත්කර රඳවනයේ එල්ලූ සීතා රිදී පැහැති වතුර කරාමය ඇර නවීන පන්නයේ වතුර මලෙන් වෑස්සෙන සීතල වතුරට සිය සිරුර දෝවනය වන්නට ඉඩ දී සුන්දර සිතිවිලිවලින් තම සිහින නාන කාමරය සැලසුම් කරන්නට වූවා ය. අතර, රිදී පැහැති සබන් රඳවනයේ තබා ඇති හුරුබුහුටි සුවඳ සබන් කැටය ඇගේ නෙත ගැටිණි.

කරාමය වසා දමා සබන් ගැටය අතට ගත් සීතා, එය නැහැයට ළංකර සුවඳ බැලුවා ය. ඇයවත් නොදන්නා කුමක්දෝ ඉමිහිරි මල් සුවඳකින් ඇගේ ගත-සිත පිනා ගියේ ය. ඒ මල් සුවඳ සිතුසේ විඳිමින් හුරුබුහුටි සබන් කැටය සිතේ හැටියට සිය සුරූපී නිරුවත් සිරුරේ මුහුණ සිට දෙපතුළ දක්වා තවරාගත් සීතා, කරාමය ඇර වතුර මලින් වැගිරෙන සීතල දිය දහරට සිය සිරුර දෝවනය වන්නට ඉඩ හැරියා ය.

සිහිල් දිය පහසින් අළුත පිපුණු මලක් සේ නැවුම්ව සිටි සීතා, නාන කාමරයෙන් පිටතට පැමිණෙන විටත්, ජයපාල සුව පහසු විසල් යහනට වී ඇගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියේ ය.

''
ෂෝක් බාත්රූම් එක නේද? ජයේ...'' තවමත් නාන කාමරය පිළිබඳ සිතිවිල්ලේ ගැලී සිටි සීතා කණ්නාඩි මේසය වෙත යමින් කටහඬ අවදි කළා ය.

''
හෝටල්වල හැමදේම එහෙම තමා. මොකද? ඔයා ඔච්චර වෙලා...ඒවයෙ ලස්සන බල- බලා හිටිය ද ?'' තන මට්ටමේ සිට දෙකලවාවලින් අඩක් පමණ ආවරණය වන ලෙස පටු තුවායක් දවටාගෙන සිටින සීතාගේ අඩ නිරුවත් සිරුරු තමා මේ දකින්නේ කෙතරම් කාලයකින්දැයි සිහිපත් කරගන්නට උත්සාහ දරමින් ජයපාල නොඉවසිලිමත්ව පැවසී ය.

''
මොකක්ද? අනේ ! ඔයාට ඔච්චර තියෙන හදිස්සිය. ඔයා හරියට අළුත බැඳපු මනමාලයෙක් වගේනේ...'' අත්බෑගයෙන් ගත් කුඩා පුයර ඩප්පියක් විවර කරමින් සීතා මවාගත් නුරුස්නා සුළු හඬකින් පැවසුවා ය.

''
ඔයාට නං මොකද? ඔයා දවසම නිවාඩු. මං ෂෝට් ලීව් එකක් දාල ආවේ. අඩුගාණේ...ලන්ච් ටයිම් එක ඉවරවෙද්දිවත් ඔෆීස් එකේ ඉන්න ඕනි.''

''
ඒකනේ...කියන්නේ... ඔයාට මේ වගේ වැදගත් දවසකවත් නිවාඩුවක් ගන්න බෑ කියල.'' නොඉක්මන් ගමනින් සයනය වෙත පැමිණ ජයපාල අසළින් වාඩිවෙමින් සීතා තොඳොල් බසින් කියාගෙන ගියේ ජයපාලගේ දුක්බර සිතිවිලි අකා-මකා දමන්නට කිසියම් උත්සාහයක යෙදෙමිනි.

තමා අසළින් වාඩිගත් සීතාගේ පිටේ තවමත් රැඳී දිදුලන වතුර බිඳු කිහිපයක් ජයපාලගේ නෙත ගැටිණි. මඳක් කෙළින් වී බඳ වටා අතක් යවා සීතාව තමා වෙත ළංකරගත් ජයපාල, ඒ වතුර බිඳු කිහිපය දැඩි ඇල්මෙන් යුතුව සිප ගත්තේ ය. නාන කාමරයේ ඇති හුරුබුහුටි සබන් කැටය විහිදුවන නැවුම් මල් සුවඳ ඔහුගේ නැහැයට වඩාත් හොඳින් දැනිණි.

ඒ මල් සුවෙඳ් ගැලී දිගු කලෙකින් තමා නොවිඳි ප්‍රීති ප්‍රමෝදය විඳගන්නට ජයපාල සූදානම් වූවා පමණි. කිසිවකු කාමරයේ දොරට තට්ටු කරන්නට වූයේ හරියට කාමරය තුළ සිදුවන දෑ දෙස අවධානයෙන් බලා සිටියාක් මෙනි.

දුන්නක් මෙන් එකවරම සයනයෙන් නැඟී සිටි සීතා, කාමරයේ දොර දෙසත්, ජයපාල දෙසත් මාරුවෙන්-මාරුවට බලන්නට වූයේ බියෙන් විසල් වූ තැතිගත් දෑසිනි.

''
වේටර් කෙනෙක් වෙන්න ඇති.'' ඇඳෙන් බැස ලිහිල් වී තිබුණු නාන තුවාය නිසියාකාරව නැවත සිරුරේ දවටාගත් ජයපාල, සීතා දෙස බලාගෙන මඳක් කල්පනා කරන්නට වී ය.

''
ඔයා හවුස්කෝට් එකක් ගෙනාව කිව්ව නේද? කෝකටත්...ඔය තුවායට උඩින් ඒක ඇඳගන්න.'' ජයපාල හඬ පහත් කරගනිමින් පැවසී ය.

මේසය මත දමා ඇති අත්බෑගය වෙත ගිය සීතා, එය විවර කර අම්මාගේ දෑසට හසු නොවන්නට උදෑසනම අත්බෑගයට ඔබාගත් හවුස්කෝට් එක ගෙන නාන තුවායට උඩින් හැඳ කඩිනමින් බොත්තම් පියවා ගත්තා ය.

සියල්ල ආරක්ෂිත යැයි කල්පනා කළ ජයපාල කිසිදු චකිතයකින් තොරව කාමරයේ දොර යතුරු කරකවා දොර විවර කළේ ය. ඔහුගේ මුහුණේ රැඳී පැවතියේ සියුම් කෝපයක් ද මුසු නුරුස්නා සුළු හැඟීමකි. දොර විවර කළ ඔහුට සුදු පැහැ නිල ඇඳුම හැඳගත් වේටර්වරයා වෙනුවට දැක ගන්නට ලැබුණේ, කාකි නිල ඇඳුමින් සැරසුණු පොලිස් භටයන් කිහිප දෙනෙකි.

ඒ අප්‍රසන්න දසුනත් සමඟම වැස්සකටවත් පොලීසියකට ගොඩ වී නැති ජයපාලගේ මුහුණේ ඉරියව් එසැනින් වෙනස් වන්නට වූ අතර, ඔහුගේ සියොළඟම සීතල වී ගියේ ය. තැතිගත් දෑසින් සයනය අසළ සිටගෙන සිටින සීතා දෙස අසරණව බැලූ ජයපාල දුටුවේ පොලිස් භටයින් දැක බියෙන් දෙඅත්ලෙන් මුහුණ වසාගෙන ඇඳ මත වාඩිගන්නා සීතාගේ තැතිගත් රුව ය.

''
ආ...ඒකයි එහෙනං...මේ කට්ටියගේ වැඩ.'' පොලිස් පිරිසේ ප්‍රධානියා යැයි සිතිය හැකි සැරයන්වරයකු සීතා දෙස බලා ඇයව ගිල දමන්නට මෙන් තොල-කට ලෙව කමින් ජයපාලගේ ඇඟේ හැපී-නොහැපී කාමරයට ඇතුළු වූයේ කිසිදු ගරු-සරුවක් නැතිව ය. ඔහුගේ ඉරියව් හොඳින් නිරීක්ෂණය කරමින් සිටි ජයපාලගේ විලි ලජ්ජාව අභිබවා ඔහුටත් හොරා ඔහුගේ ආත්ම ගෞරවය කළඑළි බැස්සේ ය.

''
ඉස්සෙල්ලම... සාජන්ට් මහත්තයා...මිනිසුන්ට කතා කරන්න ඉගෙන ගත්තොත් හොඳයි. අර ඉන්නෙ මගෙ වයිෆ්. අපි නීතියෙන් කසාද බැඳලයි ඉන්නේ. මොකක්ද ? මේ කරන නොසංඩාල වැඩේ තේරුම..'' නැඟ එන කෝප වේගය පාලනය කර ගනිමින් ජයපාල වචන එක්කාසු කරගන්නට උත්සාහ කළේ ය.

''
මෙහෙට එන හැමෝම ඉස්සෙල්ලම කියන්නෙ ඔය ටික තමයි අයිසේ. අපිට දැන්... ඕව අහල හොඳට පුරුදුයි. බැඳල කියයි...බඳින්න ඉන්නෙ කියයි. ඔය බයිල ඔක්කොම කියන්න පුළුවන් හෙට උසාවියේ දී. දැන් ඉතිං.. දෙන්නම අපිත් එක්ක පොලීසියට යන්න ලෑස්ති වුණා නං හොඳයි.'' එතෙක් වේලා විවරව තිබූ දොර පියන හඬ නැගෙන සේ වසාගෙන කාමරයෙන් පිටවන ගමන් සැරයන්වරයා කියාගෙන ගියේ ජයපාලට තවත් නිදහසට හේතු කියන්නට කිසිදු ඉඩක් නොතබමිනි.

ඒ අවසරයෙන් මඳ සැනසිල්ලක් ලැබූ ජයපාල, තවමත් බිමට පහත් වී දෙඅත්ලේ මුහුණ හොවාගෙන වැලපෙන සීතා වෙත ගොස් ඇගේ හිස පිරිමදින්නට වූයේ කළ වරදකට සමාව අයදින්නාක් මෙනි. දෙදරු මවක් වන ඇය මෙවන් ගමනකට පොළඹවා ගත්තේ මොන තරම් ඇවිටිලි කිරීමෙන් පසුවදැයි ඒ සමඟම ජයපාලගේ සිහියට නැගිණි.

''
කරන්න දෙයක් නෑ...දැන් ඉතිං අපි...යන්න ලෑස්ති වෙමු.'' ජයපාල කටහඬ අවදි කළේ ජීවිතයේ පළමුවරට පරාජයට පත් අයකුගේ විලාසයෙනි.

''
අඩුගාණේ ඔයා... ඔෆිස් අයිඩන්ටටි එකවත් පෙන්නුවෙ නැත්තෙ ඇයි ? බාග වෙලාවට එයාලා ඒකට හරි සළකන්න තිබුණා. '' හිස ඔසොවා තවමත් දෑසින් ගලන කඳුළු පිස දා ගන්නට උත්සාහ කරමින් සීතා කියාගෙන ගියා ය.

''
කොහෙ පෙන්නන්න ද? දැක්කනෙ ඌ මරුමුස් විදිහට කතා කරපු හැටි. අනික ඔෆිස් එකට මේව ආරංචි වුණොත් මට විසුමක් වෙන එකක් නෑ... වෙන කරන්න දෙයක් නෑ... පොලීසියට ගිහින් ඕ.අයි.සී. මහත්තයටවත් කතා කරල බලමු. ඔයා ඉක්මණට ලෑස්ති වෙන්නකෝ...'' සීතාට සූදානම් වන්නට ඉඩ දෙමින් කඩිනමින් ඇඳුම් ඇඟලා ගත් ජයපාල කාමරයේ ඔබ-මොබ ඇවිදින්නට වූයේ ඊළඟට කළ යුත්තේ කුමක් දැයි
සිතා ගන්නට උත්සාහ දරමිනි.

ජයපාලත්, සීතාත් පොලිස් භටයන් සමඟ තානායමෙන් පිටතට පැමිණෙන විටත් පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද තවත් අනවසර ජෝඩු හත-අටක්ම හෝටලය ඉදිරිපිට ගෙමිදුලේ රැස්ව සිටියෝ ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගැටවර වියේ පසුවන්නන් වූ අතර, අනෙක් කිහිප දෙනා යාන්තම් මැදිවිය පසුකර යමින් සිටිය හ.

ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් ගෙන්වා තිබූ බස් රථයට ගොඩ වූ සියල්ලන්ගේ මුහුණුවල දක්නට ලැබුණේ දැඩි විපිළිසර බවකි. පිටස්තර පුද්ගලයින්ගේ පමණක් නොව තමන් සමඟ අත්අඩංගුවට පත් වී සිටිනවුන්ගේවත් දෑස් දෙස කෙළින් නොබලන්නට තරම් ඔවුහු ප්‍රවේශම් වූ හ.

පොලීසියට ගෙනා පිරිස කිසිවකුගේ කිසිදු විරෝධයකට ඉඩ නොතබමින් වෙන්-වෙන්ව කූඩු කරන ලද්දෙන්, එතෙක් ඔවුන් එකිනෙකා අතර පැවති ආරක්ෂාව පිළිබඳ හැඟීම් පවා එක්වරම බිඳ වැටිණි. බොහෝ වේලාවක් නිදහසේ එකට සිටින්නට පෙරුම් පුරාගෙන පැමිණි ජයපාලටත්, සීතාටත් අත්වූයේ අනෙක් ජෝඩුවලට අත් වූ ඉරණමම ය.

කූඩුවට වැටී වැඩි වේලාවක් යන්නට පෙර පොලීසියේ ඕ.අයි.සී. මහත්තයා පැමිණියෙන් කූඩු දෙකක වෙන්-වෙන්ව ගාල් කර සිටි ජයපාලටත්, සීතාටත් තරමක සැනසිල්ලක් දැනිණි. තමන් අත්අඩංගුවට ගත් පොලිස් භටයන්ට වඩා තරමක බුද්ධිමත් බවක් පළකළ ඕ.අයි.සී. මහත්තයාගේ තරුණ පැහැපත් මුහුණ ජයපාල සිටි කූඩුවේ යකඩ කූරු අතරින් ඔහුට පැහැදිලිව පෙනේ.

අත්අඩංගුවට පත්ව සිටින තරුණ ජෝඩු එකින්-එක තමා වෙත කඳවා වෙන-වෙනම ප්‍රශ්න කරන පොලිස් ප්‍රධානියා, ඔවුන් සැබෑ පෙම්වතුන්දැයි හඳුනාගන්නට උත්සාහ දරන බවක් පෙනිණි. එවන් සෑම ප්‍රශ්න කිරීමක් අවසානයේම ඒ පෙම්වතුන්ගේ දෙමාපියන් පොලීසියට කැඳවන ලෙස ඔහු සාජන්ට්වරයාට අණ දුන්නේ ය. දෙමාපියන්ගේ පැමිණීමෙන් අනතුරුව උසාවියේ නීත්‍යනුකූල දඬුවම්වලින් මිදීම සඳහා පොලීසියේ අණට එකඟව දැනටමත් දෙවියන් ඉදිරියේ විවාහ වී සිටින ඔවුන්ට නීතිය ඉදිරියේ විවාහවන්නට සිදුවනු ඇතැයි ජයපාලට සිතිණි.

ප්‍රශ්න කිරීම් සඳහා සීතා සහ ජයපාල පොලිස් ප්‍රධානියා වෙත පමුණුවන විට සෑහෙන වේලාවක් ගත වී තිබිණි.

''
සර්...මූ ටිකක් ඕනවට වැඩියි. රේඩ් එක කරද්දී...මට ඩියුටි කරන හැටිත් උගන්නන්න ආවා. අනික මුන් බැඳල කියල පැනල යන්නයි හැදුවෙ'' ඕ.අයි.සී. මහත්තයාගේ ප්‍රශ්න කිරීම් ආරම්භ කරන්නටත් පෙර තමාත්, සීතාත් පිළිබඳව සාජන්ට්වරයා කළ පූර්විකාව ඕ.අයි.සී. මහත්තයාගේ පැහැපත් මුහුණට කළු වළාවක් එක්කළ සැටි ජයපාල අසරණව බලා සිටියේ ය.

''
තමා වැරදි කරල පොලීසියත් නොමග යවන්න ද හදන්නේ...?'' හිස ඔසොවා ජයපාල දෙස දරුණු බැල්මක් හෙලූ පොලිස් ප්‍රධානියාගේ තියුණු වාග් ප්‍රහාරය සාජන්ට්වරයාගේ නොමඳ සතුටට හේතු වී ඇති බව ඇස් කොණින් ඔහු දෙස බැලූ ජයපාලට පෙනිණි.

''
අනේ! නෑ සර්, මං කීවෙ ඇත්ත. අපි බැඳල අවුරුදු දහයක් වෙනව.'' ජයපාල කෙතරම් ස්ථීරසාර හා විශ්වසනීය ලෙස ඒ වදන් පැවසුවේ ද කියතොත්, පොලිස් ප්‍රධානියාට ඒ ගැන දෙවරක් සිතන්නට සිදු වී තිබිණි.

''
හරි ! තමුසෙට පුළුවන් ද? ඒක ඔප්පු කරන්න.'' මොහොතක් කල්පනා කරමින් සිටි ඕ.අයි.සී. මහත්තයාගේ තරමක් මුදු මොළොක් බවට පත් වදන් ජයපාල තව-තවත් දිරිමත් කරන්නට වී ය.

''
පුළුවන් සර් ! අපි දෙන්නගෙන් කෙනෙක් නිදහස් කළොත්... අපිට පුළුවන් අපේ විවාහ සහතිකේ අරන් එන්න. අපි මේ ටවුම ළඟමයි ඉන්නේ....'' ජයපාල නොඉවසිලිමත්ව කියාගෙන ගියේ ය.

''
එහෙනං...සාජන්ට් ! අයිඩන්ටිටි එක තියාගෙන මේ ලේඩිව රිලීස් කරන්න. මෙයාව ආයෙත් කූඩුවට දාන්න.'' ඕ.අයි.සී. මහත්තයා එක දිගට අණ දුන්නේ තමා ඉතා කාර්ය බහුල පුද්ගලයකු බව නොකියා කියන්නට මෙනි.

''
මේකුං බොරුවක් කරන්න සර් ලෑස්ති වෙන්නෙ. ගෑණි පැනල ගියාම... අපිට උසාවියට ඉදිරිපත් කරන්න වෙන්නෙ එක ඇකියුස් කෙනයි. එතකොට... මේ වගේ කේස් එකක් නිකම්ම අහක. ඒක මුං දන්නවා. '' තමා පරාජයට පත්වන්නට යන බව වටහා ගත් සාජන්ට්වරයා, තම ප්‍රධානියාගේ කණට ළංවී තම අවසාන තුරුම්පුව ද දමා ගැසී ය. තම යටත් නිලධාරියාගේ අදහස අනුමත කරන්නට මෙන් මොහොතක් වේලා හිස වනමින් කල්පනා කරන්නට වූ පොලිස් ප්‍රධානියා පළමු වරට සීතා දෙස බැලී ය.

''
හැබැයි තමා... බොරුවක් කරන්න හැදුවොත්... තමාලා දෙන්නටම මාස ගාණකට මහ උළු ගෙදර තමා තපින්න සිද්ධ වෙන්නෙ.'' ඕ.අයි.සී. මහත්තයාගේ ඒ වදන්වල කිසියම් ස්ථීරසාර, දැඩි බවක් ගැබ්ව ඇතැයි තවත් වචනයක්වත් කතා කරන්නට පෙර සාජන්ට්වරයාගේ හැඩිදැඩි සිරුරේ පිහිටෙන් නැවත කූඩුව වෙත තල්ලු වී යමින් සිටි ජයපාල කල්පනා කළේ ය.

යකඩ කූඩුවේ කූරු ගණන් කරමින් විවිධාකාර සිතිවිලිවල වෙලී සිටි ජයපාලට වේලාව පිළිබඳ හැඟීමක් නොවී ය. පළමුවරට ඒ පිළිබඳව ඔහුට සිහිපත් කළේ, ඈත බිත්තියක එල්ලා ඇති පොලීසියේ විසල් බිත්ති ඔරලෝසුවයි. ඔහු තම අත් ඔරලෝසුවේ වේලාව ඒ හා සංසන්දනය කර බැලී ය. කාර්යාල වේලාව අවසන් වන්නට විනාඩි තිහකට වඩා නැති බව ඔරලෝසුවල සටහන්ව තිබෙනු දැක ජයපාලගේ ඉහ-මොළ රත් වී ගියේ ය. සවස්වරුවේ කාර්යාලයට නොපැමිණෙන බව දැනුම් දෙන්නට නොහැකි වූ බව ඔහුට සිහිපත් වූයේ පළමු වතාවට ය. කාර්යාලයට දුරකථන ඇමතුමක් දෙන ලෙස සීතාට කියන්නට අමතක වීම ගැන ඔහු තුළ ඇතිවූයේ මහත් පසුතැවිල්ලකි.

සීතා නැවත පොලීසියට පැමිණෙන විට තවත් විනාඩි පහළොවක පමණ කාලයක් ගත වී තිබිණි. ඇගේ රූමත් මුහුණ දැඩි වෙහෙසකර බවක් පළ කළ ද, කිසියම් පැහැපත් බවකින් ද ඔප වැටී තිබිණි. තැලී ඉරී පොඩි වී වැරහැලි වන්නට ආසන්න තමා හොඳින් දන්නා හඳුනන දිගු ලියුම් කවරය මහාර්ඝ වස්තුවක් සේ ඇය පපුවට තුරුළු කරගෙන සිටියා ය.

ඒ ඉරියව්වෙන්ම ජයපාල සිටි කූඩුව ආසන්නට පැමිණි සීතා එක් අතකින් සීතල යකඩ කූරක් අල්ලාගෙන ජයපාල දෙස බලා හති අරින්නට වූවා ය.

''
මැරීඩ් සර්ටිෆිකේට් එක ගෙනාවා. මං ඕ.අයි.සී. මහත්තයාට... මේක පෙන්නලා....ඔයාව එළියට ගන්නං...'' කූඩුවේ යකඩ කූරු වෙතට සමීප වූ ජයපාලගේ දෑසට එබෙමින් සීතා කියාගෙන ගියා ය.

''
කරන දෙයක් ඉක්මනට. ඔෆිස් එක වහන්න ඉස්සර වරුවක් නිවාඩු ඉල්ලලා.. කෝල් එකක් දෙන්න ඕනි. '' ඕ.අයි.සී. මහත්තයාගේ කුටිය දෙසට යන්නට පියවර එසවූ සීතා දෙස බැලූ ජයපාල නොඉවසිලිමත්ව පැවසීය.

සීතා, ඕ.අයි.සී. මහත්තයාගේ කුටියට ඇතුළු වී වැඩි වේලාවක් යන්නට පෙර ජයපාලගේ කූඩුවේ යකඩ දොර පියන විවර වුණේ ය. යකඩ දොර පියන විවර කළ පොලිස් කොස්තාපල්වරයාටත් පෙර දනි-පනි ගා ඕ.අයි.සී. මහත්තයාගේ කුටියට ඇතුළු වූ ජයපාලට දැකගන්නට ලැබුණේ මීට මොහොතකට පෙර සීතා විසින් ගෙනවිත් භාරදෙන ලද විවාහ සහතිකයේ සඳහන් තොරතුරු සහ තමන් දෙදෙනාගේ හැඳුනුම්පත්වල සඳහන් තොරතුරු එකිනෙක සංසන්දනය කරමින් සිටින පොලිස් ප්‍රධානියා ය.

ජයපාලගේ පැමිණීමත් සමඟම එම කටයුත්තට තිත තැබූ ඕ.අයි.සී. මහත්තයා ජයපාලත්, සීතාත් දෙස මාරුවෙන්-මාරුවට බලමින් කටහඬ අවදි කළේ ය.

''
කසාදත් බැඳල...ආණ්ඩුවේ හොඳ රස්සාවලුත් කරද්දි....මට හිතාගන්න බෑ ඔහෙල මේ ගුබ්බෑයං අස්සෙ රිංගන්නෙ මොන එහෙකට ද කියල...'' ඕ.අයි.සී. මහත්තයාගේ කටහඬේ ගැබ්ව ඇත්තේ කෝපයකටත් වඩා කළකිරීමක් මුසු හැඟීමකැයි ජයපාලට සැනෙකින් වැටහී ගියේ ය.

සත්‍යය තමාටත්, සීතාටත් කෙතරම් තිත්ත වුව ද එය වසන්කොට තව දුරටත් ඔහු වෙහෙසට පත්කළ යුතු නැතැයි ජයපාලට සිතිණි. ඒ අදහසින් ඔහු සීතාගේ මුහුණ බැලුවේ ය. ජයපාලගේ දෑස් මත තම දෑස එකම එක් වරක් ගැටෙන්නට සැලැස්වූ සීතා, පිනි ජම්බු ගෙඩියක් සේ විලියෙන් රත්පැහැ ගත් මුහුණ බිමට නැඹුරු කරගත්තා ය.

''
ඇත්තම කියන්නංකො මහත්තයෝ... අපේ ගෙදර තියෙන්නෙ එකම එක කාමරයයි. ඒකත් හදාගත්තෙ දහ අතේ ණය වෙලා. ඒ කාමර කෑල්ලෙ තමයි... අපි දෙන්නයි...පොඩි එව්වො දෙන්නයි වැටිල නිදා ගන්නෙ. දැනට මාසෙක-දෙකක විතර ඉඳං...මෙයාලගේ අම්මත් අපේ ළඟට ආවා.... අපිට කියල නිදහසක් නැතිම හින්ද තමයි මහත්තයෝ... අපි දෙන්න මෙහෙම ගමනක් ආවේ....'' පාපෝච්චාරණයක් ලෙසින් ජයපාල කියාගෙන ගිය දුක්ගැනවිල්ල ඒ වනවිට සීතා බිම බලාගෙන කඳුළුවලට හරවමින් සිටියා ය.

ජයපාලගේ පාපෝච්චාරණය ඕ.අයි.සී. මහත්තයා අළුත් මිනිසකු බවට පත් කරන්නට වැඩි කාලයක් නොගත්තේ ය. ආයාසයෙන් හැඟීම් පාලනය කරගත් ඔහු ජයපාලගේත් සීතාගේත් විවාහ සහතිකය තිබුණු විදිහටම නවා සීරුවෙන් ලියුම් කවරයට ඇතුළු කර හැඳුනුම්පත් දෙකත් සමඟ එය ජයපාල අත තැබී ය.