Sri Lanka

Tuesday, January 28, 2014

මා හදවත සොරකම් කළ සොර දෙටුවා නුඹ



විභාග කටයුතුත් එක්ක ගොඩක් කාර්ය බහුල වෙලා හිටිය හන්ද අලුතින් යමක් ලියන්න තරම් කාලයක් තිබුණෙ නැහැ. ඒත් දැන් පොඩි නිවාඩුවක් හම්බ උන හන්ද ආයෙම ලියන්න එන්න හිතුන. කොහොම උනත් හැමදාමත් අපිත් එක්ක රැදිල ඉන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි. මාව හැමදාම ලියන්න දිරි ගන්වන ඔයාටත් ගොඩක් ස්තූතියි. 

පෙරාදෙණිය සරසවිය කියන්නෙ බොහොමයක් අපූරු ආදර කතා වලට මුල් වුන තැනක්. බොහොමයක් ගීතත් නිර්මාණය වෙලා තියනව මේ සිදුවීම් මුල් කරගෙන. අපි අද කියන්න යන්නෙත් එහෙම සිද්ධවුන අපූරු කතාවක් තමයි. 

අපේ කතාවෙ කතා නායිකාව හිමාලි. එයා ගොඩක් අහිංසක කෙනෙක්. ඒ වගේම ගොඩක් ලස්සනයි. අනික් ගැහැණු ළමයි වගේ සංකර ගති පැවතුම් එයා තුළ තිබ්බෙ නැහැ. බොහොම චාම් විදියට තමයි ඇන්දෙ පැලැද්දෙ උනත්. එයා සරසවියට ඇවිත් මුල් අවුරුද්ද ඉතාමත් හොදින් අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. එයා තුළ තිබුණු මේ අහින්සක ගත් වගේම අපූරු සුන්දරත්වය නිසා ගොඩක් දෙනෙක් එයාගෙ ආදරේ පතාගෙන පතාගෙන ආවත් ඒ කිසිම නෙකුට එයාගෙ හදවත නම් දිනා ගන්න බැරි උනා. 

ඒත් දෙවෙනි අවුරුද්ද වෙනකොටනම් එක්කෙනෙක් මේ සටන දිනුව. එයාට පුලුවන් උනා හිමාලිගෙ හදවත සොරකම් කරගන්න. ඔහුගෙ නම රුවන්. හිමාලි ලේසියෙන් කෙනෙකුට හදවත් දුන්නෙ නැති උනාට ඒ හදවත සොරකම් කරගත්ත කෙනාට නම් අසීමිත විදියට ආදරේ කලා. අර කතාවටත් කියනවනෙ පිරිමියෙකුට ආදරේ කියන්නෙ ජීවිතේ තවත් එක් කොටසක් විතරයි ඒ ගැහැනියකට ආදරේ කියන්නෙ එයාගෙ මුළු ජීවිතේම කියල. ඇයටත් එ කියමන ඒ විදියටම සාධාරණ වුනා. ඇයටත් මුළු ජීවිතේම වුනේ ඔහු තමයි.

ඇයට කොහෙත්ම ඕන උනේ නෑ තමන්ගෙ ආදරෙන් පැරදෙන්න. ඇය ගොඩක් බයයි ඔහු වෙනත් කෙනෙක් එක්ක පැටලෙයි කියල. ඇය පොඩ්ඩක්වත් කැමති නැහැ ඔහු වෙනත් කෙනෙක් එක්ක ඕනවට වඩා හිතවත් වෙනවට. ඒ හිඔන්දම ඇය ඔහුගෙ පස්සෙන් නිතරම හිටිය. ඇයට ඒක තවත් ලේසි උනේ ඔහුත් ඇයගේ විෂයන්ම හදාරපු එක. ඇය දේශනයකට ගියත් පුස්තකාලයට ගියත් ඒ හැම තැනකම ඉදිකට්ට පස්සෙන් නූල යනව වගේ ඔහු පස්සෙන්ම ඇය හිටිය. මොකද ඒ තරමටම ඇය ඔහුට ආදරේ කලා. ඒ තරමටමට ඇයට ඔහුව වටිනව. 

ඇයගේ මේ හැසිරීම දැක්කම යාලුවෝ ඇයට විහිලු කලා. ඇයට කට්ටිය කිවුවෙ රුවන්ගෙ පෙන්ද කියල. ඇයට මේ වැඩේ ගැන කියල කට්ටිය බිත්ති පුවත් පතේ මේ කවිය දැම්ම ඇයට පෙන්නත් එක්කම.

මා හදවත සොරකම් කළ සොර දෙටුවා නුඹ
නුඹ දගගෙයි ලන තුරු ඉවසුම් නැතුවා මට
අන් අගනුන් දෙස බලනා නුබේ දෑස් බැද
හතර අතේ ඇවිදින පය විලංගුලමි මම
ආයෙත් වෙන හදවතකට කවි ලියන්න පෙර
දෑතම ගැට ගසා හනික ගෙනයම් දග ගෙට

මේ කතාවත් මේ කවියත් තමන්ගෙ හිතවත් ශිෂ්‍යයන්ගෙන් දැනගත්ත ධම්මික බංඩාරයන් ඒ පද ටිකත් තව අලුතින් කොටසකුත් එකතු කරල මේ අපූරු ගීතය නිර්මාණය කලා. අපි කවුරුත් ආදාර් කල නිල්කැට වැස්ස කැසට් පටයෙ තමයි මේ ගීතය ඇතුලත් වෙන්නෙ.

මා හදවත සොරකම් කළ සොර දෙටුවා නුඹ
නුඹ දගගෙයි ලන තුරු ඉවසුම් නැතුවා මට
ඉවසුම් නැතුවා මට...........

අන් අගනුන් දෙස බලනා නුබේ දෑස් බැද
හතර අතේ ඇවිදින පය විලංගුලමි මම
ආයෙත් වෙන හදවතකට කවි ලියන්න පෙර
දෑතම ගැට ගසා හනික ගෙනයමි දග ගෙට..........

දග ගෙයි දොරගුළු දමලා පයලා දඩු කද
ඒ තුළ සුර විමානයක් හදන්න අවසර
උවා පියා මුව මී කිස දී රස ආහර
රැකගන්නම් යන්න එපා මේ දගගෙයි හැර...........

ගායනය            - ශශිකා නිසංසලා
පද                    - ධම්මික බංඩාර
සංගීතය            - විශාරද ඩෙනිස්ටර් පෙරේරා

මෙතනින් ගිහින් වීඩියොව බලන්න



Friday, January 10, 2014

බල්ලන් බළලුන් පමණක් තනිවට සිටින ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය


කාර්ය බහුලත්වයත් එක්ක අලුත් යමක් ලියන්න බැරි උනත් අහම්බෙන් වගේ මේ ලිපිය දැක්කෙ හිරු වෙබ් අඩවියෙන්. තවත් නිව්ස් එකක් නියන්න නම් නෙමෙයි මේකෙන් බලාපොරොත්තුවෙන්නෙ. කාගෙත් හදවතට දැනෙන යමක් අපේ යාලුවෝ එක්ක බෙදාගන්නයි උවමනාව. ඉතින් අපි මේ ලිපිය හිරු එෆ් එම් අඩවියෙන් උපුට ගත්තෙ අපි හැමෝම වෙනුවෙන්.

රජෙක් වුණත් අසරණ වුණාම කාගේ හෝ පිළිසරණක් අවශ්‍ය වෙනවා. කොළඹ හතේ ඉපිද හැදී වැඩී අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වූ ඇය අද කාත් කවුරුත් නැතිව ඉතාම අසරණව සිටිනවා. මේ කතාව නිවුන මනසකින් නිවාඩු පාඩුවේ කියවන්න. ඇතැම්විට ඔබ එය විශ්වාස නොකරාවි.

ලඳු කැලෑවකින් වටවුණු මහවැලි අධිකාරියට අයත් ගරා වැටුන පාළු ගොඩනැගිල්ලක ඇය බල්ලන් බළලුන් සමග ජීවත් වනවා. දෙහිඅත්තකණ්ඩියේ සිට අරලගංවිල පාරේ කි.මී. 12ක් පමණ ගිය විට කජුවත්ත වැව පසු කර මීටර් 500 පමණ ඉදිරියට ගිය විට හමුවන කජුවත්තේ මහවැලි අධිකාරියේ කොට්ඨාස කාර්යාලය පවත්වා ගෙන ගිය ගොඩනැගිල්‍ලේ ඇය අන්ත අසරණව කාලය ගත කරනවා.

ඇය ළමා රෝග විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ගුණවර්ධන මහත්මියයි. මෙම වෛද්‍යවරිය මුල්ම පත්වීම ලබා ඇත්තේ කොළඹ ජාතික රෝහලටය. දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් වෙඩි වැදී රෝහල් ගත කළ අවස්ථාවේ මුලින්ම ප්‍රතිකාර කර ඇත්තේ ඇයයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මෙම වෛද්‍යවරියගේ සමකාලීනයන්ය. කොළඹ ජාතික රෝහ‍ලේ සේවය කළ ඇය කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරියක ලෙස සේවය කර ළමා රෝග විශේෂඥවරියක් වී 1985 වර්ෂයේ මහවැලි අධිකාරියට සම්බන්ධ වී ඇත.

මහවැලි C සහ D කලාපවල ගමින් ගමට ගෙන් ගෙට ගොස් ඇය රෝගීන් සොය සොයා ප්‍රතිකාර කළාය. වෛද්‍යවරියක් ලෙස වසර 35කට වඩා වැඩි කාලයක් සේවය කර ඇතත් කිසිම දිනක මුදලට ප්‍රතිකාර කර නැති බව ඇය පවසනවා. ඇය දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් සමග විවාහ වී ඇත. විවාහයෙන් ඇයට දරුවන් නැත. ඇය දරුවන් අරන් හදා ගත්තාය. ඔහු දැනට විදේශ රටක පදිංචිව සිටිනවා. ඇයගේ සහෝදරිය සහ අනිකුත් ඥාතීන් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව මෙම වෛද්‍යවරිය පවසනවා. විවාහයෙන් පසු විනීතා රංජනී ප්‍රනාන්දු නමින් ඇය පෙනී සිටියාය.

මනුෂ්‍යයකුට ජීවත් වීමට අවශ්‍ය කිසිම පහසුකමක් ද කාන්තාවකට අවශ්‍ය ආරක්ෂාව ද නොමැතිව ඇය ගෙවන මේ කටුක ජීවිතය ගැන ඇයට ඇත්තේ දුකක් වේදනාවක් නොව පසුතැවිල්ලකි. ඇය පණසේ ආදරය කරන බල්ලන් 8 දෙනෙකි. බළලුන් 10 දෙනෙකි. ඇයට මෙම සත්තුන්ගෙන් තොර ලෝකයක් නැත. මෙම සතුන් භාර ගැනීමට කවුරුවත් ඉදිරිපත් වෙනවා නම් එම සතුන් භාර දීමට ද ඇය සූදානමින් සිටියි.

දැනට ඇයගේ එක ඇසක් පෙනෙන්නේ නැත. සතුන් ටික කාට හෝ භාරදී ඇසට ප්‍රතිකාර ගැනීමට ඇය කැමැතිය. මෙම වෛද්‍යවරිය ඇයට ලැබෙන විශ්‍රාම වැටුපෙන් ඇයගේ සුරතලුන් ‍පෝෂණය කරයි. නමුත් ඇය කෑම බිම නැතිව වැහැරී ගොස්ය. ඇයට අඳින්නට ඇඳුමක් හෝ හරියට කන්නට දෙයක් නැත. එක ඇසක පෙනුමේ දුබලතාව හැරුනාම වෙනත් කිසිම රෝගාබධයක් නැත. ඇයගේ ඇහැට අවශ්‍ය ප්‍රතිකාර ගෙන ප්‍රදේශයේ කුඩා දරුවන්ට නොමි‍ලේ ඉංග්‍රීසි ඉගැන්වීමට ඇත්නම් යන්න ඇයගේ එකම සිහිනයයි.

සුරංගනා කතාවක් බදු එම වියපත්වූ විශේෂඥ වෛද්‍යවරියගේ කතාවෙන් අපට කියාදෙන පාඩම් අපමණය. එමෙන්ම සමාජයක් ලෙස මෙන්ම මනුෂ්‍යයන් ලෙස අද අපි සිටින්නේ කොතැනකද යන්න පිළිබදව මිනිසුන් ලෙස මෙන්ම, උසස් ජාතියකැයි පාරම්බාන ලාංකිකයින් ලෙස කළකිරීමට පත්කරන මෙවැනි පුවත් ගැන බළධාරීන් සිය ලැජ්ජාව කුමකින් හෝ වසාගත යුතුය. විවේකාගාරවලටත්, බෙහෙත් පෙත්තටත් වර්ජනය කරනා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගම්, හෙද සංගම් ගැන අප යමක් කියනවාට වඩා පාඨක ඔබම අදහස් දැක්වීම ඔවුන්ගේ මව්දෙමව්පියන්ට යහපත් වනු ඇත.

Friday, January 3, 2014

දෙසැම්බර් 31 අශිර්වාද පූජාව



31 රෑට හැමෝම බොන්න සෙට් වෙද්දි අපිනම් කලේ ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්. අරක්කු ටිකක් බීල හාමෝටම වදයක් වෙනවට වඩා මේ දෙය කරන එක හොදයි කියල අපි හැමදෙනාම විශ්වාස කළා. අපි අපෙත් ඔබෙත් හැමදෙනාගෙමත් යහපත වෙනුවෙන් අපේ වන්නියට අධිපති අයියනායක දෙවියන්ගෙන් නව වසරට පිහිට ආරක්ෂාව පැතුව. විශේෂිත වූ අයියනායක සහ කඩවර දෙවිවරුන්ට පළතුරු පූජාවක් තියල ඔවුන් ආශිර්වාදය අපි හැමදෙනාටම දෙන්න කියල තමයි අපි ප්‍රාර්ථානා කළේ.

අපේ ගමේ ප්‍රධාන වැව හදුන්වන්නෙ පාලුගම වැව කියල. මේ වැවි අද්දර තමයි ගමේ බුදු මැදුර සහ අයියනායක දේවාලය පිහිටලා තියෙන්නෙ. ඉතින් බුවනෙකබා අපි සහ අපේ ප්‍රදේශවාසීන් සියලුම දෙනා එකතුවෙලා තමයි වැව් අද්දර ඉදන් මේ විශේෂ බුද්ධ පූජාව සහ පළතුරු පූජාව සංවිධානය කලේ. 

අයියනායක දෙවියන් සහ කඩවර දෙවියන් කියල කියන්නෙ බොහොම බලගතු දෙවිවරු දෙපලක්. වන්නියේ අයනම් මේ දෙවිවරු හදුන්වන්නෙ අයියනායක මුත්ත සහ කඩවර මුත්ත කියල. හැබැයි ඉතින් විශේෂෙන්ම කියන්න ඔන මේ දෙවිවරු දෙපලම සමහර දෙවිවරු වගේ මිනිස්සුන්ගෙවත් සත්තුන්ගෙවත් ලේ පිපාසාවෙන් පෙ පෙලෙන අයනම් නෙමෙයි. ඒකයි අපි මේ අයට මේ තරම් ගරු කරන්නෙ.  මේ දෙවි වරුන්ගෙ උපත පිළිබදවත් බොහොම රසවත් කතා තියනව. අපි ඒව පසුවට කියන්නම්.

ප්‍රදේශයේ බොහොම දක්ෂ උඩැක්කි වාදන ශිල්පීන් 4 දෙනෙක් සහ ප්‍රධාන කපු මහතා තමයි මේ කටයුත්ත කලේ. ඉතාමත් කලාතුරකින් අහන්නට ලැබෙන උඩැක්කි කවි විශාල ප්‍රමාණයක් ඔවුන් විසින් මේ දෙවි වරු වෙනුවෙන් වාදනය වුනා. අපේ ගිලිහී යන සම්ප්‍රදායික පූජාවන් නැවතත් අපිට සිහිකරමින් බොහොම අපූරුවට මොවුන් මේ වැඩය සිද්ධ කලා. අඩ අදුරෙ අපේ මාධ්‍ය අංශයේ හේමාල් සහෝදරය සහ මලිදු සහෝදරය ඉතාමත් අමරුවෙන් ලබා ගත්ත ඡායාරූප කිහිපයක් සහ වීඩියේ දර්ශන කිහිපයක් අපිට ගෙනත් දුන්න. පහත තියන ලින්ක් වලින් ගිහින් ඒවත් බලන්න. මේ කටයුත්තට මහත් කැපවීමෙන් කටයුතු කරපු ජනිත අයිය, රංජිත් සර්, ධර්මෙ අයිය, ටී.බී අයිය ඇතුළු කණ්ඩායමට අපගේ ගෞරවනීය ස්තූතිය.
  
 


 
 







අයියනායක දේව ප්‍රතිමාව

කඩවර දෙවි යහන



කඩවර දේව යාතිකාව

අයියනායක දේව යාතිකාව