Sri Lanka

Monday, June 30, 2014

පවණට සැලෙනා... දොඹමල් සුවඳින්...




අපි ආදරය ගැන කතා කලා නිතරම. ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් ගත්තම ආදරයක අවසානය විවාහය ම නෙමෙයි කියනදේ අපි තේරුම් අරන් තියනව. විවාහයෙන් පස්සෙත් හැමෝම ආදරය හොයනව තමන්ගෙ ස්වාමියා හා බිරිද තුළින්. විවාහයෙන් පස්සෙ මේ දෙවල් හරියට බෙදිල ගියෙ නැති උනාම තමයි ගොඩක්ම ප්‍රශ්න ඇති වෙන්නෙ. මේ ළගදි දවසක මට මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් නිළධාරිනියගෙ දේශනයකට සහභගී වෙන්න ලැබුණ. එ් දේශනේදි ගොඩක්ම කියවුනේ දෙමව්පියන්ගෙ වැරදි හන්ද අසරන වුන දරුවන්ගෙ කතා තමයි. ගොඩක්ම ඒව ඇය ඇස් දෙකෙන්ම දැකපු අත්දැකීම්. වැඩි හරියක්ම දෙමව්පියන්ගෙ අනියම් සම්බන්ධකම් නිසා අතරමන් වුන දරුවන් ගැන. 

එක කතාවක් මට හොදට මතකයි. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ නිකවැරටිය ප්‍රදේශයේ. එක්තරා පවුලක් මේ. දරුවො දෙන්නෙක් හිටිය. වැඩිමල් දියනියක් සහ බාල පුතෙක්. මේ අම්ම කාලයක් ගිහින් වෙනත් කෙනෙත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්නව. මේ තාත්තා කුලී වැඩ කරල තමයි ජීවත්වෙලා තියෙන්නෙ. දවසක් මනුස්සය වැඩ ඇරිල එනකොට මගදි කෙනෙක් කියනව අන්න අහවල් තැන ඔයාගෙ බිරිද අර මනුස්සයත් එක්ක කතා කර කර ඉන්නව කිවල. ඔහුට ආව ආවේගයටම ඔහු එක සැනින් එතෙන්ට යනව. යද්දි දෙන්නම ඔහුගෙ අතටම අහු වෙනව. කේන්තිය වැඩි කමට ඔහුගෙ අතේ තිබුන වක් පිහියෙන් ඇයගෙ බෙල්ලට කොටනව. ඇය එතනම මිය යනව. තමන්ගෙ මල්ලිවත් වඩාගෙන ආව ලොකු දරුව මේ සිද්ධිය දකිනව. ඇයට ලොකු මානසික කම්පනයක් ඇති වෙනව මේකෙන්. දැන් මේ දරුවො දෙන්න ළමා නිවාස වල. තාත්ත හිර ගෙදර. ගෙවල් දොරවල් පාලුවට ගිහින්.

තවත් එක් සිද්ධයක් කියන්නම් අපේ හිතවතුන් මේවත් දැනගන්න‍ ඕන හන්ද. නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රධානම පාසලක දරුවෙක් මේ. නිලධාරී තුමිය කියපු විදියට පාසලේ 2 හෝ 3 වසරේ මට මතක හැටියට. හැමදාම කෑමට බත් අරන් එන දරුවෙක් මේ. නිකවැරටිය කියන්නෙ කොහොමටත් මාගල්ල වැවත් එක්ක හොද ස්වයං පෝෂිත ප්‍රෙද්ශයක්. එ හන්ද කිසිම දරුවෙක් ලේසියකට කඩෙන් කෑම ගේන්නෙ නැහැ විශේෂ හේතුවක් තිබුනොත් ඇරෙන්න. ඉතින් මුලින් දිගටම බත් ගෙනාව මේ දරුව ටික දවසක් යන්න යන්න සතියට දවසක් 2ක් බනිස් ගේනවලු. ගුරුවරියට මේක ගැටලුවක් වෙලා. මේ දරුවගෙ තාත්ත හමුදාවෙ සේවය කරන්නෙ. මාසෙකට දවස් කීපයක්නෙ ඉතින් ගෙදර ඉන්නෙ. පස්සෙ ගුරුවරිය ඇහුවලු මේ දරුවගෙන් 'පුතේ ඉස්සරනම් ඔයා හැමදාම බත් ගෙනාව. එත් ඇයි දැන් බනිස් ගේන්නෙ?'. අපි දන්නවගෙ ඉතින් කවදාවත් දරුව බොරු කියන්නෙ නැහැනෙ. මේහෙම ඇහුව ගමන් දරුවගෙ උත්තරේ වුනේ 'මිස් අපේ ගෙදරට සමහර දවස් වලට රෑට මාමා කෙනෙක් එනව. ඒ මාම ආව දවසට අම්ම උදේට නැගිටින්නෙ නැහැ. මට බනිස් ගන්න සල්ලි දෙනව' කියල. දෙමවිපියන්ගෙ වැරදි වලට දරුවො කොයි තරම් නම් අසරන වෙනවද?
තිස්ස දොඩන්ගොඩ කියන්නෙ දක්ෂ ප්‍රවීණ ගී පද විචාරකයෙක්. ඉතින් එතුමා එතුමගේ අත්දැකීමක් හැදිලිකරල තිබුන එක් තරා දවසක මේ විදියට.

'අපිත් එක්ක හිටපු යාලුවන්ගෙන් එක්තරා මිත්‍රෙයක් තමයි අපේ නඩෙන් ඉස්සෙල්ලාම විවාහ වුනේ. බැන්ද තරුණිය ඉතාම හැඩයි. හරියට ශ්රීය දේවී වාගේ. ඔවුනගේ පලමු දරුවට අවුරුද්දක් වෙන්න ඔන්න මෙන්න කියලා ඇය ස්වාමියත් දරුවත් දමා හදිසියේ වෙනෙකෙකු සමග ගියා, මහ දවාලෙම. ඔහු මේ කරදරේ ගැන කියල මටත් කතා කරා. ඒ හන්ද මමග් එහෙ ගියා.


 එදා රෑ, දරුවගෙ අත්තම්මත් මමත් මගේ මිත්රතයත් දරුවව නලවන්න පුදුම උත්සහයක් ගත්තා. දරුවා නිදන්න පුරුදු වෙලා හිටියේ අම්මගෙන් කිරි උර උර. මොදදේ කරත් දරුවව නලවගන්නනම් බැරි උනා. විකල්පයක් නැතිම තැන මම මගේ බිරිඳට කතාකලා. මගේ බිරිදටත් දරුව හම්බ වෙලා දරුවට මාසයයි එතකොට. ඇය එක පයින් එකඟ වුනා ඒ දරුවට කිරි දෙන්න. ඒත් අවසානයේ ඒ දරුවගෙත්, මගේ දරුවගෙත්, අත්තම්මලාගේ විප්රුකාර නිසා අඬලා අඬලා ඒ කිරිසප්පයා, බඩ ගින්නේම නිදා ගත්තා. ගැහැණු හතරදෙනෙක්ගේ, රාගයටයි, කරුණාවටයි, මාන්නයටයි, බොරු බයටයි මැදිවෙලා, බඩගින්නේ නිදාගත්තු ඒ කිරි සප්පයාව දු‍ටු මට හැබෑවටම මේ සිංදුව මතක් වුනා. ඔබේ හිතත් චංචල නම්, බැන්දත් දරුවො නම් හදන්න එපා. ඒ අහිංසකයෝ ඒ මොකකටවත් පලි නෑ...' 

මේ ගීතයේ ආරම්භයත් හරිම අහඹු සිදුවීමක්. ගීත 5ක් පටිගත  කරන්න හිටපු ටී එම් ටයි, කේමදාස මාස්ටර් ටයි තිබිලා තියෙන්නේ ගීත 4යි. ගී 4 කට සංගීතය සපයපු ශිල්පියොත් පිටත්වෙලා, 5 වෙනි ගීතය ප්‍රමාද නිසා. කරන්නම දෙයක් නැතිව කේමදාස මාස්ටර් ධර්මසිරි බණ්ඩාරනායක දුරකතනයෙන් ඇබැද්දිය කිව්වම, "එහෙමනම් කොලයක් ගනිමුකො..." කියල දුරකතනයෙන් මේ ගීයේ පද වැල් කිව්වලු... ඒවෙලාවෙම තණුවක් යොදලා, අතේ තිබුණු ගිටාරයෙන් පමණක් සංගීතය යෙදු මේ ගීය, සෝකයෙන් බර නොකරන්නේ කොයි තාත්තගෙ හිතද...?

ගීතයේ යටි පෙළෙ අරුත් තේරුම් ගන්න මේ කිවුව දෙවල් හොදටම ප්‍රමාණවත් කියල මම විශ්වාස කරනව.

පවණට සැලෙනා... දොඹමල් සුවඳින්...
ආදර හස‍රැල් මුවට නැගෙයිදෝ....
සවනට කොඳුරා... පවසන වදනින්...
ආදර හැඟුමන් හිතට දැනෙයිදෝ...

මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ...
අඩවන් දෙනෙතින් ආලවඩයි දෝ...
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා...
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ...

ඇකයේ සිට මා පුතු හඬනා සඳ...
ලේ කිරි වීදැයි නොදනිමි මා ලඟ...
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ...
දු‍ටුවේ වැගිරුණු කඳුලු පමණි ලඳ...

අවසාන වශයෙන් කියන්න ඔන මේ දේවල් කිවුවෙ අපේ හිතවතියන් අපහාසයට පත් කරන්න නෙමෙයි. ගීතයට අදාලවයි කතා කලේ. මෙහෙම වැරදි කරන පිරිමි අයත් ඕන තරම් ඉන්නව කියන කාරනය අපි කවුරුත් හොදින් දන්නව.