Sri Lanka

Saturday, November 9, 2013

සොදුරිය කාලය කොතරම් නපුරුද


අපි ඔහුට සමන් කියමු. බොහොම උත්සාහ වන්ත තරුණයෙක්. ඔහුගෙ දුප්පත් අම්මයි තාත්තයි ඔහුව ජීවත් කරවන්න බොහොම දුක් විදිනව. හරියට ඇදුවක් පැළදුමක් ඇන්දෙ නැතත් ඔහු ගමේ කා අතරත් හොද ජනප්‍රිය චරිතයක්. ගමේ වැඩක් කෙරෙනවනම් ඔහු අනිවා එතන ඇති. ඔහු පාසල් ඇරිල ආවම පොල්කටු එකතු කරල පුච්චනව. ඒ අගුරු විකුණලා කීයක් හරි හොයාගන්න. කජු කාලෙට කජු ඇහිදල විකුණනව. අම්ම තාත්තට සල්ලි තිබුණෙ නැ කියල නෑ ඔහුත් ගොඩක් දුක් මහන්සි වෙනව ජීවතේ ගෙනියන්න.
ඔහොම යද්දි ඔහුගෙ උසස්පෙළ සමය ඇරඹුනා. කාලය හෙමීට ගෙවිල යද්දි ඔහුත් දැන් යෞවනයෙක්. ඒ අතරෙම තමයි ඔහුගෙ හිතටත් ආදරය ඇතුල් වෙන්න පටන් ගත්තෙ. ඇය නිමේෂා. බොහොම ලස්සන තරුණියක්. ඔහු දිවි හිමියෙන් ඇයට ආදරය කලා. පාසල් සමය ගෙවුනෙ ඔවුන්ගෙ ආදරයත් එක්කමයි.
අගහිග කම් තිබුණට ඔවුන්ගෙ ආදරයට නම් ඒව දැනුනෙවත් නෑ. ඒතරම් සුන්දර විදියට ඔවුන්ගෙ කාලය ගෙවුනෙ.

පාසල් කාලය නිමා වෙලා අවුරුදු කිහිපයකින් ඔවුන් විවාහ වෙනව. ඒ දෙමව්පියන්ට ඒක එච්චර ගැටලුවක් උනේ නැති හින්ද. නමුත් ඔහුට රැකියාවක් නම් තිබුනෙ නෑ. ඔවුන් විවාහ වෙලා අවුරුද්දක් විතර   සතුටින් හිටිය. ඒත් ඔවුන්ටත් නොදැනීම අගහිග කම් ගෙදරට එන්න පටන් ගත්ත. මේ දෙවල් විදගන්න බැරි හින්දයි සමන් තීරණය කරන්නෙ රට රැකියාවකට යන්න.

අවසානෙදි ඔහු රට යනව එතෙර ඉසුරු හොයන් ඇවිත් ඔවුන්ගෙ අනාගතේ ලස්සන කරගන්න. ඒත් ඒ ගමනම ඔහුගෙ ජීවිතය තීරණය කරන සාධකය වෙයි කියල ඔහු කවමදාකවත් හිතන්න නැතුව ඇති.
කාලය ටික ටික ගෙවෙද්දි නිමේෂා ටික ටික වෙ‍නස් වෙන්න ගන්නව. කාලයත් එක්ක ඔහු නැති අඩුව දැනෙන්න දැනෙන්න ඇය වෙනත් කෙනෙකුගෙ ඇසුර හොයන්න ගත්ත. ඔහුට ඒ වෙනස දැනුනෙ නැති උනාට ඇය වෙනුවෙන් දුක් විදින්න ගිය ඔහුව අමතක කරල නිමේෂා වෙනත් හාදයෙක් එක්ක හොර රහසෙම තමන්ගෙ ආදරෙ කරගෙන යනව. පස්සෙ යාලුවන්ගෙ මරේගයෙන් සමන්ට මේ කතාව ආරංචි වෙනව. ඒ වෙනකොටත් ඇය තමන්ගෙ පෙම්වතත් එක්ක පැනල ගිහින්. මේක දැනගත්තම ඔහුගෙ හිත හඩා වැටෙනව. තමන් දිවිහිමියෙන් ආදරය කරපු පෙම්වතිය තමන්ව දාල ගිහින් කියල. තමන් ඇය ලග නැතුව ගෙවුනු කාලය තමන්ටම කොයි තරම් නපුරු වෙලාද කියල.

ඔවුන්ගෙ කතාව තමයි මේ ගීතයනේ කියවෙන්නෙත්. සොදුරිය කාලය කෙතරම් නපුරුද?

සොදුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොදුරිය

පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැදි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොදුරිය

ලොවට හොරා විළි ලා බිහි කරගත් 
වසන්තයේ සද මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය

මේ ගීතය ගැන අපි හිතුවොත්, මේ ගීතයේ කියන තරුණයාගෙ හිතේ තියන දුක අපිට වචන වලින් කියල නිමකරන්න බැහැ. ඔහු පුදුමාකාර විදියට දුක් වෙනව. ඔහුට දැනෙන්නෙ ඔහුගෙ ජීවිතය මෙතැන් පටන් නතර වෙලා වගේ. ඉර පායන එක ඔහුට පේන්නෙ දැන් නතර වෙලා වගේ. ඔහුගෙ ජීවිතයෙම දැන් ඇත්තෙ අදුර පමණයි. ඒ විතරක් නෙමෙයි වලාකුළු නැවතිලා වගෙයි, සුළං හමන්නෙ නැතුවා වගෙයි, මල් පිපෙන්නෙ නෑ වගෙයි, පිපුනත් ඒවගෙ සුවද විහිදෙන්නෙ නෑ වගෙයි, මී මැස්සො ඒ මල් වලින් රොන් ගන්න ඒනෙ නෑ වගෙයි ඔහුට දැනෙන්නෙ. ඒව ඒ විදියටම නැවතිලා නම් කාලයත් මොහොතකට හරි නතර 
වෙන්න ඕනමයි.

මේ සේරටම හේතුව ඇයයි. ඔහුගෙ ප්‍රේම විජිතයෙ ඔහුව තනි කරල දාල ගිය ඇයමයි. ගෙවෙන හැම තත්පරයකම ඔහු හිතන්නෙ ඇය ගැනයි. ඇයගෙ ආදරේ වෙනුවෙන් ඔහු කොයි තරම් පෙරුම් පුරන්න ඇත්ද. කොයි තරම් නම් කැපකරීම් කරන්න ඇත්ද. ඔහුත් එක්ක දුක සැප බෙදා ගන්න උන්න පෙම්වතිය අද ඔහු හැර ගිහින්. ඒ දුකෙන්ම ඔහු කම්පා වෙනව. නමුත් ඔහු පුදුමාකාර පෙම්වතෙක්. ඔහු එකදු මොහොතක්වත් තමන්ගෙ පෙම්වතියට දොස් තියන්නෙ නෑ. ඔහු දොස් තියන්නෙ කාලයට. කාලය තමයි ඔවුන්ට නපුරු වෙලා තියෙන්නෙ. ඔහු කියන විදියට කාලය ඔවුන්ට මේ විදියට නපුරුකම් කලේ නැත්තන් තවමත් ඔවුන් පෙම්වතුන්.