Sri Lanka

Saturday, October 26, 2013

ලෝකෙම දන්න අපේ පුංචි ලේන් පැංචා



ශ්‍රි ලංකාවේ ස්වභාවික වනාත්තර වල ජීවත් වන වන සතුන් හා පුරා විද්‍යාත්මක ස්ථාන පිළිබඳව වාර්තාමය වැඩසටහනක් කිරීමට පහුගිය දවසක ලංකාවට ආපු BBC ආයතයේ වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ Paul Williams විසින් සාත්තු කරමින් රැකබලාගත් ලංකාවේ ලේන් පැටියෙකුට මේ වනවිට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධියක් ලැබිල තියනව.

අපි පහුගිය සැප්තැම්බර් මාසේ විල්පත්තු වනයට ගියපු චාරිකාවෙදි අපිට මේ Paul Williams ඇතුළු  කණ්ඩායම මුනගැහුන. අපේ සමන් සහෝදරයත් විල්පත්තු වනජීවි දෙපාර්තමේන්තුවේ සේවය කරන හින්දම මේ කණ්ඩායම ගැන ගොඩක් තොරතුරු අපි දැනගත්ත. මොවුන් රාත්‍රි කාලයේ තමයි තමන්ගෙ ගවේශන කටයුතු කරන්න සූදානම් වෙලා හිටියෙ. ඔවුන් Infrared (IR) light මගින් ක්‍රියාත්මක වන අධිතාක්ෂණික කැමරා උපකරන තමයි භාවිතා කරන්නෙ. අදුරෙදි සත්තුන්ගෙ ඇගෙන් පිට වෙන තාපය නිසා සත්තුන්ව හදුනගන්න පුලුවන් මේ උපකරන මගින්. ඒ ගොල්ලන් කැලේ ඇතුලට යන සෆාරි ජීප් එකේ ලයිට් සේරම ආවරණය කරල රියදුරත් ඒ තාක්ෂණයෙන්ම ක්‍රියාත්මක වන උපකරණයක් ඇස් වල පැළදගෙන තමයි වාහනය පදවන්නෙ.  මේ දෙවල් වෙන්නෙ කොහොමද කියල දැනගන්න ආස අය මේ ලින්ක් එකෙත් ගිහින් ඒ ගැන විස්තර කිවයගන්න. http://en.wikipedia.org/wiki/Infrared#Night_vision

ඉතින් මේ විදියට ඔවුන්ගෙ වාහනය නවත්තල තිබ්බ තැනකදි ඔහුට හමුවූ මේ ඉරි ලේන් පැටියා මියයන්න ආසන්න වෙලා වගෙයි ඉදල තියෙන්නෙ. මේ ලෙන් පැටිය ඌගේ අම්මගෙන් වෙන් වෙලා හිටිය හින්ද තමයි Paul Williams ඌට සාත්තු කරල තියෙන්නෙ. ඔහු උණුසුම රැදෙන විදියට ටිෂූ එකකින් ඔතල ඌව අසල ගසක තියල පහුවදා ඇවිත් බලල තියෙන්නේ උගෙ අම්ම ඇවිත් ඌව අරන් ගිහින්ද කියල. නමුත් පහුවදාත් තියල ගියපු විදියටම ඌ හිටිය හින්ද කණ්ඩායම විසින් තමන් සතු අධි තාක්ෂණික මෙවලම් භාවිතා කරල ඒ අසල තවත් ලේන්නු ඉන්නවද කියල සොයා බලල තියනව.

ඒත් ඔවුන්ට ඒ අවට වෙනත් ලේනුන් සොයාගන්න ලැබිල නැහැ. වෙනත් ලේන්නු ඒ අසල ප්‍රදේශයේ හිටියෙ නැති හින්ද මේ ඉරි ලේන් පැටියාට "රොබ්" කියල නමකුත් දාල ලේන් පැටියත් තමන්ගෙ කන්ඩායමට එක්කු කරගෙන තියනව. සිලින්ජරයකින් තමයි මේ ලේන් පැටියට කිරි පොවල තියෙන්නෙ.

ඉතින් මේ Paul Williams යන යන තැන දැන් ලෙනත් අරන් තමයි යන්නෙ. මේ වෙනකොට මාසයක්ම ඔහු පැටියට සාත්තු සප්පායම් කරල තියනව.  දැන් ලේන් පැටියා Paul Williamsගේ කෝප්පයේ, ලැප්ටොප් එකේ, සාක්කුවේ හැමතැනම සැපට නිදාගන්නව. ලෝ පුරා ජනමාධ්‍ය වල අවධානයට ලක් වෙච්ච මේ ලේන් පැටියා වෙනුවෙන් The world's cutest baby palm squirrel නමින් ෆේස්බුක් පිටුවකුත් මේ වෙනකොට ආරම්භ කරලයි තියෙන්නෙ

බලන්නකො මේ පුන්චි දගකාරයා කොහොමද කියල.