Sri Lanka

Friday, January 10, 2014

බල්ලන් බළලුන් පමණක් තනිවට සිටින ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය


කාර්ය බහුලත්වයත් එක්ක අලුත් යමක් ලියන්න බැරි උනත් අහම්බෙන් වගේ මේ ලිපිය දැක්කෙ හිරු වෙබ් අඩවියෙන්. තවත් නිව්ස් එකක් නියන්න නම් නෙමෙයි මේකෙන් බලාපොරොත්තුවෙන්නෙ. කාගෙත් හදවතට දැනෙන යමක් අපේ යාලුවෝ එක්ක බෙදාගන්නයි උවමනාව. ඉතින් අපි මේ ලිපිය හිරු එෆ් එම් අඩවියෙන් උපුට ගත්තෙ අපි හැමෝම වෙනුවෙන්.

රජෙක් වුණත් අසරණ වුණාම කාගේ හෝ පිළිසරණක් අවශ්‍ය වෙනවා. කොළඹ හතේ ඉපිද හැදී වැඩී අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වූ ඇය අද කාත් කවුරුත් නැතිව ඉතාම අසරණව සිටිනවා. මේ කතාව නිවුන මනසකින් නිවාඩු පාඩුවේ කියවන්න. ඇතැම්විට ඔබ එය විශ්වාස නොකරාවි.

ලඳු කැලෑවකින් වටවුණු මහවැලි අධිකාරියට අයත් ගරා වැටුන පාළු ගොඩනැගිල්ලක ඇය බල්ලන් බළලුන් සමග ජීවත් වනවා. දෙහිඅත්තකණ්ඩියේ සිට අරලගංවිල පාරේ කි.මී. 12ක් පමණ ගිය විට කජුවත්ත වැව පසු කර මීටර් 500 පමණ ඉදිරියට ගිය විට හමුවන කජුවත්තේ මහවැලි අධිකාරියේ කොට්ඨාස කාර්යාලය පවත්වා ගෙන ගිය ගොඩනැගිල්‍ලේ ඇය අන්ත අසරණව කාලය ගත කරනවා.

ඇය ළමා රෝග විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ගුණවර්ධන මහත්මියයි. මෙම වෛද්‍යවරිය මුල්ම පත්වීම ලබා ඇත්තේ කොළඹ ජාතික රෝහලටය. දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් වෙඩි වැදී රෝහල් ගත කළ අවස්ථාවේ මුලින්ම ප්‍රතිකාර කර ඇත්තේ ඇයයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මෙම වෛද්‍යවරියගේ සමකාලීනයන්ය. කොළඹ ජාතික රෝහ‍ලේ සේවය කළ ඇය කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරියක ලෙස සේවය කර ළමා රෝග විශේෂඥවරියක් වී 1985 වර්ෂයේ මහවැලි අධිකාරියට සම්බන්ධ වී ඇත.

මහවැලි C සහ D කලාපවල ගමින් ගමට ගෙන් ගෙට ගොස් ඇය රෝගීන් සොය සොයා ප්‍රතිකාර කළාය. වෛද්‍යවරියක් ලෙස වසර 35කට වඩා වැඩි කාලයක් සේවය කර ඇතත් කිසිම දිනක මුදලට ප්‍රතිකාර කර නැති බව ඇය පවසනවා. ඇය දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් සමග විවාහ වී ඇත. විවාහයෙන් ඇයට දරුවන් නැත. ඇය දරුවන් අරන් හදා ගත්තාය. ඔහු දැනට විදේශ රටක පදිංචිව සිටිනවා. ඇයගේ සහෝදරිය සහ අනිකුත් ඥාතීන් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව මෙම වෛද්‍යවරිය පවසනවා. විවාහයෙන් පසු විනීතා රංජනී ප්‍රනාන්දු නමින් ඇය පෙනී සිටියාය.

මනුෂ්‍යයකුට ජීවත් වීමට අවශ්‍ය කිසිම පහසුකමක් ද කාන්තාවකට අවශ්‍ය ආරක්ෂාව ද නොමැතිව ඇය ගෙවන මේ කටුක ජීවිතය ගැන ඇයට ඇත්තේ දුකක් වේදනාවක් නොව පසුතැවිල්ලකි. ඇය පණසේ ආදරය කරන බල්ලන් 8 දෙනෙකි. බළලුන් 10 දෙනෙකි. ඇයට මෙම සත්තුන්ගෙන් තොර ලෝකයක් නැත. මෙම සතුන් භාර ගැනීමට කවුරුවත් ඉදිරිපත් වෙනවා නම් එම සතුන් භාර දීමට ද ඇය සූදානමින් සිටියි.

දැනට ඇයගේ එක ඇසක් පෙනෙන්නේ නැත. සතුන් ටික කාට හෝ භාරදී ඇසට ප්‍රතිකාර ගැනීමට ඇය කැමැතිය. මෙම වෛද්‍යවරිය ඇයට ලැබෙන විශ්‍රාම වැටුපෙන් ඇයගේ සුරතලුන් ‍පෝෂණය කරයි. නමුත් ඇය කෑම බිම නැතිව වැහැරී ගොස්ය. ඇයට අඳින්නට ඇඳුමක් හෝ හරියට කන්නට දෙයක් නැත. එක ඇසක පෙනුමේ දුබලතාව හැරුනාම වෙනත් කිසිම රෝගාබධයක් නැත. ඇයගේ ඇහැට අවශ්‍ය ප්‍රතිකාර ගෙන ප්‍රදේශයේ කුඩා දරුවන්ට නොමි‍ලේ ඉංග්‍රීසි ඉගැන්වීමට ඇත්නම් යන්න ඇයගේ එකම සිහිනයයි.

සුරංගනා කතාවක් බදු එම වියපත්වූ විශේෂඥ වෛද්‍යවරියගේ කතාවෙන් අපට කියාදෙන පාඩම් අපමණය. එමෙන්ම සමාජයක් ලෙස මෙන්ම මනුෂ්‍යයන් ලෙස අද අපි සිටින්නේ කොතැනකද යන්න පිළිබදව මිනිසුන් ලෙස මෙන්ම, උසස් ජාතියකැයි පාරම්බාන ලාංකිකයින් ලෙස කළකිරීමට පත්කරන මෙවැනි පුවත් ගැන බළධාරීන් සිය ලැජ්ජාව කුමකින් හෝ වසාගත යුතුය. විවේකාගාරවලටත්, බෙහෙත් පෙත්තටත් වර්ජනය කරනා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගම්, හෙද සංගම් ගැන අප යමක් කියනවාට වඩා පාඨක ඔබම අදහස් දැක්වීම ඔවුන්ගේ මව්දෙමව්පියන්ට යහපත් වනු ඇත.