Sri Lanka

Thursday, June 19, 2014

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්



ගොඩක් අය පසුබිම ගැන නොදන්නමුත් විවිධ කාරණා සදහා මේ දිනවල මේ පැදිපෙළ භාවිතා කරණව. අපේ මේ උත්සාහය කාවවත් විවේචනය කරන්නනවත් කාටවත් පහර දෙන්නවත් නෙමෙයි. ගොඩක් අය නොදන්න දේවල් ටිකක් කියන්නයි යන්නෙ. සමහරු මේ ගීතය ගැන බොහොම හොදින් දන්නව. අපි කියන දේවල් වල වැරැද්දක් තියනවනම් නිවැරදි කරයි කියල අපි හිතනව.

නන්දා මාලනිය ගයන මේ "තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්" ගීතය ගොඩක් කාලෙකට කලින් තමයි ලියවිලා තියෙන්නෙ. මගේ මතකය නිවැරදිනම්  හැත්තෑව, අසූව දශක අතරේ කාලෙක තමයි මේ ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියල තියෙන්නෙ. ගොඩක් දෙනෙක් හිතාගෙන හිටියට හැබැයි මේ ගීතය රණ විරුවො ගැනනම් නෙමෙයි ලියල තියෙන්නෙ. මේ ගීතය ලියවුනෙ මම හිතන්නෙ නන්දා මලිනියගෙ කැසට්පට කිහිපයක්ම එවකට තිබුණ රජය විසින් නින්දිත ලෙස තහනම් කල කාලෙක. මේ ගීතයත් එවකට තහනම් වුන ගීතයක්.  ඒකට විශේෂ හේතුවක් තිබුණ. මේ ගීතය ඇතුළු තවත් ගීත කිහිපයක්ම ලියවෙන්න එවකට සිද්ධවුන විශේෂ සිදුවීමක් එක්ක. ඒ තමයි ඒවකට පැවතුණ තරුණ කැරැල්ල. කැරැල්ලකට වැඩිය මේත තරුණ විප්ලවයක්. එවකට රජය විසින් මෙම සංවිධානය තහනම් කර ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කලාට පස්සෙ ඒ වෙනුවෙන් ලියවෙච්ච ගීත, පොත්පත් ආදී හැම දේයක්ම තහනම් කළා. හැබැයි කියන්න ඕන ඒ විප්ලවයට එකතුවුන අවංක දේශප්‍රේමී තරුණ තරුණියන් බලාපොරොත්තු වුන ගමනමද එදා ඒ සටන් මෙහෙවපු දේශපාලන පක්ෂය අද යන්නෙ කියන එක ගැටලුවක්.

කොහොම උනත් එවකට ඒ සටන් වලට සහභාගී වෙලා හිටියෙ බොහොම බුද්ධිමත් තරුණ පිරිසක්. ඒ ගැන සදහන් වුන අපූරු සටහනක් මට හම්බු වනා සුනිල් මාධව ප්‍රෙමතිලකයන්ගෙ සත්‍යවවාදියෙකුගෙ දිනපොත සහ මිනිසෙක් කියන පොත් දෙකෙන්. ඒ ඉතාලි ජාතික මාධ්‍යෙව්දිනියක් වන ඔරියානා ෆලචි ශ්‍රී ලාංකික කැරලි කරුවන් හමුවීමට ලංකාවට පැමිණි අවස්ථාව පිළිබදවයි. ඇය සයිගොන්, පැනෝයි, ජනොම්පෙන්, මෙක්සිකෝ සිටි, සාඕපෝලෝ, රියෝඩ් ජැනෙයිරෝ. හොංකොං, ලා පාස්, කචබම්බා, ඩකා, කල්කටා, කොළඹ ආදී විවිධ එට වල විවිධ නගර වල සංචාරයේ යෙදෙමින් ලොව පුරා සිටි විප්ලවවාදීන් සමග නොබියව සටබ් බිම් වලට ගොස් සාකාච්ඡා පැවැත්වූ නිර්භීත මාධ්‍යෙව්දිනියකි.  ඒ පොතේ තිබුනෙ මේ විදියට,
"ඔරියානා ෆලචි මුලින්ම හමුවූ 1971 කැරැල්ල සමයෙදි හොර රහසෙම ලංකාවට පැමිණි මේ නිර්භීත මානව හිතවාදී මාධ්‍යෙව්දිනියගේ විශ්වාසවන්ත සගයා වූයේ මාය. එදා රජය කියූ අන්දමේ "ත්‍රස්තවාදියෙකු" හමුවී සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට ඇය ආශාවෙන් හිටිය. සති තුනකට ආසන්න කාලයක් තිස්සේ කැරැළිකරුවන් සොයා අපි වනයට ගියෙමු. ඈත ගම්මාන වලට ගියෙමු. මා ඕ සේතුං ලා චේ ගුවේරලා, කස්ත්‍රෝලා හමුවී ලොකයට විප්ලවයේ සත්‍යය පැවසූ ඔරියානා ෆලාචි..... එදා මොන තරම් සුන්දර දවසක්ද? මගේ ත්‍රස්තවාදී මිතුරාගෙන් ඇය ඇසූ ප්‍රශ්නත් මට අද වගේ මතකයි.

"විප්ලවයක් කරන්නට හැදුවෙ ඇයි.....?

"පීඩිත පංතියට විමුක්තියක් ලබා දිමට." ඔහු පිළිතුරු දුන්නෙ මොනතරම් ආඩම්බරයකින්ද?

"උඹේ රටේ පීඩිත පංතිය කියන්නෙ කවුද?

මේ රටේ සියයට අනූ නවයක්ම පීඩිත පංතිය. ඒක අපි දන්නව."

"උඹලා මැරෙන්න බය නැද්ද?"

"අපෝ නැහැ. මැරෙන්න බය නැති නිසයි විප්ලව කරන්න ගියෙ. අපි මැරුණත් අපි කරනදේ හරිනම් ප්‍රශ්නයක් නැහැ."

එදා ඔරියානා ෆලාචි චේ ගුවේරා ගැනත්, මාඕලා ගැනත්, ලෙනින්ලා මාක්ස්ලා ගැනත් කතා කළ හැටි මට මතකයි.

"මේ රටේ තරම් බුද්ධිමත් තරුණ කොටස් මට ලෝකයේ කිසිම තැනක හම්බ වෙලා නැහැ."

මගේ "විප්ලවවාදී" මිත්‍රයා සිප ගනිමින් ඇය එසේ කී අයුරු මට මතකයි..."

මේ ගීතය පිළිබදව අපි සලකා බැලුව හොත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේසේ සටන් වැද කැලෑ තුළ සිටින තරුනයන්ට මහත් ආඩම්බරයක්, වීරත්වයක්, අභිමානයක් ගීතය තුළින් ලබාදී ඇති අයුරක් පෙනී යයි. අපි ගීතයේ ලියවුන යුගය ගැන කතා කරන විට සැබැවින්ම ගීතය තුළ ගැබ්වී ඇත්තේ දේශපාලනික අරුතකි. එය හුදෙක් මාතෘ භූමියට ආදරය කරන්නට පොළඹවන ගීතයක් පමණක් නොවේද? යනුවෙන් අපි අප සමගම තර්ක කරමින් ගීතය තුළින් සාධනීය හරයක් පෙරා ගන්නට උත්සාහ කළද ගීතයේ දේශපාලනික අරුත අප සිතන තරම් අහිංසක නොවන බව අපට ඒත්තු ගැන්වේ. ගීතය රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්නත්, ගීතය ගායනා කළ විශාරද නන්දා මාලිනිත්, කිසි විටෙකත් ජාතිවාදීන් නොවන බව අපි දනිමු.
අප කුඩා කාලයේ ඇසූ නන්දා මාලිනීම ගයන

මේ සිංහල අපගෙ            රටයි
අප ඉපැදෙන මැරෙන       රටයි
අප හද පණ ගැහෙන        රටයි
මුළු ලොව මේ රටට         යටයි. 

නැමති ගීතය අපි කාටත් මතකය. මේ සිංහල අපගෙ රටයි ගීතය සිංහලෙන් සිංහලයකු ගයන විට රට "සිංහල" අපේ යැයි කියැවෙයි. එය ඇත්තකි. එහෙත් එය සිංහල අපේ රට වූ පමනින් දෙමළ, මුස්ලිම්, බර්ගර් හෝ මේ බිමේ ජීවත්වෙන වෙන කිසිදු පුරවැසියෙකුගේ රට නොවන බව නොහඟවයි. ලාංකීය දෙමළ පුරවැසියෙකුට මේ දෙමළ අපේ රටයි යනුවෙනුත්, මුස්ලිම් ජාතිකයෙකුට මේ මුස්ලිම් අපේ රටයි යනුවෙනුත් ගයනා කිරීමේ අවසරයක් නිදහසත් ගීතය තුළ ගැබ්ව තිබෙයි. එහෙත් තුන් හෙළේ කැලෑ තුළ ගීතය තුළ සිංහලුන් නොවන සියලු ලාංකීය පුරවැසියන් තුළ භීතියෙන් ඇති කරවයි.
 
ගීතයේ අර්ථය ගැන අප සලකා බලන විට දුප්පත් පීඩිත ජනතාව වෙනුවෙන් සටන් වදින මේ තරණයින් වීරයින් බව මේ ගීතයෙන් හැගවෙයි. 

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්

දැන් ඔය සිද්ධි මාලාව සැලකුවොත් 1971 අප්‍රේල් 5 එක විට ලංකාවේ සිලුම පොළීසි වලට එක විට පහර දෙන්නයි සැලසුම් කරල තිබ්බෙ. නමුත් එක් කණ්ඩායමක් කලින් පහර දුන්න හන්ද අනික් හැමෝටම ඒ ආරන්චිය ගිහින් අනිත් කණ්ඩායම් වලට කැලෑ තුළ හැන්ගෙන්නයි සිද්ධ වුනේ. ඔවුල් අල්ලගෙන මාංචු දාගෙන ඔවුන් පහර දෙමින් අරගෙන එද්දි ඒව දකින අනිත් අය නිකන් බලාගෙන හිටිය. ඔවුන් වැරදි කාරයන් විදියට තමයි ගොඩක් අය සැලකුවෙ. ඇත්තටම මේකෙන් කියන්නෙ යම් පිරිසක් රට වෙනුවෙන් දිවි දෙද්දි තවත් පිරිසක් නිවටයින් වගේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නව කියන එක.

සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා‍වූ සිංහ පැටව්
තුටු වෙද අනුනගෙ ඉඳුලින්

ඒ සටන තුළ විවිධ අරමුණු තිබ්බ. එකක් තමයි අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ වීම. අන් ඒ කාරණය මේ තරුණ සිංහ පැටව් තුළ හදවතේම තිබ්බ කියන කාරණය පැහැදිලිවම ගීතය තුළ සදහන් වෙනව. දැන් ඔය පාලක පන්තිය ඒ වෙනකොටත් පිට රට දේවල් වලට හැඩ ගැහිලනෙ හිටියෙ. අධිරාජ්‍යවාදියෝ කලේ මේ සරු පොළවෙ වැවෙන දේවල් උන්ගෙ රටවල් වලට අරන් ගිය එක. අපේ දේවල් සූරගෙන කාපු එක.  ඒක මේ සිංහයින්ට දාරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. 

අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්...
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්...

සිංහලයන්ට මේ දේශය නැති වෙන්න කළින් මේ දේශ රැක ගැනීමයි අපේ යුතුකම. පිට රට්ටුන්ට ගැති නොවී ඒ වෙනුවෙන් පෙළ ගැහෙන එකයි අපේ යුතුකම. ඒ යුතුකම ඉටු කරන්න පෙළ ගැසුන තරුණ තරුණියන් වෙනුවෙන් සුනිල් ආරියරත්නයන තමන්ගෙ හදවතේ ජනිත වුන හැගීම්ප්‍රකාශනය ඉදිරිපත් කළේ අන් ඒ වියිටයි.

මේ ගීතය මේ දිනවල අයෙත් ඇහෙන්න පටන් ගත්තෙ All Right සංගිත කණ්ඩායමේ නායක ශලින්ද ප්‍රනාන්දු මේ දිනවල ඒ ගීතය ප්‍රසංග වල ගායන කරන හන්ද. 

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්

සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා‍වූ සිංහ පැටව්
තුටු වෙද අනුනගෙ ඉඳුලින්

අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්...
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්...

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ.