Sri Lanka

Friday, July 18, 2014

ගෙඩි සියයක් බිම හෙලුවත් - අප්පච්චිට එක ගෙඩියයි




අපේ ජීවිත හොද තැනකට ගෙනියන්න අපේ දෙමව්පියො ගොඩක් දුක් විදිනව. එයාලට පුලුවන් උපරිම උත්සාහය ගන්නව ඒ දෙවල් කරන්න. වෙලාවකට එයාලට දැනෙන අපහසුතාවයන් අපිට දැනෙන්න දෙන්නෙ නැහැ. ඒව එයාලම විදගෙන අපිව සැපවත් කරන්න උතසාහ කරනව. හැම දෙමව්පියෙක්ම පුදුමාකර විදියට දුක් විදිනව මේ වෙනුවෙන්. මට මතකයි අපේ අම්ම කියනව හැත්තෑ ගණන් වල අවුරුදු හතක නියගයක් ඇති වුනාලු. ඒ කාලෙ කාටවත් කන්න හරි හමන් දෙයක් තිබිල නැහැ. ඒ ගොල්ලන්ට ආණ්ඩුවෙන් ලැබුණ සහනාධාර වලින් තමයි ජීවත් වෙලා තියෙන්නෙ. ඒ සහනාධාර ලබා ගන්නත් ගොඩක් වැඩ කරන්න ඕන. මේ ගොල්ලන්ට දීල තියෙන්නෙ වැවක කට්ටි වලවල් කපල වැව් බැම්මට පස් පුරවලා බැම්ම බදින්න. ඒ කාලෙ දවසට වේල් දෙකයි එයාල කාල කියෙන්නෙ. උදේට මොනා හරි තම්බගෙන කාල වැඩට ගියාම දවසම වැඩ. දවල්ට තේ හරි මොනාහරි තම්බගෙන බීල බඩගින්න නිමාගෙන දවසම වැඩ. සමහර දාට රෑට කන එකක් විතරයි. උදේටත් හරි හමන් කෑමක් නැහැ. ඒ හැම දුකක්ම විදල තියෙන්නෙ අපි වෙනුවෙන් කියල අපි හොදින්ම දන්නව. 

ඉතින් මම අද මේ කතා කරන්න යන්නෙ දරිද්‍රතාවයේ පතුලටම ගිය පවුලක් ගැන ලියවුන ගීතයක ගැන තමයි. මේ පවුලෙ ඉදල තියෙන්නෙ අම්මයි අප්පච්චියි ගැහැණු දරුවො දෙන්නෙකුයි. මේ අප්පච්චිගෙ රස්සාව තමයි පොල් කැඩීම. පොල් කඩන ක්‍රම ගොඩක් තියනවනෙ ඉතින්. සමහරු ගහට නැගල කඩනව. සමහරු පදම් කරල ගත්ත උණලී වලින් පොල් කඩනව. ගහට නගින අයත් ලීයෙන් කඩන අයත් සමහරවිට මුදල් අය කරනව. නැත්තන් ඒ මුදලට හරියන්න පොල් ගන්නව.

ඉතින් මේ අප්පච්චි පොල් කඩන්නෙ ගහට නැගලා. මේ අප්පච්චි හැමතැනම යනව පොල් කඩන්න. සමහරදාට අප්පච්චි දූල දෙන්න එක්ක යනවා ලොකු වතුවල පොල් කඩන්න. පොල් කඩල දූල දෙන්නත් එක්ක එකතුවෙලා පොල් අහුලල දීල කඩපු පොල් ගස් ගානට පොල් ගෙඩි ටිකක් අරගෙන එනවා. ඒවා හන්දියෙ විකුණල තමා මේ අය ජීවත් වෙන්නෙ.

ගෙඩි සියයක් බිම හෙලුවත් - අප්පච්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි නංගියේ
පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ

ඉතින් පොල් කඩන කෙනෙක් දැක්කම නිකමට වගේ අපිට හිතෙනවනේ ඉතින් කුරුම්බ ගෙඩියක් බොන්න. ඉතින් මේ තාත්තා පොල් ගහට නැගලා පොල් කඩද්දි නංගියා තාත්තට කියනවා කුරුම්බා ගෙඩියක් කඩල දෙන්න කියලා ඇයට බොන්න... මෙන්න මෙතනින් තමයි අපේ මේ ගීතය ආරම්භ වන්නේ. අක්ක නංගියට අවවාද කරනවා. හරි හැටි ජීවිතය තේරුම් අරන් නොගෙන ඉන්න නංගිට අක්ක මේ දේවල් පැහැදිලි කරල දෙන්න උත්සාහ කරනව. අනේ නංගියේ තාත්ත කොච්චර පොල් කැඩුවත් අපිට හම්බ වෙන්නෙ එක ගෙඩියයි. ඒ ගෙඩි ටික විකුණගත්තොත් තමයි අපිට සල්ලි හම්බ වෙන්න. කුරුම්බ ඉල්ලලා කරදර කලොත් අපිට එක ලැබෙන්නෙත් නැහැ කියල.

පියෙන් පියට ඉහලට යන හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියා ගන්න නංගියේ ....
මමත් එහෙම කළා අපේ පුංචි සන්දියේ ....

ගස් සොලවා හමා ඇදෙන - හුළඟ තවත් මුරණ්ඩු වේ
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ .....
අප්පච්චි තුරු මුදුනේ හිඳින වන්ගියේ ....


තාත්ත මේ දෙවල් කරද්දි මටත් පොඩි කාලෙ තේරුනේ නැහැ නංගියේ. තාත්ත ගහට නගිද්දි මම කලේ බයට ඇස් දෙක පියා ගත්ත එක විතරයි. ඒත් දැන් මට මේ දෙවල් හොදට තේරෙනව. ඔයාටත් ලොකු වෙනකොට මේ දෙවල් තේරෙයි කියල අක්ක මේ නංගිට කියල දෙනව. ඒ වගේමයි ඉතින් හුලං හමනකොට ගස් සෙලවෙනකොට පුදුම බයක් දැනෙන්නෙ. මේ දෙන්නටම දැනෙනව අප්පච්චිගෙ පය වැරදුනොත් ආයෙ දෙන්නටම ජීවිතයක් නැහැ කියල. පොල් කඩල ගහෙන් බහිනකල් දෙවියන්ට කිය කිය තමයි ඉන්නෙ අප්පච්චිව රැකල දෙන්න කියල.

ඉතින් මේ ගීතයේ කතාව මගෙ ජීවිතේටත් ගොඩක් සම්බන්ධයි. මම කියන්න ලැජ්ජාවක් නැහැ. මගේ අප්පච්චි ජීවත් වෙලා ඉන්න කාලෙ අපිව ජීවත් කලෙත් පොල් කඩල. එයා පොල් කැඩුවෙ උණ ලී වලින්. මට යන්තම් මතකයි උණලී කරේ කියාගෙන යන හැටි. උණ ලී දෙකක් තුනක් කරේ තියාගෙන කිලෝමීටර් 3ක් 4ක් පයින් යනව සමහර වතු වලට පොල් කඩන්න. මට මතක හැටියට ඒ කාලෙ ගත්තෙ පොල් ගහකට රුපියල් 5ක්ද කොහෙද. එහෙම නැත්තන් පොල් ගෙඩියක් ගන්නව. පොල් ගස් නගිනව තරම්ම අවදානම් නැති වුනත් මේකත් ගොඩක් භයානකයි. මට මතකයි එක දවසක් බිමට වැටුන පොල් ගෙඩියක් ගැස්සිලා ඇවිත් කකුලෙ වැදිල කිසිම දෙයක් කරගන්න බැරුව දවසම ඒ පොල් වත්තෙ ඉදගෙන ඉදල හවස ගෙදර ආව හැටි. මොකද මේ වෙලාවට කොහොම හරි බේරෙන්න බලනව මිසක් ලීය අතාරින්නෙ නැහැ. මොකද උණලීය කැඩුනොත් ආයෙ එහෙම උණලීයක් හොයාගෙන කපාගෙන පදම් කරගන්නකොට මාස ගානක් යන හන්ද. එතකොට මාස ගානක් මේ වැඩේ කරන්න බැරි වෙනව. කාලයක් තිස්සෙ ලී කර තියාගෙන ගිහින් අප්පච්චිගෙ කර කලු වෙලා තිබ්බ හැටි මට මතකයි. ඒත් මොන දුකක් වින්දත් අපිට ඉගැන්නුවා අඩුවක් නොකර. ජීවිතේ පුලුවන් තරම් දුක් විදල අන්තිමේ මේ බර ඇදලම දනිස් අමාරුව හැදිල ඇවිදගන්නත් බැරුව ගියා. අපේ අක්කල අයිල ලොකු මහත් වෙලා රැකියා වලට ගිහින් අප්පච්චිට සැප දෙන්න පටන් ගන්නකොට අසනීප හන්දම අප්පච්චි අපිව දාල ගියා. දරුවන්ට සැප හොයල දුන්න මිසක් දරුවො සැප දෙන්න හදද්දි ඒ සැප විදින්නවත් වාසනාවක් ලැබුනෙ නැහැ අප්පච්චිට. ඒත් මම දන්නව තාමත් අප්පච්චි ඉන්න තැනක ඉදල අපිට තාමත් අශිර්වාද කරනව කියල...

ගෙඩි සියයක් බිම හෙලුවත් - අප්පච්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි නංගියේ
පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ

පියෙන් පියට ඉහලට යන හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියා ගන්න නංගියේ ....
මමත් එහෙම කළා අපේ පුංචි සන්දියේ ....

ගස් සොලවා හමා ඇදෙන - හුළඟ තවත් මුරණ්ඩු වේ
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ .....
අප්පච්චි තුරු මුදුනේ හිඳින වන්ගියේ ....

ගෙඩි සියයක් ......


ගායනය : නන්දා මාලනී
පද රචනය - සමන් ප්‍රියදර්ශන.
සංගීතය - ආනන්ද ගමගේ