Sri Lanka

Sunday, November 17, 2013

රන් වන් තල මල පිපුනා දුටුවද..?


අපේ ගෙදර ඉස්සරහම ලස්සන තල මලක් පිපිල තියනව. මේක දැක්කම මතක් උනේ කල ගස ගැන තල මල ගැන කොච්චර ලස්සන දේවල් කියන්න තියනවද. අපේ සාහිත්‍යෙයත් තල මල ගැන කතා කරල තියනවනෙ. මේ ගැන මම දැනන් හිටිය විස්තර වගේම මම සිළුමිණ පත්තරෙන් උපුට ගත්ත කොටස් එක්කරල මේ ලිපිය ලිවුවෙ මේ ගැන දන්න නොදන්න හැමෝටම දැනගන්න.
අප රටේ ගම්බද ප්‍රදේශවල වැවෙන තල ගස සහ තල මල පිළිබඳ ගෙතුණු ජන සාහිත්‍යයක් පුරාණයේ සිටම පැවත එන බව අපි දනිමු. ඒ තරමටම තල ගස අසිරිමත් නිර්මාණයකි. එහි විශාල වූ හා උස් වූ කඳ, විශාල පත්‍ර, ගස වර්ධනය වී අවසානයේ එහි විනාශය උදා කරවමින් පිපෙන අලංකාර තලමල සුවිශේෂී දර්ශනයන්ය.
තල ගස සහ තල මල අරභයා ගෙතුණු පේනකවි ප්‍රමාණය ද මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. එක් ජන කවියකු තල මල දුටුවේ මෙලෙසිනි.

අහස උසැති උස පමණෙකි තල මල කි
මුහුද කිරුළ දිය පිට යන තල ගොයෙ කි
දේස දේසවල තියෙනා සත් නමෙ කි
මෙවැනි අවතාර අම්මේ තල මල කි
තල මලක් පිපීම චමත්කාරජනක දසුනක් වුවත් ගැමියා, එදෙස බලන්නේ වෙනත් හැඟීමකිනි. තල මල තල ගසේ අවසානය හෙවත් විනාශය උදාකරවයි. එබැවින් තලමල සෞභාග්‍යයේ සංකේතයක් නොව ගමක් පාළු වී යා හැකි බවට කෙරෙන ඉඟියක් සේ ගැමියෝ සිතති. ගමක එකවර තලමල් හතක් පිපුණේ නම් ඒ ගමට ඉතාමත් අපලකාරී, විනාශකාරී අත්දැකීම්වලට මුහුණ පානන්නට සිදුවෙතැයි ගැමියන්ගේ සිත්හී උපදින්නේ කනස්සල්ලකි.
විදේශිකයන් අප රටේ දී දක්නට ලැබෙන මෙම දුලබ දසුන් විවිධාකාරයෙන් වර්ණනා කිරීමට උත්සාහ කොට ඇත. දොස්තර ජෝන් ඩේව් ඩේව් දුටු ලංකාවනමැති කෘතියේ ලා තල මල පිළිබඳ මෙසේ සටහන් කරයි.
තාල වර්ගයේ විශාලතම වෘක්‍ෂය වන මීට අඩි විස්සක්, තිහක් වට අවාන් හැඩයෙන් යුත් කොළ ඇත්තේය. එක් වරක් පමණක් පිපෙන එහි මල කේතුරූපාකාර කැනකි. කලාතුරකින් අඩි 30 ක් උස්ය.
තල ගස නිතර නිතර දක්නට ලැබුණි. මල් පිපුණු තල ගසක් ද අපි දුටිමු. මේ උත්තුංග තාල වෘක්‍ෂය කල්පිත කතා බොහෝ ගණනකට විෂයය වෙයි. එයට වනරාජයයි කියන ලදී. එහෙත් පොල් ගස මෙන් මෙය ද කිසි විටෙක වනගතව දක්නට නොලැබෙයි.
මෙහි මල් කොපුව ඝෝෂා සහිත පිපිරීමකින් යුක්තව වහා ඉහිරේ යයි කියති. එහෙත් එය ක්‍රමයෙන් සහ සෙමින් විහිදෙයි. මල හටගත් විට කොළ එල්ලී වැටී මැරේ යයි කියති. එසේ වුවද මේ කොළ, ගෙඩි තරමක් පැසෙන තුරු ප්‍රබෝධවත්ව, ඍජුව සහ ශක්තිමත්ව තිබී එල්ලී වැටෙන්නේ ගසේ විනාශයට පළමු පමණි. ගෙඩි පැසුණු නොබෝ කලකින් ගස මැරෙයි. මේ මලේ දුර්ගන්ධය පවා අතිශයෝක්තියෙන් දක්වා තිබේ.
හෙන්රි චාල්ස් 1850 දී රචිත සිලෝන් ඇන්ඩ් ද සිංගලීස්” (ප්‍රේමචන්ද්‍ර අල්විස්ලංකාව සහ සිංහලයෝනමින් සිංහලට පරිවර්තනය කොට ඇත.) කෘතියේ තලමල පිළිබඳ මෙසේ සඳහන් කොට ඇත.
සුවිසල් තල ගස සංචාරකයන්ගේ අවධානය ඇද ගැනීමෙහිලා අන් සියලු තුරුලතාවලට වඩා සමත්ය. ශාක රාජධානියේ අන් සියල්ලන් අභිබවා උත්තුංගව නැඟී සිටින මේ තාල වෘක්‍ෂයේ ස්වභාවික අලංකාරය ඇති සැටියෙන් දක්වනු පිණිස ප්‍රමාණවත් වදන් සපයා ගැනීම දුෂ්කර කාර්යයකි. ඇතැම් ලේඛකයන් මෙහි උද්භිද විද්‍යාත්මක නාමය කොරිෆා අම්බුක්‍යුලිෆරා යනුවෙන් දක්වන අතර ඇතැම් කතුවරයෙකු එය ලිකුවාලා ස්පිනෝසා යයි සඳහන් කර ඇත.
අඩි හැත්තෑවේ සිට සියය දක්වා එකිනෙකින් වෙනස් වන විවිධ උස ප්‍රමාණයෙන් යුත් තල ගස් දක්නට ලැබේ. තල අත්තක් එය වැඩී තිබෙන රුක් කඳේ සිට අත්තේ අග දක්වා දිගින් අඩි විසි හතරක් පමණ වන අතර තාල පත්‍රයේ පළල අඩි දොළසේ සිට සතළොස දක්වා විවිධ වෙයි.
ස්වදේශිකයෝ එය ගිමන් නිවීමට පවන් සලන අවන් පත් වශයෙන් මෙන්ම අව්වෙන් වැස්සෙන් වැළකෙන කුඩ වශයෙන් ද ප්‍රයෝජනයට ගනිති. සිංහල රජවරුන් යටතේ තල අතු ඉසලෑමේ වරම් ලද්දෝ කුලීනයෝම පමණකි. ගසේ මුදුනෙන් හාත්පස විහිදෙන පුළුල් ශාක මණ්ඩලය තුළ කඳෙහි හට ගන්නා මල් බෙහෙවින් මළානික කහ පැහැයක් ගන්නේය. තුන් මසක පමණ කාල පරාසයක එළිදකින මේ මල අන්තිමේදී පල හට ගන්නමින් කෙමෙන් අතුරුදන් වෙයි.
තල ගස පිළිබඳ විදෙස් ලේඛකයකු ලියූ තවත් සටහනක් මෙපරිදිය.
ගසේ මුල වටප්‍රමාණය අඩි නවයක් පමණ වේ. තල ගසක් අවුරුදු සියයට වැඩි කාලයක් නොපවතින්නේ යයි මෙහි වැසියෝ තරයේ විශ්වාස කරති. තල ගස පීදී මලක් හට ගත් තැන් පටන් ගස මැරී යන්නට පටන් ගනී. තල මල ඉතා විශාලය. අතිශය දීප්තිමත් කහ පැහැයෙන් යුක්තය. කොපුවක් තුළ හට ගනී. නිසි පමණට මුහුකුරා ගිය පසු හඬක් නඟා කොපුව පුපුරුවාගෙන මල පිපෙයි. තුන් මසක පමණ කාලයක් එය පර නොවී පවතී.
තල පත අවානක් මෙන් හැකිළිය හැකි ආකාරයෙන් නිර්මාණය වී තිබේ. වියැළුණු තල අත්ත අව්වෙන් වැස්සෙන් වැළකීම සඳහා ඉසලාගෙන ගමන් බිමන් යෑම මෙහි ඇතැමුන්ගේ පුරුද්දකි. තල අතු ගෙවල පියසි සෙවිලි කිරීමට යොදා ගැනෙන අතර තල ගොබයෙන් පුස්කොළ නම් තීරු සකස් කර ගනු ලැබේ. ධර්මය හෝ වෙනත් දේ ලිවීම සඳහා යොදා ගැනෙන එම තීරු එක්කොට පුස්කොළ පොත් නිර්මාණය කිරීම මෙහි බෞද්ධ භික්‍ෂුන් වහන්සේ අතින් බොහෝ විට සිදුවන්නකි.
තල ගසේ තවත් ප්‍රයෝජන බොහොමයක් ඇත. තලගොබ වල ඇති කූරු ඉවත් කර තම්බා ගැනීමෙන් මාගල් විවීම සදහා යොදා ගනී. මාගල් යනු තල කොල වලින් වියන ලද ශක්තිමත් පැදුරකි. ගැමි කාන්තාවන් තම්බන ලද වී වේලීම සදහා බොහෝවිට මේ මාගල් භාවිතා කරයි. ඒ වායේ තවත් බොහෝ ප්‍රයෝජන ඇත. 
එමෙන්ම තල ගසේ කදෙහි ඇති පිටි ඉතාමක් හොද ආහාරයකි. තල් ගසේ කදෙහි ඇති සුදුපාට අරටුව වැනි කොටස කුඩා කෑලි වලට කපා වංගෙඩියක දමා ඉතා සියුම් කුඩා කැබලි වන තුරු කොටා ගනී. පසුව මෙම කැබලි රෙදි කැබැල්ලක බැද පොට්ටනියක් සේ සදා ජල බදුනක දමා කැලතීමෙන් ජල බදුන පතුලට තල පිටි එක් කර ගත හැකිය. මෙලෙස එක් කර ගන්නා පිටි වේලා ගත් පසු තිරිගු පිටි මෙනි. වි‍‍‍‍ශේෂයෙන්ම මේ පිටි වලින් පළියෙල කරනු ලබන්නෙ තලප ය. පොල් කිරි සමග මේ පිටි එක්කර හැදි ගෑමෙන් දොදොල් හා සමාන තලප සාදා ගනී. ඒවා පොල් කිරි සහ සීනි සමග මුසු කර ගත විට ඇගට සීත ආහාරයකි. ඒ වගේම කුසගිනි නිවන ආහාරයකි. තවද රොටීද පිළියෙල කල හැකිය. දුප්පත් ගැමියන් බත් වෙනුවට මේ තල පිටි ප්‍රයෝජනයට ගනී. 
තල ගසෙන් ලබන යල ප්‍රයෝජන පිළිබඳ එක්තරා ගැමියෙකු ජන කවියක් ගොතා ඇත්තේ මෙලෙසි.
 
තල අතු කප්පරා හිරි අතු වේලා වෙහෙර මුවාවෙන් තිබ්බා නම්
බණපොත් ලියවා බරපැන් ඇරලා බුදුන්ට පූජා කෙරුවා නම්
කොළඹට ඇරලා සුදු පිළි ගෙන්වා තුන්මාලේ මඟ එළුවා නම්
මිනුවන් ගමුවේ සුරුවන් තලමල වෙහෙරට කිට්ටුව පිපුණා නම්