Sri Lanka

Saturday, November 16, 2013

අහිංසක සිනහවක් තුළ කොයිතරම් අපූරු මිනිසෙක් හැංගිලා ඉන්නට පුලුවන්ද


මම නිතරම කියනව දුම්රිය කියන්නෙ පුදුමාකාර අත්දැකීම් ලබාගන්න පුලුවන් තැනක් කියල. මම නිතරම දුම්රියෙන් ගමන් බිමන් යන නිසාම ගොඩක් අත්දැකීම් වලට මුහුන දෙනව. ඒ අතරින් ඉතින් දුම්රියට පැනල සියදිවි හානි කරගන්න ඒවනම් අනන්තයි. ගොඩ්ක්ම ඒව ආදර ප්‍රශ්න, පවුල් ආරවුල් වගේ ඒව තමයි. ඒව ගැන ලියනවනම් පොතක් උනත් ලියන්න බැරියැ. මේ ලගකදි අඹේ පුස්ස උමගය ළගදි වයසක කෙනෙක් අහු උනා. එයානම් ටිකක් සිහි කල්පනාව අඩු කෙනෙක් වගෙයි පෙනුනෙ. එහෙම හේතු හොයාගන්න බැරි ඒවත් තියනව. ඒත් මම මේ කියන්න යන්නෙ එහෙම සිද්දියක් ගැන නම් නෙමෙයි. මේක මම මුහුණ දුන්න තරමක් වෙනස් විදියක අත්දැකීමක් විදියට සදහන් කරන්න මම කැමතියි.
මේ සිද්ධිය සිද්ද වුනේ 2012 අවුරුද්දෙ එක්තරා ඉරිද දවසක. මම එදා උදේ පාන්දරම සරසවියේ දේශනයකට යමිනුයි හිටියෙ. මම ගමන් කරමින් හිටිය දුම්රිය දිගටම කොළඹටම යන්නෙ නැති හින්ද මට පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් වෙනත් දුම්රියකට මාරු වෙන්න සිද්ද වුනා. ඉතින් මම ඒ දුම්රියට ගොඩවෙලා ඉඩ තිබුණ තැනකින් වාඩි උනා. ටික වෙලාවක් ඉන්නකොට වයසක අම්ම කෙනෙකුයි ටිකක් අපහසුවෙන් ඇවිදපු තාත්ත කෙනෙකුයි දුම්රියට නැග්ග. මම ළග තව ඉඩ තිබ්බ හින්ද එහාට මෙහාට වෙලා මේ දෙන්නටත් ඉඩ දුන්න. මම ඉතින් මේයාල දැක්කම හිතුවෙ මෙයාල දෙන්න බේත් ගන්නවත් යනව වෙන්න ඇති කියල වැඩිය කතා බහ කරන්න ගියෙ නැහැ පොඩි නින්දක් දාන්න හැදුවෙ. එත් ටික දුරක් යනකොට ඒ අම්මම මගෙත් එක්ක කතාවට වැටුන.
ඒ කතාබහෙන් මම දැනගත්ත දේවල් වලින් පුදුමයෙන් පුදුමයට පත් වුනා. මට ලැජ්ජාවකුත් ඇති වුනා ඇයව දැක්කම මන් හිතුවදේ වැරදී කියල. මේ අම්ම මීට දශක කිහිපයකට කලින් ලංකාවෙ නාට්‍ය කලාවට සම්බන්ධවෙලා බොහොම දසකම් දක්වපු කලාකාරිණියක්. ඇය කලා විභූෂණ සම්මානයට නියම වෙලා ඒ සම්මානය ලබාගන්න ජොන්ද සිල්වා සමරු රගහලට යන ගමනෙදි තමයි මේ මට මුනගැහිල තියෙන්නෙ. ඇය ඒ සදහා ඇයට ලැබුන ඇරයුම් පතත් මට පෙන්නුවා. ඒ වගේම ඒ තාත්ත ගැනත් විස්තර කිවුව. ඔහු මීට අවුරුදු ගණනාවකට කලින් බටහිර වෛද්‍යවරයෙක්. දැන් ඉතින් වයසට ගිහින් ඇවිදගන්නත් අමාරුවෙන් ඉන්නෙ. ඒ අමාරුත් තියාගෙන ආවෙ ඇයි කියල මම අහද්දි ඇය කිවුවෙ "එයාට ඉතින් මම සම්මානෙ ගන්නව බලන්නම ඔන කිවුව. ඒ හින්ද අමාරුවෙන් හරි එක්ක ආව" කියල.
ඇයගෙ මේ වදන් මට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කලා. අපි කෙනෙක්ව දකින පමණින් එයා මොන වගේද කියන එක තීරණය කරන්න හොදනෑ. ඒ දෙය මන් බොහොම හොදට තේරුම් ගත්ත. අනිත් කාරණේ මේ දෙන්න අතර පුදුම සෙනෙහසක් තිබුණෙ. ඒක නොසැලෙන සෙනෙහසක්. ඒ ගැන මගෙ හිතේ ලොකු ගෞරවයක් ඇතිවුනේ. අනිත් කාරණය තමයි මේ තරම් වටිනා කලා කරුවන් මේ යන අතරමගදි කරදරයක් උනානම් ඒ සම්මානය දුන්නත් වැඩක් නැහැ. ඒ හින්ද ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ලබා දුන්නනම් කොයි තරම් වටිනවද. ඒ නිසා ඉදිරියේදීවත් මේ පිළිබදව බලධරයන්ගේ ඇස් ඇරේවා කිවල අපි ප්‍රාර්ථනා කරනව.