Sri Lanka

Friday, February 7, 2014

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ



අද මට තෝරගන්න හිතුනෙ තරමක් වෙනස්ම මාතෘකාවක් අරන් එන ගීතයක්. මට හිතාගන්නත් බැහැ අයි මම මේ ගීතය ගැන මීට කලින් කතා නොකලෙ කියල. කොහොම නමුත් වැරැද්ද හදාගෙන ගීතය අද ගෙනාව කොහොම හරි. මුලින්ම කියන්න ඕන මේ තුළ තියෙන්නෙ හුදෙක්ම මගේ අදහස්. මේ තුළ ගැබ් වෙලා තියන තේරුම මීට වඩා වෙනස් එකක් වෙන්න පුළුවන්.
අපි අද තොරගත්ත ගීතය තමයි රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් රචනා කරන ලද, එච් එම් ජයවර්ධනයන් විසින් සංගීත නිර්මාණය කරන ලද, කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා විසින් ගායනා කරන ලා දළු බෝපත් කියන ගීතය. ඇත්තටම මේ ගීතයෙන් කියවෙන්නෙ යසෝධරාව ගැන. ඉතින් අපි ගීතය ගැන කතා කරන්න කලින් යසෝධරාවන් ගැන යමක් කතා කල යුතුයි කියල මම හිතනව.
යසෝදරා දේවිය යනු මා දුටු ලොව විශිෂ්ඨතම කාන්තා චරිතය ලෙස සඳහන් කළොත් එය නිවැරදියි කියල සිතනව. යසෝදරා පෙරදිග  කාන්තාවගේ පරමාදර්ශයයි. බිරිඳක මවක ලෙස සිංහළ සාහිත්‍යයේ සහ බෞද්ධ සාහිත්‍යයේ හමුවන විශිෂ්ඨතම කාන්තා සළකුණ ඇයයි. ආදරය, විරහව, ඇතුළු සියළු දුක්ඛ සංතාපයන්  සඳහා ජීවිතයට ගත හැකි හොඳම නිදසුන යසෝදරාවන්ගේ චරිතයයි. ඇය සතු වූ ආදරය පති භක්තිය ඉතාමත් පුදුමාකරයි. ඇත්තටම ඇදහිය නොහැකියි. ආත්ම ගණනාවක් පුරාවට පතාගෙන ආව ආදරයක් සෙනෙහසක් ඇය සතුව තිබුණ. ඇය සතු ආදරය පති භක්තිය කෙතරම් වීද යන්න කතා කරන්න මම එක් ගීතයක් උපයෝගී කර ගන්නව. ඒ තමයි නීතිඥ ජෝන් ද සිල්වා මහතා විසින් නිමැවුනු වෙස්සන්තර කියන නූර්තියේ එන "මගෙ මන්ද්‍රි නම් බිසෝ ගේ" කියන ගීතය. මේ අවස්ථාව ගැන බුත්සරණ ගද්‍ය කාව්‍යයෙහි සදහන් වෙන්නෙ මෙන්න මේ විදියටයි.
'සූවිසි ලක්ෂයක් වටිනා ආභරණයෙන් සැරැසුණු, සර්වාංගයෙන් ධවල වැසි වස්වන මහත් අනුභාව ඇති දුර්ලභ හස්තියා දන් දුන් හෙයින් නගරවාසීහු කිපෙති. ඔවුහු වෙසතුරු රජු ගේ පියාණන් වූ සඳමහරජාණන්ට පවසනුයේ වෙස්සන්තර රජ්ජුරුවන් දඟගෙයි ලත් නො පිළිවනැ, දිවිගනුත් නො පිළිවනැ, අප ගෙ රට මැ හිඳැ අප නැසූ තෙනැත්තන් රටින් දුරු කොටැ වංකගිරිපර්වතයට යවනු මැනැවැ, අද ම යවනු මැනැවැයනුවෙනි.
වෙසතුරු නිරිඳු මද්‍රි දේවි අමතා පවසන්නේ මා වනයට ගිය යි දළ සෝ දුකින් නො තැවී සුව සේ ජීවත් වන්නැයි යනුවෙනි. ඉක්බිති මද්‍රි දේවි ශෝක ගින්නෙන් තැවෙමින් කඳුළු වගුරමින් නුඹ වහන්සේ ගෙන් වියෝ ව ජීවත් වීමට වඩා නුඹ හා කැටි ව මිය යෑම උත්තම යැ යි පවසන්නී ය. ඕ තොමෝ වෙසතුරු රජු ගේ මෑණියන් කී බසට ද මෙ සේ පිළිතුරු දෙන්නී ය. මා ගෙ ස්වාමීන් හා වල වසන්නෙ ගම වසන්නාට වැඩි සුව යැ, කැටි වැ ගමන් යන කලැ ගෙහි හුන්නා වැනි යැ” '
මගෙ මන්ද්‍රි නම් බිසෝ ගේ
යාච්ඥාවෙ බෝ ය වේගේ
නෙක් චණ්ඩ ව්‍යාඝ්‍ර වාසේ
හිමාල දේශ දේවී
හාමත් ව ඉන්ට වේ මැයි
බෝ දුක් විඳින්ට වෙන්නේ
නවතින්න මාලිගාවේ
සීදේවි නේනු මා ගේ
ගෙයි පාන නෑ ගියෝතින්
මම් අන්ධකාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරා ගේ
ඒ වාස මාගෙ වාසේ
බෝ චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී
උන්නත් හිමාල දේසේ
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේ වී
වෙස්සන්තර ජාතකයෙහි වෙස්සන්තර නිරිදුන් වනයට යන්න සැරසෙන මොහොතෙ තමන්ගෙ ප්‍රියාදර මන්ද්‍රි බිසව අමතලා කියනව " මන්ද්‍රි බිසවුනි ඔබ දුක් වෙන්න එපා එක මට දරාගන්න අමාරුයි, ඒ වන්ගගිරියෙ බොහෝ චන්ඩ ව්‍යාග්‍රාදීන් ඉන්නව, ඒ වගේම තමයි කෑම බීම නැතුව කුසගින්නෙ තමයි ඉන්න වෙන්නෙ ඒ වගේම තවත් බොහෝ දුක් විදින්න වෙයි ඒ හන්ද මගෙ මැනික මලිගාවෙ නැවතිලා සුවසේ ඉන්න කියල.
නමුත් මන්ද්‍රී බිසව එහෙමත් නැත්තන් මේ භවයෙදි යසෝධරාවගෙ අදහස ඊට වඩා ගොඩක්ම වෙනස්. ඇය පවසන්නෙ "ඔබ ගෙදරින් ගියොත් ගෙයි පහණ නිවුන වගෙයි දැනෙන්නෙ මට. මුලු නිවසම අන්ධකාරෙ ගිලී ගියා වගෙයි දැනෙන්නෙ. මම පෙම් බැන්ද පෙම්බරා ඔබයි ස්වාමීනි. ඔබ යම් තැනක වසනවද මගේ වාසෙත් ඒකම තමයි. ඔබ නැතුව මොහොතක්වත් මට ඉන්න බැහැ. කොපමණ චන්ඩ ව්‍යාඝ්‍රයන් හිටියත් ඒ දේසෙ මම ඔබත් එක්කම එනව ඒ ජීවිතේටම මගෙ ජීවිතෙත් කැප කරල.
ඉතින් හරිම පුදුමාකාර පති භක්තියක් ඇය සතුව තිබිල තියනව. ඒක ආත්ම ගණනාවත් තිස්සෙ පැවතගෙන එන දෙයක්. ඉතින් යසොධරාවන් ගැත තවිත් ලියන්න ගොඩක් දේ තියනව ඒත් ලිපිය ගොඩක් දිග වැඩි වෙයිනෙ එහෙම උනොත්. මට ගූගල් දෙයිය හොයල දුන්න බොහොම අපූරු ලිපියක් යසෝධරාවන් ගැන. ඒක ලියල තියෙන්නෙ මට වඩා බොහෝ ඇසු පිරූ තැන් ඇති කෙනෙක්. ඒක කියවපුවාම යසෝධරාව ගැන බොහොම අපූරු චිත්‍රයක් මවා ගන්න පුළුවන්. (ඒක බල්නනකො මොතනින් ගිහින් http://aswanna.blogspot.com/2012/05/blog-post_06.html)


ඉතින් අපි ගීතයට එමු. මේ ගීතයෙ බොහොම සමබරව ලියපු ගීතයක්. අපි කාට උනත් අපි කැමති කෙනෙක් වැරැද්දක් කලා වගේ දැනුනොත් හිතට දුකක් දැනෙනව. ඒත් ඒ සිදුවුන දේ මොකක්ද කියල හරියට තේරුම ගත්තට පස්සේ ඒ දෙවල් නැති වෙලා යනව. ඒක තමයි සරළම කතාව. ඒත් සමහර ගීත වල කෙලින්ම සිදුහත් කුමාරයාට දොස් කිනයව. "නොකියාම එදා ඇසල මහේ" කියන ගීතයේ කෙලින්ම දොස් කියනව. නමුත් උක්ත ගීතයේ මේ දෙපැත්තම සමබරව ගෙනිහින් තියනව.

මේ ගීතයේදී අපි කතා කරන්න ඕන පැහැදිලි කාරණා 2ක් තියනව,

01. තම ස්වාමියාගේ නික්මයාම ආදරණීය බිරිදකට දැනෙන විදිය සහ යසෝධරාව මේ තත්වය තේරුම් ගන්න විදිය.
02. මේ නික්ම යාම දෙස සමාජය බලන විදිය

ලා දළු බෝපත් සෙමින් සෑලෙන සේ
යශෝදරා දේවී
වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා
පෙර සංසාරේ ඈසුර මතක් වී

ලේන කුලේ සිට ආ ගිය මග තොට
සිටියා නොසෑලෙන පහන් ටෑඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවාසෙවනෑල්ලක් වී

ගීතයෙ ඉහත කොටස් දෙක සලකන විට දනෙන දෙයක් තමයි තමන්ගෙ ආදරණී ස්වාමියා තමන්ව හැර යාම නිසා දුක් වෙන ආදරණීය බිරිදක්. ඇත්තටම ඇයට මේක වාවගන්න පුලුවන් දෙයක් නෙමෙයි. මොකද මේක අසීමිත ආදරයක්. රචකයා ඒක බොහෙම පැහැදිලිව පවසනව. මොකද මේක මේ භවයෙදි විතරක් ඇතිවුන ආදරයක් නෙමෙයි. ආත්ම ගාණක් තිස්සෙ පතාගෙන ආව ආදරයක්. එහෙම ආදරයක් නැති උනාම දරගන්නෙ කොහොමද. මේ රචකයා යසෝධරාවගේ හිත ඒ මොහොතෙ කියවනව. ඇයගෙ අදහස ප්‍රකාශ වෙන්නෙ මේ විදියට "ඔබ මේ ආත්මෙදි නිවන් දකිනව තමයි එත් මම පහුගිය ආත්ම ගණනාවක් තිස්සෙ ඔබ තුමාට හයියක් වෙලා ඔබ පසු පස්සෙ හිටිය."

ඉතින් මේ පැදි දෙපෙළ එක්ව ගත්තම පුන්චි චොදනාවක් කරනව රචකයා සිදුහත් කුමාරයාට. මේ විදියට සන්සාරෙ පුරාවට පතාගනෙ ආව ඇයව මේ නිවන් දකින ආත්මෙදි මේ විදියට තනි කරල ගිය එක වැරදි කියල. ඒත් යසෝදරාව නම් ඒ චෝදනාව කරන්න නැතුව ඇති. අපි දන්නවා ලා දළු බොපත් සුළගට සෙමින් සැලෙද්දි ඒක බොහොම අපූරු දෙයක් හරිම නිසංසල බවක් හිතට දැනෙන්නෙ. අන්න ඒ විදියට තමයි යසෝධරාව මේ වියෝ දුක දරා ගන්නෙ. ඇය කෑ ගහල අඩන්නෙ නැහැ. හඩා වැළපෙන්නෙ නැහැ. වවගන්න බැරි තැන කාටවත් නොපෙනී රහසින් ඇඩුව. අපි දන්නව ඇය සිදුහත් කුමරු පැවිදි දිවියට ඇතුළු උනාට පස්සෙ කහ සිවුරු අදිනව කියල දැනගත්තම ඇයත් කහ වස්ත්‍ර අදින්න ගත්ත. දවසට දෙවේලක් ආහාර ගන්න බව දැනගෙන ඇයත් දෙවේලක් ආහාර ගන්න පටන් ගත්ත. ඒක කියා නිමක්රන්න බැරි ආදරයක්. පති භක්තියක්. මෙන්න මේක තමයි මම ලොකයේ දැක්ක පුදුමාකාරම පති ලක්ෂණය. 

ගීතයේ අවසානයට එද්දි මේ චෝදනාත්මක බව වෙනස් වෙනව.
තෑලී සෙනේ සිත සෑලී හඩන විට
වෑටී දෙපා ළග යශෝදරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ
මෙන්න මෙතනදි තමයි මම කවුව දෙවනි කාරණාවට අපි අවතීරණ වෙන්නෙ. ලොකයා හදන්නෙ සිදුහත් කුමරා ගිහිගෙයින නික්ම ගිය කාරණාව සාධාරණීකරණය කරන්න. දැන් ඇය දුකෙන් හඩන වෙලාවෙ යම් කෙනෙක් අවවදා කලනම් කියන්නෙ මොනාද. දුක් වෙන්න එපා එතුමන් ගියේ ඔබෙත් මගෙත් අපි හැම දෙනාගෙම හිත සුව පිණිස. එතුමාම ඇවිත් ඔබ යම් දවසක මේ හැම දෙයක්ම තේරුම් කරල දෙයි කයලනෙ. නමුත් ඇයම පමණයි දන්නෙ තමන් ආත්ම ගණනක් තිස්සෙ පතාගෙන ආව පෙම්බරා තමන්ව දාල ගියාම තමන්ට දැනෙන දුක.

 ඉතින් ඇය සොවින් තැවි තැවී ඉදල බුදුන් වහන්සේගෙ දෙපා ළග වැද වැටුනට පස්සෙ මේ හැම දයෙක්ම තේරුම් ගන්නව. ඇයගෙ අන්ධකාරයට වැටිල තිබුණ ජීවිතයට නව ආලෝකයක් ලැබෙන්නෙ මෙතනදි. එතකොට සිදුහත් කුමාරයා යසෝධරාය දාල ගිය කියල රචකයා චෝදනාවත් කලාට උන් වහන්සෙ බුදු වුනාට පස්සෙ ඇයට නිවන් දකින්න පාර කියල දීල තමන්ගෙ යුතුකම ඉටු කරනව. තමන්ට ඇයව දාල යන්න සිදුවුනෙ ඇයි කියල තේරුම් කරල දෙනව. මෙන්න මෙතනයි ගීතයේ අපූර්වත්වය තියෙන්නෙ. මෙතනදියි ගීතය සමබර වෙන්නෙ.

මේ දෙදෙනගෙ සසර මගේ අවසානය එහෙමත් නැත්තන් නිවන් දැකීම සිදුවන මේ ආත්මෙදි දෙදෙනගෙ ආදරය හිත් තැවුලකින් තොර නොවී සත්‍ය අවබෝධ කරගෙන බොහොම අපූරුවට අවසනායක් දකිනව. ඉතින අපේ කාන්තා පුරුෂ දෙපාරුශවයම දැනගන්න ඔන වැදගත්ම දේ තමයි තමන් එකෙනෙකාව හරි හැටි අවබෝධ කරගෙන බොහොම ආදරයෙන් යහ පැවැත්මෙන් ජීවත් වෙන එක. මොකද ඔබට ඔබේ බිරිදව නිවන් දක්වන්න බැරිවෙයි. ඒක් ඇය ලගින්ම ආදරෙන් ඉන්න එක තමා වැදගත්.

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී
වාවනු බැරි තෑන රහසේ හැඩුවා
පෙර සංසාරේ ඈසුර මතක් වී

ලේන කුලේ සිට ආ ගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවනැල්ලක් වී

තැලී සෙනේ සිත සැලී හඩන විට
වැටී දෙපා ළග යශෝදරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ

ගේය පද - රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - එච් එම් ජයවර්ධන
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

ගීතය බලන්න මෙතනින්