Sri Lanka

Thursday, February 20, 2014

මෝඩ ගහ



මේක බොහොම අපූරු කෙටි කතාවක්. මේක ගොඩක්ම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනෙ මේ කතාවෙ එන බොහෝ චරිත අද සමාජයෙත් ඕන තරම් අපිට දකින් හම්බ වෙන හන්ද. මේ කතාව ලියල තියෙන්නෙ හින්දි ලේඛකයෙකු වන "ශ්‍යාම් සඛා ශ්‍යාම්" මහත්මයා විසින්. කතාව සිංහලට පරිවර්තනය කරල තියෙන්නෙ ඩී.පී සමරසිංහ මහත්තය. කතාවේ සියලු ගෞරවය මේ දෙපලට හිමි විය යුතුයි. ඔයාල වෙනුවෙන් කතාව ගෙනාපු අපිට තියෙන ලොකුම සන්තෝෂය තමයි ඔයාල මේක කියවලා ලබන වින්දනය.

සුරේෂ් භායිගේ සගරාවේ පිට කවරයට නිතරම වාගෙ මහා පොළොව, ස්වභාව සෞන්දර්ය පසුබිම් වූ ඉර, හද දේදුන්න හා පක්ෂීන්ගේද දර්ශන වලින් සමන්විතවේ. වියළි කොළයකට පවා ප්‍රාණවත් බවක් දීම ඔහු ගේ “Photography” වල ඇති විශ්මිත කමකි. මම ඔහු සමග අනේක වාරයක් දුෂ්කර පළාත්වල සංචාරය කර ඇත්තෙමි. කාරයේ පසු පස බලන කණ්නාඩියෙන් ඔහුට ගසක කදක් ලස්සනට පෙනුනොත් කාරය නවතා, එතැනට ගොස් එක එක කෝන වලින් මොන තරම් ඡායාරූප ගන්නවාදැයි කීමට අපහසුය.

මගේ කාර්යාලයෙන් පිටත, එක් කෙලවරක පැරණි අරළු ගසක් තිබිණි. එයට කෙනෙකුගේ බැල්ම වැටෙන්නේ කලාතුරකිනි. දිනක් සුරේෂ් භායි එය දැක උඩුබැලි අතට බිම දිගා වී ඒ ගසේ ඡායාරූප කිහිපයක් ගත්තේය. සගරාවේ පිට කවරය සරසා තිබුණු ඒ ඡායාරූපය දුටු හැම දෙනාම සිතුවේ එය කිසියම් ඝන වනාන්තරයක ඇති ගසක් කියාය. නමුත් ඡායාරූපය ගන්නා අවස්ථාවේ දී කාර්යාලයේ ගොඩනැගිලි එය තුන් පැත්තකින් වට කර ගෙන තිබිණි. ඔහු උඩුබැලි අතට බිම දිගා වීමේ විශ්මය නම් මලින් පිරුණු ගසක් හා නිල්වන් අහස සහිත ඡායාරූපයෙක් සගරාවේ පිට කවරය සරසීමයි. කොන්ක්‍රීට් වනාන්තරය ඡායාරූපයෙන් අතුරුදන්ව ගොසිනි. 

සුරේෂ් භායි ඇවිදීමට ප්‍රිය මිනිසෙකි. උවමනාවක් ඇතුවත් නැතුවත් මා හමුවීමට එන්නේය. පසුගිය මාසයේ මා හමුවීමට පැමිණි විට සවස් කාලයේ "සීතල මාවතේ" ඇවිදීමට ගියෙමු. "සීතල මාවත" යන නම ඉංග්‍රීසි පාලන සමයේ දී දෙන ලද්දකි.මේ පාර දෙපස අදත් රජයේ ඉහළ නිලධාරීන් ගේ බංගලා පිහිටා තිබේ. ඒ කාලයේ මේ පාරේ බොහෝ සෙවන දෙන වෘක්ෂයන් තිබී ඇති බැවින් මෙයට "සීතල මාවත" යන නම යොදා ඇත. "සතුන්ට සහ හින්දුස්තානුන්ට ඇතුල්වීම තහනම්" යනුවෙන් සදහන් දැන්වීම් පුවරුවක් මේ පාරේ සවිකර තිබුණු බව අසා ඇත්තෙමි. එහෙත් නිදහසින් පසු ඒ දැන්වීම් පුවරුව ඉවත් කළා පමණක් නොව දෙපස තිබුණු මහා වාක්ෂයන් එක එක බැගින් කැපී ගොස් නිලධාරීන් ගේ බංගලාවන්හි දොර උළුවහු බවට පත්ව ඇත. මුළු පාරටම පැරණි වෘක්ෂයන් හතක් අටක් පමණක් බේරී ඇති අතර ඉතිරි තැන් යක්ලිප්ටස් සහ පොප්ලර් ගස් ලබා ගෙන තිබේ. 

අප ඇවිදිමින් සිටි අවස්ථාවේ හදිසියේම කාරයක් එක් විශාල ගසක හැපිණි. කාට හෝ තුවාල සිදුවෙන්නට ඇතැයි සිතා අපි එතැනට දුවගෙන ගියෙමු. රිය පදවමින් සිටි අවුරුදු දහසයක් හෝ දහ හතක් පමණ වූ නව යොවුන් තරුණියගේ වාසනාවට ඇය කෙස්ගහින් බේරී ඇත. අප එතැනට එන එන විටත් ඇය කාරයෙන් පිටතට පැමිණ සිටියාය. මොඩර්න් කෙල්ලක වූ ඇය ජීන්ස් එකක් ඇද කැප් එකක් හිසේ දමා ගෙන සිටියාය. ඒ වන විටත් ඇය කාරය හා ගසේ කාරය වැදී තුවාල වූ ස්ථානය පරීක්ෂා කර බලා සෙල් ෆෝනය එළියට ගෙන කාටදෝ කතා කරමින් සිටියාය
.
"ඩැඩී ඔයා ඉක්මනට එන්න. මගේ කාර් එක ස්ටුපිඩ් ට්‍රී එකක හැප්පුනා."
 
"ඔව් මම ගේ ළගම සීතල මාවතේ මට නම් කිසි තුවාලයක් වුණේ නෑ"

ඇය සේල් ෆෝනය වසා දැමූ පසු එක් මගියෙක් ඇගෙන් ප්‍රශ්න කළේය.

"බේබි ඔයා හොදින් නේද? තුවාලයක් නෑ නේද?"
 
"ශට් අප් යූ මයින්ඩ් යුවර් බිස්නස්. අයි ඈම් ඩී. සී. ස් ඩෝටර්" ඇය බෙරිහන් දුන්නාය.

තලතුනා මගියා දෙකන් අත් දෙකෙන් වසා ගෙන යන්නට ගියේය. එයින් මා ඇයට සහය විය යුතු යැයි තිබූ සිතිවිල්ල දියවී ගියේය. මම ආපසු යාමට සැරසුන විට සුරේෂ් මගේ අතින් අල්ලා උද්‍යානය දෙසට ඇවිද යන්නට විය. ඒ ගස උද්‍යානයෙන් පිටත පාරේ කෙළවරක පිහිටා තිබිණි. උද්‍යානයට පැමිණි සුරේෂ් භායි උද්‍යානයේ තාප්පය ආසන්නව ගමන් කරමින් තාප්පයට මෙපිටින් එම ගස අසලට පැමිණ සිට ගත්තෙමු.
ගස දෙසට ඇගිල්ල දිගු කරමින් ඔහු මෙසේ කියන්නට විය.

"රාජන් බලපන්, ස්වභාව ධර්මයේ අපූරු සෙල්ලමක්"

මම එදෙස බැලුවෙමි. පුදුම වීමි. එය කොහොඹ ගසකි. එහි මහත කද පොළවට අඩි අටක් පමණ ඉහළින් දෙකට බෙදී ඇත. කැපි ගියා වැනි එක් පැත්තක බෝ පැළයක් වැඩී ඇති බව පෙනුණි. වඩාත් සැලකිල්ලෙන් බැලූ විට බෝ පැළයට ආසන්නවම නුග පැළයක් වැවී ඉහළ ආකාසය දෙසට අතු විහිදා බලා සිටියේය. කොහොඹ ගසේ ඉහළ කොටසින් මල් පුබුදු කර ගෙන සිටි අතර, බෝ ගසේ මුල් කොහොඹ කද සමග වෙලී පහළට විත් තිබිනි.

මම නිතර මෙතැනින් ගමන් කරන්නෙමි. නමුත් දෙවියන් ගේ විශ්මය ජනක නිර්මාණය දෙස කවදාවත් අවධානයෙන් බලා නැත. මා අන්ද මන්දව ඒ ගස දෙස බලා සිටින විට කාර් දෙක තුනක් හා ජීප් රියක් විත් නවත්වනු ලැබීය. එයින් නගරයේ නියෝජ්‍ය කොමසාරිස්, ඔහු ගේ පතිනිය සේවකයන් කීප දෙනෙක් සහ ජීප් රථයෙන් පොලිස් භටයන් තුන් හතර දෙනෙක් බිමට බැස්සාහ. ඩී.සී ගේ බිරිද තම දියනිය වැළද ගැනීමට ඉදිරියට ගියද, දියණිය ඇය පැත්තකට තල්ලු කරමින් කෙලින්ම පියා අසලට ගොස් ඔයුගේ අත අල්ලා සොලවමින් කාරය හා ගසේ හැප්පුන තැන් පෙන්වන්නට වුවාය.

"යූ සී පපා, මේ ගහ පාර මැද්දෙ කියෙන්නේ. ඔයත් ඔයාගෙ පිරිවරත් පාරෙ යන අයගෙත්  සේෆ්ටි එක ගැන කිසි හැගීමක් නෑ. මම ප්‍රෙව්සමෙන් ආවෙ නැත්නම් අද මැරිල යනව. මේ ගහ අදම කප්පලා දාන්න." ඇය කීවාය.

"ඕ.කේ බේබි දැන් ෆොරස්ට් ඔෆිසර්ව ගෙන්නනවා. අද රාත්‍රියේ දීම කැපිල යාවි මේ ගහ. ඊට පස්සෙ ඔයාට කාර් එලවන්න පුරුදු වෙන්න කාරදරයක් වෙන්නෙ නෑ. රාම් සිං ෆොරස්ට් ඔෆිසර්ව ගෙන්වලා රෑම මේ ගහ කපල දාන්න කියපන්."

එවිටම ඩී.සී ගේ බිරිද මැද්දට කඩා පැන්නාය. "නැහැ රෑට ගස් කපන්නෙ නෑ. මේ ගහ උඩ බෝ ගහකුත් වැවිල තියෙනවා. මේක හෙටත් කපන්න බැහැ. හෙට ඒකාදශී (චන්ද්‍ර මාසයට අනූව එකලොස්වන දිනය) තේරුණාද?"

"ඕ.කේ ඩාලිංග්, අනිද්දට කප්පවන්නම්. සතුටුයි" ඩී.සී කීවේය.

"ඕ නෝ. පපා වට් ඇන් ඕතොඩොක්ස් මමී ඊස්" කෙල්ල කියන්නට වූවාය. "ඉතින් හෙට මම කාර් එලවන්න ඉගෙන ගන්නෙ නැද්ද?"

"ඒකට කමක් නෑ එක දවසක් රෙස්ට් කරන්න. මමා ගේ සෙනට්මන්ට්ස් විශ්වාස කරන්න."

"ඕ පපා යූ ඕල්වේස් සරෙන්ඩඩ් බිෆෝර් යුවරු වයිෆ්" කෙල්ල කීවාය.

"ඩූ යූ නොට් ලයික් යුවර් හස්බන්ඩ් ටු බී සබ්මසිව්" ඩී. සී කීවේය.

"නෝ නෝ නොට් පපා" කෙල්ල සිනහ වෙමින් කිවු පසු, අනතුරට පත්වූ කාරය ගරාජයකට රැගෙන යන ලෙස සේවකයන් දෙදෙනෙකුට පවසා ඔවුන් එතැනින් යන්නට ගියාය.

ඔවුන් දෙසින් අවධානය ඉවත්වූ පසු සුරේෂ භායි තොල් රවුම් කර සිවුරුවම්බානු දක්නට ලැබිණි. සාමාන්‍යයෙන් ඔහු සිවුරුවම්බාන්නේ ගැඹුරු සිතුවිල්ලකට වැටුණු අවස්ථා වලදීය. මම ප්‍රෂ්නාර්ථ බැල්මකින් ඔහු දෙස බලා සිටින විට, "යං මාත් එක්ක" ඔහු කීවේය. 

මම සුරේෂ් භායි සමග එක්වී වෙළෙද පොළට පිවිසියෙමි. ඔහු එක් පේන්ටර් කෙනෙකු ගේ වෙළෙද සැලකට ගොඩ වී අසන්නට විය. "අයියා, පුංචි බෝර්ඩ් එකක් තියනවද?..... ආ මෙතන තියෙන්නේ." ඔහු අඩියේ අඩියේ සුදු පාට බෝර්ඩ් එකක් පෙන්වා පැවසීය. "මේ තරමේ එකක් හදල දෙන්න."
 
පේන්ටර් ඇසුවේය. "මොනවද ලියන්න ඕන? ලියල දුන්නොත් හෙට බෝර්ඩ් එක ගෙනියන්න පුළුවන්."

සුරේෂ් භායි කීවේය "අක්ෂර දෙකක් විතරයි ලියන්න වෙන්නෙ ඒ වුණත් බෝඩ් එක අදම ඕන.

"ඒ වුනාට දැන් රෑ වෙන්නත් ළගයිනෙ, වේලෙන්නෙ කොහොමද?" පේන්ටර් කීවේය.

"එකට කමක් නෑ, තෙත පිටින්ම අරන් යනවා. ඔබ මේක උඩ රතු පාටින් "තිදේව භගවාන්" කියල ලියල දෙන්න."  සුරේෂ් භායිගේ රහස මට වැටහුනේ නැත. පේන්ටර් පුවරුව ඇද සුරේෂ් භායි වෙත භාර දුන්නේය. සුරේෂ් භායි බෝඩ් එක මගීන්ගේ ශරීර වල නොගැටෙන ලෙසට උරහිස මත තබා ගෙන යන්නට විණි. ඉන් පසු ඔහු සිල්ලර කඩයක් වෙත ගියේය. සහල් ටිකක්, පාට නූල් බෝලයක්, සාම්බ්‍රානි, හදුන්කූරු, පාන්තිර මැටි පහන්, මිල දී ගෙන මගේ අතට දුන්නේය. පාර අයිනේ තිබුණු පලතුරු කඩයකින් පලතුරු පලතරු හා පොල් ගෙඩි 2ක් ද අරගෙන ඒවාද මගේ අත තැබුවේය. රස කැවිලි කඩයකින් රස කැවිලි කිලෝ එකහමාරක් හා ගිතෙල් ටිකක් අරගෙන ආපසු ඒ ගස ළගට පැමිණියෙමු. ඒ වන විට කාරය එතැනින් ඉවත් කරගෙන ගොස්  තිබිණි. සුරේෂ් භායි පළමුවෙන්ම ඇණයක් ගසා නාම පුවරුව ගසේ එල්ලීය. ඉන් පසු ඉතා සර්ධාවෙන් පාට පාට නූල් ගසේ කද වටා ඇදගෙන ගියේය. මැටි පහන දල්වා පොල් ගෙඩිය පොළොවේ ගසා බිද, සුවද හදුන්කූරු දල්වා ඒ මත තබා පූජාව පවත්වා, පූජාවට තැබූ පලතුරු මගීන්ට බෙදා දෙන අතර තුර තමා මේ ගසට බාරයක් වුණ බවත් ඊට පසු තම පුතා මෙඩිකල් කොලීජියට ඇතුලත් කළ බවත් පාරේ යන එන්නන්ට කියන්නට විය. මේ ත්‍රිදේව භගවාන් ට බාරය ඔප්පු කිරීම සදහා නාර්නෞල් සිට මෙහි පැමිණි බවත් වැඩි දුරටත් පැවසීය. ඔබලා කවදාවත් මේ වගේ පුදුමයක් දැකලා තියනවද?, කොහොඹ ගසක් තමන්ගෙ කදේ බෝ ගසකටත්, නුග ගසකටත් වැඩෙන්න දීල තියෙනවා. මේ සේරම උඩ ඉන්න අයගෙ වැඩ, ඔය ගොල්ල හරිම වාසනාවන්තයි. මම සුරේෂ් භායි සමග එහි පැය එකහමාරක් පමණ ගත කෙරුවෙමි. මේ නගරේ ත්‍රිදේව භගවාන් වැඩ ඉන්නවා, ඔහු කියා ගෙන යන්නට විණි. සුරේෂ් භායි ඒ වන විට හත් අට දෙනෙකුට ත්‍රිදේව භගවාන්ගේ පූජාව කන්නට දුන්නේය. තවත් මිනිසුන් තුන් හතර දෙනෙක් අප සමග නැවතී පාරේ යන එන්නන් නවතා ගනිමින් සිටියහ. ඉතා හොද පිරිසක් රැස් වුණි. 

එක් වරම කේබල් ටීවී කාරයන් කොහෙන් ආවා දැයි දන්නෙ නැත. ඔවුන් සම්පූර්ණ වැඩසටහන විඩියෝ කරගත්හ. අප ආපසු ගෙදරට පැමිණි විට සිටි කේබල් ටීවී එකේ සුරේෂ් භායි පූජාව බෙදමින් සිටිනු දැක ගන්නට ලැබුණි. මගේ භාර්යාව සම්පූර්ණ ප්‍රවෘත්තියම අසා දැනගෙන අවසන්ය. ඇය සිනහ වෙමින් කියන්නට වූවාය. "භායි මහත්තයෝ, ඔබ නම් හරියට හොරෙන් වැඩ කරන කෙනෙක්. තමන් විවාහ වෙනවා අපට දැන්නුවෙත් නෑ. ළමයෙක් ඉන්න බව දැන්නුවෙත් නෑ. කෙලින්ම පුතාව ඩොක්ටර් කෙනෙක් කරන්න යනවා. ඒකත් දැන ගත්තෙ සිටි කේබල් එකෙන්."

සුරේෂ් භායි සිනහ වෙමින් කියන්නට විය. "අක්කේ අවශ්‍යතාවය හුගාක් දේවල් උපද්දවනවා. ඉතින් හැම දේම ඒ වෙලාව අනූව කරන්න වුණා."

නමුත් සුරේෂ් භායි යනු අමුම අමු තනිකඩයෙකි.

සිටි කේබල් එකේ වැඩසටහන අවසන් වූ පසු සුරේෂ් භායි ටෙලිෆෝන් ඩිරෙක්ටරිය ඔසවා ගෙන ෆොන් කිරීමට පටන් ගත්තේය. කතා බහ කරන ආකාරයෙන් දැනුනේ ඔහු පත්තර කාරයන් සමග කතා කරමින් සිටින බවය.

"ඔව් මහත්තයෝ, සීතල මාවතේ දශක ගාණක් තිබුණු 'ත්‍රිදේව භගවාන්' ගේ ගහ එක්තරා බාල ඔෆිසර් කෙනෙක් ගේ දුව ගේ කීමට කපා දාන්න සැරසෙනවා. මේක අපේ ධාර්මික හැගීම් වලට හානි කිරීමක්. අපි මැරිල ගියාවේ. ගහ නම් කපන්න දෙන්නෙ නැහැ." වගේ දෙවල් කියන්නට විය.

පසුව ඔහු තවත් කොහේට දෝ ෆෝන් එකෙන් කතා කරන්නට විය. "ඔබ මොන වගේ මහ ඇමති කෙනෙක්ද, ධාර්මික සංවිධානයේ. ඔබේ නගරයෙ සීතල මාවතේ ත්‍රිදේව භගවාන් ගේ ගහ මරා දාන්න හදනවාඔබ නිහඩව ඉන්නවා. එහෙමයි ගිහිල්ලා බලන්න." මේ ලෙසට කොල්ස් විස්සක් විතර අර ගත් පසු සුරේෂ් භායි මගේ පිටට පාරක් දෙමින් කීවේය. "බලමු දැන් කවුද අත තියන්නේ කියල මගේ ආදරණීය ගහට."

උදේ අපි ඇවිදීමට පිටත් වී යන විට පුදුම සෙල්ලමක් දකින්නට ලැබුණි. පිරිසක් ගසේ නූල් ගැට ගසමින් සිටිති. ගැහැණුන් ගනනාවක් සහ පිරිමින්  පොල් හා පූජා වට්ටි අත තබා ගෙන පෙළ ගැසී සිටියහ. මැටි පහන් ටිකක් කළින්ම දල්වා ඇත. සුරේෂ් භායි එතැනට ගොස් දණ නමා 'ත්‍රිදේව භගවාන්'ට නමස්කාර කලේය. සිටි කේබල් එකෙන් ඔහු දැක සිටිපිරිසක් ඔහු සමග කතා කරන්නට පටන් ගත්හ. ඔවුන් ඔහුගේ පුතා මෙඩිකල් කොලීජියට ඇතුල් වීම සම්බන්ධයෙන් සුභ පතන්නට විය. සුරේෂ් භායි දෙඅත් එක්කර ගෙන ගස දෙසට ඉගි කරමින් කියන්නට විය. "සියල්ල ම ත්‍රිදේව භගවාන් ගේ  කරුණාවෙන් මහත්තයෝ. ඔබලා හරිම වාසනාවන්තයි. මේ වගේ හාස්කම් තියෙන ගහක් මම නම් කොහේදි වත් දැකල නෑ. ඔබ දැකල තියෙනවද?"

එදා සවස අප දෙවැනි වරටත් එතැනට ගිය විට දැක ගන්නට ලැබුණේ මිනිසුන් පූජා පවත්වනවා පමණක් නොව "ඕං ජය ත්‍රිදේව්..." භක්ති ගීතද ගායනා කරමින් සිටින ආකාරය ය. ඩෝල හා නුපුරද රැගෙන විත් තිබිණි. රාත්‍රියේ දී සිටි කේබල් මත "ත්‍රිදේව භගවාන් සම්බන්ධව වැඩසටහනක් පෙන්වනු ලැබූ අතර නැෂනල් නිව්ස් චැනල්ස් දෙක තුනක ද මේ ප්‍රවෘත්තිය ඇතුළත් ක්ලිප් දක්නට ලැබුණි. දැන් සුරේෂ් භායිට කිසිම කණගාටුවක් නැත. කිසිම කෙනෙක් ගහට අත තියන්නෙ නම් නැත. 

දැන් අවුරුද්දකට පසු සුරේෂ් භායි මගේ ළග සිටී. දැන් නම් හැම දාම සවසට " ත්‍රිදේව භගවාන්" ට පුද පූජා පවත්වන බවත් හැම සදුදා මත් ඒ වගේම ඒකදාශි දිනයේ දීත් සැණකෙළියක් පවත්වන බවත් මම ඔහුට පැවසුවෙමි. "හෙ ඒකදශී, ඔබට පෙන්වන්නම් හාස්කම."

ස්රේෂ් භායි සිනහ වෙමින් කියන්නට විය. "රාජන් මට නම් ස්වාභාව සෞන්දර්යයට පුදුම හෘදයාංගම  බැදීමක් තියෙන්නේ. යම් කොහොඹ ගසක් තමා මත බෝ ගහක් හා නුග ගහක් වවා ගෙන රැක ගන්නවා නම්, ඒ ගස ආරක්ෂා කළ යුතුව තිබුණා. ඉතින් මගේ කාර්ය සම්පූර්ණ වෙලා, මට ඒ ගැන හරිම සන්තෝෂයි. ඒ වුණත් මම එතෙන්ට යන්නෙ නෑ. මට මගේ කපටි කම මතක් වෙලා හිනා යන්න එනවා. ඒ ගැන ලැජ්ජාවකුත් ඇති වෙනවා."

එවිට මගේ භාර්යාව හින්ට් එකක් ගැසීය. "භායි මහත්තයෝ අපේ ඩොක්ටර් බෑණා ගේ විවාහයට නම් අපිට ආරාධනා කරනවා නේ?"
 
සුරේෂ් භායි සිනහ වෙමින් කියන්නට විය "අක්කේ දැන් මේ නාකි පඨාන් ව මොන සුන්දරීද කසාද බදින්නේ?'....