Sri Lanka

Thursday, June 5, 2014

සුදු නෙළුම කෝ සොර බොර වැවේ



අපි ඇයට සමන්මලී කියල කියමුකො. ඇය බොහොම අහින්සක පුංචි මල් කැකුලක් වගේ දියණියක්. ඇය ඉගෙනගත්තතෙ මොනරාගල හුලන්දාව කනිෂ්ඨ විද්‍යාලයෙ 5 වැනි ශ්‍රේණියෙ. සමන්මලීගෙ අම්ම විතරයි හිටියෙ. ඒ අම්මට තමන්ගෙ දරුවන්ව ජීවත් කරවන්න තරම් හයියක් තිබුණෙ නැහැ. බොහොම අමාරුවෙන් තමයි තමන්ගෙ පවුල ගැට ගහ ගත්තතෙ. සමන්මලී පොඩි එකියක් උනත් ඇයට මේක බලන් ඉන්න පුලුවන් වුනේ නැහැ. ඇයත් පුළුවන් විදියට අම්මට උදව් වෙන්න හිතාගත්ත. ඒ හින්දම තමයි ඇය වැවෙන් මල් කඩාගෙන ගිහින් ඔක්කම්පිටිය දෙමහටමල් විහාරයට එන බැතිමතුන්ට විකුණල කීයක් හරි හොයාගත්තෙ. ඒත් ඇයගෙ අම්ම නම් මේකට එච්චර කැමති උනේ නැහැ. මොකද මේක බොහොම භයානක වැඩක් හන්ද. ඒත් දැරිය මේ වැඩේ නැවැත්තුවෙත් නැහැ.

එකදවසක් ඇය පාසල් ඇරිල ඇවිත් අම්මට කිවුව,

 "අම්ම මට කවකටු පෙට්ටියක් ගන්න ඕන. මගේ ගවුමත් ඉරිල අලුත් ගවුමක් මහගන්නත් ඕන. මේ ඉරිච්ච ගවුම ඇදගෙන තවත් ඉස්කෝලෙ යන්න බැහැ අම්මෙ" කියල.

එත් ඉතින් මේ අහින්සක අම්ම මොනා කරන්නද. ඒත් දුවගෙ හිත රිද්දන්නත් බැහැ. 

අම්ම කිවුව
"පොඩ්ඩක් හිටපක්කො ඔහොම මම කොහොම හරි උඹට මේ ටික අරගෙන දෙන්නම්කො" කියල.

ඔය අතරෙම පසලොස්වක පොයත් ළං උනා. සමන්මලී ගොඩක් ආසයි ඉගෙන ගන්න. ඇය කොහෙම හරි මේ වැඩේ කරගන්න හිතාගත්ත. ඒ හන්ද පෝයට කලින් දවසෙ උදේ ඉස්කෝලෙ යන්නෙත් නැතුව වැවට ගියෙ මල් ටිකක් කඩාගෙන ඇවිත් පොයට පන්සලට ගිහින් විකුණල කීයක් හරි හොයාගෙන තමන්ගෙ වැඩේ කරගන්න.

ඇය ඔරුවත් අරගෙන මල් තියෙන ඉසව්වට ඔරුව පදින්න උනා. ලස්සන ලස්සන නෙළුම් මල් ගොඩක් කඩාගෙන ඔරුව පුරවගත්ත. ඒත ඔරුව ආපහු හරවද්දිම ඇයට දැනුන මොකක්දෝ වෙනසක්. අනේ දෙවියනේ මේ පුන්චි මල් කැකුලත් එක්කම ඔරුව පෙරළුනා. සමන්මලී දියේ ගිලිල මේ ලෝකෙන් සමුගත්ත. මල් විකුණල අලුත් සුදු ගවුමකුයි කවකටු පෙට්ටියකුයි නැති අඩුව පුරවගන්න මල් කඩන්න වැවට ගිය ඇය ආපහු මේ ලෝකෙට ආවෙ නෑ. ඒදා මේ පුන්චි මල් කැකුල ගැන කම්පා නොවුන කෙනෙක් නම් හිටියෙ නැහැ. 

 මේ වෙනකොට රත්න ශ්‍රී විජේසිංයන් සේවය කලේ මොනරාගල හුලන්දාව කනිෂ්ඨ විද්‍යාලයෙ. ඔහුටත් තමන් උගන්නන පාසලේ දැරියක් වැවේ මල් නෙලන්න ගිහින් මියගිය සිදුවීම අහන්න ලැබුණ. ඔහුත් ඇයව බලන්න ගියා. ඔහුගෙ හදවතත් මේ දැරිය වෙන්වෙන් කම්පා වුනා. මේ සිදුවීම ඇසුරෙන් තමයි පණ්ඩිත් අමරදේවයන් ගයන සුදු නෙළුම කෝ සොර බොර වැවේ කියන ගීතය ලිවුවෙ.

සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ

වැවට කලුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා

ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
ගායනය - පණ්ඩිත් අමරදේව


සොර බොර වැව අසල වාසය කළ සුදු නෙළුම අද නැත. ඇය මහියංගනයේ මල් සුවඳයි. පාළොස්වක දාට මහියංගන සෑය වඳින මහ පිරිසට මල් ඇය අලෙවි කරන්නී, ඉන් දිවි සරි කර ගන්නීය. එවන් සොර බොර වැවට කලුවර පායා එයි. මේ වනාහි හිරු බැස යාමෙන් එන කළුවරක් නොවේ. පාළුව නිසා එන්නා වූ කළුවරෙකි. සිහින් සිරිපොද වැටෙයි. ඉන් වැවේ දෙකොපුල් වැනි ඉවුරුද සේදෙයි. එනමුත් සුදු නෙළුම දක්නට නැත. ඈ විසින් නෙළු මල් මිට එහා ඉවුරට පාවී ගොසිනි. ඇගේ දෙකොපුල් ඉවුරු සොදා ගලන සිරිපොද යටින්, දෑස පියවුණු (මිය ගිය) ඈ මෙහා ඉවුරට පාවී එන්නීය.

රත්න ශ්‍රී වර්තමාන සමය තුල අපට සිටින ශූරතම කවියා බව අටුවා ටීකා අවශ්‍ය නැත. රත්න ශ්‍රී බහු අරුත් දැනෙන පද ලිවීමටද රුසියෙක්. එබැවින් මෙවන් පද වැලක් තුල රත්න ශ්‍රී විසින් සඟවන ලද පනිවුඩය සෙවීමද සිත් ගන්නා කරුණක් වනු ඇත. මේ මුළු ගීය පුරාම රත්න ශ්‍රී පෙන්වන්නේ ජීවිතයේ ආටෝපයේ පුහු භාවය හා අස්ථිර භාවයයි. අපගේ ආශාවන් මූර්තිමත් කෙරෙන මල් පොකුර සසරේ මහා වැවෙහි එහා ඉවුරට පාවෙද්දී මරණයෙන් පසු අප මලකුණ පාවී එන්නේ මෙහා ඉවුරටට්යි. තදින් බදා සිටියද මේ දේවල් එකිනෙකා ගෙන් අවසන වෙන් වන බව ගීයෙන් ඉඟි කෙරේ.

මේ ගීතය අමර්දේවයන් විසින් 80 දශකයේ ගයන ලද නව ගීතයක්. මේ ගීතය ලියන විට රත්න ශ්‍රී නවක කවියකු පමණක් වන්නට ඇත. එනමුත් අරුත් සපිරි පදවැලක්, අනන්‍ය වූ හඬකින් ගැයෙන මේ දුක්ඛාන්තයේ ශෝකී රසය අපි හදවතින් විදිමු.

රත්න ශ්‍රී ඔය හුලන්දාව කනිෂ්ඨ විද්‍යාලයෙ උගන්නන කාලෙම තවත් බොහොම අපූරු පදවැලක් ලිවුව වස්සානය කියල. ඒකෙනුත් ඔහු කිවුවෙ දුක්ක දෝමන්ස්සයන් මැදින් ගලා යන මේ ජීවිතයේ අපි කොහොම හරි නොවැටී නැගී සිටිමු කියන එකම තමයි. ඒ කවි ටිකත් මෙතනින් බලල රස විදින්නකො..

ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
දිය කෙලින හැටි පුංචි මාලුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට

සෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ
දිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර                                    

දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එලිය
මිහිරි මවු කිරි වගේ පොවන්නෙමි නුඹලාට

රමණීය වන ගැබෙහි ගැබෙහි මොණරුනට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැහි වතුර ඉහිනවානම් ඔවුන් විහිලුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට

වැහි වළාකුලු රංචු කඳු මුදුන් වල ලගින
දැන් ඒවි තැනි බිමට සිතලයි මගෙ හිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න

ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිත
කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස.......