Sri Lanka

Thursday, October 16, 2014

අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ




අපි අද මේ කියන්න යන්නෙ මේ ගීතය නිර්මාණය කරන්න පසුබිම් වෙච්ච ඇත්තම කතාව. ගොඩක් දෙනෙක් දන්නෙ නැති උනාට බොහොම කටුක සිදුවීමක් තමයි මේ ගීතයට මුල් වෙලා තියෙන්නෙ. මේ ගීතයට වෙනත් අය එක එක සිද්ධි සම්බන්ධ කරල තිබ්බත් ඒ එකක්වත් ඇත්ත සිදුවීම නෙමෙයි. පැහැදිලිවම සත්‍ය වශයෙන්ම සිදුවෙලා තියෙන්නෙ මේ කියන්න යන සිද්ධියම තමයි..

මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නෙ "මහව - නාගොල්ලාගම" කියන ප්‍රදේශයේ. මේ ගීතය ලියල තියන නිමල් ආනන්ද මහත්තය තමයි ඇත්තටම මේ සින්දුවෙ ඉන්න මල්ලි. මොහුගෙ අයිය කුඩා කාලෙ ගමේ ඉගෙන ගතත කෙනෙක්. නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි මේ කට්ටියම ඉගෙනගෙන තියෙන්නෙ. (හැබැයි මේ සිද්ධිය වෙනකොට නම් මේ පාසල මධ්‍ය මහා විද්‍යාලයක් වෙලා තිබුනෙ නැහැ මම දන්න තරමින්) මොවුන්ගෙ තාත්ත ටික කලකින් මොවුන්ගෙන් සමුගන්නව.

ඒත් එක්කම කාලයක් යනකොට මොවුන්ගෙ අයිය තමන්ගෙ අධ්‍යාපනයත් එක්ක කොළඹට යනව. සරසවියෙදි කොළඹ කුමාරිහාමි කෙනෙක් එක්කම යාලු වෙලා විවාහ වෙනව. ඒත් එක්කම ඔහුගෙ පදිංචියත් කොළඹ බවටම පත් වෙනව.

ඉතින් මේ අයියගෙ කොළඹ සංක්‍රමණයත් එක්ක ගමේ තිබුණ කුඹුරු ඉඩකඩම් බලාගෙන උන්නෙ මේ මල්ලි. මේ අම්ම කුඹුරු වතු පිටි තමන්ගෙ දරුවන්ට සම සමව බෙදල දීලයි තිබ්බෙ. ඒත් මේ මල්ලිට ගමේ හැම දෙයක්ම බලා කියාගෙන අම්මටත් සලකන හන්ද වැඩිපුර දීපු වී පෑලක් තිබුන. වී පැලක් කියන්නෙ වී ලාස් දහයක් ඉහින කුඹුරු ප්‍රමානය. ඒ කියන්නෙ අක්කර බාගයක්. මේක දැනගත්ත අයියගෙ බිරිද අයියව අවුස්සනව එයාලට විතරක් මොකද අඩුවෙන් දුන්නෙ කියල. ඒ වගේම මේ අයියත් මේ ගැන තරහෙන් හිටියෙ.

ඉතින් දවසක් ගෙදර ඇවිදින් ලොකු රන්ඩුවක් ඇති කරගන්නව අම්මත් එක්ක. අම්ම කොච්චර පැහැදිලි කලත් තේරුම් ගත්තෙ නැහැ. මල්ලිත් එක්කත් රණ්ඩ්වට පැටලුනා. මල්ලිව තල්ලු කරපු පාරට මල්ලි ලිස්සලා ගිහින් මිදුලෙ වැටුන. අම්ම ඔහුගෙ අතේ එල්ලුනාම අම්මගේ අතත් ගසලා දාල යන් ගියා..

මේ සිදුවීමෙන් ඇති වුන හිත රිදීමත් එක්ක තමයි මේ මල්ලි මේ ගීතය ලියන්නෙ. අපි කලිනුත් කියල තියනව කපුගේ මහත්තය ගායනා කරපු බොහෝ ගීත ලියල තියෙන්නෙ ප්‍රවීන රචකයන් නෙමෙයි. මේ වගේ සාමාන්‍ය අය ලියපු ගීත තමයි බොහොමයක් ඔහු ගායනා කරල තියෙන්නෙ(හැම එකම නෙමෙයි හොදද) . ඒ මොකද සදලුතලා වල ඉන්නෙ නැතුව ඇවිත් මිනිස්සු අතර සිටි හැබැ මිනිහෙක් මොහු. ඉතින් රජරට සේවයේ ඔහු සේවය කරන අවදියෙ කොහොමින් හරි මේ ගීතය ඔහු අතට පත් වෙනව. මේ ගීතයේ තියන අපූරු පද රචනාව නිසාම ඔහු තෝරගන්නව මේ ගීතය ගායනා කරන්න.

අපි විමසා බැලුවොත් මේ පද පේලි ගැන    

අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුනා කැනිමඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතද නුඹ රජ වූ අද දවසේ

මේහි සදහන් වෙන්නෙ අයිය ඇවිත් රණ්ඩු කරල ගියාම කැනි මඩලට ගිණි ඇවිලුනා කියල. කැණි මඩල ගැන සදහන් වෙන්නෙ මහනුවර යුගයේ ඇම්බැක්කෙ දේවාලෙදි. ඇත්තටම කැණි මඩල කියල කියන්නෙ මඩොල් කුරුපාව එමෙත් නැත්තං ගෙයි වහලෙහි පරාල 26ක් එක්වන තැන ඒ පරාල 26ම එක ලීයකින් පුරුද්දලා තියනව. අන්න ඒ ලීයට තමයි කැනි මඩල කියන්නෙ. එතකොට කැණිමඩල කැඩිල ගියොත් මුලු වහලෙම ඉවරයි. ඉතින් මේ මල්ලිට මේක දැනිල තියෙන්නෙත් ගෙදර කැණි මඩලට ගිණි ඇවිලුනා වගේ.

මේ ගීතයේ අවසාන යෙදුම් ගැන අපි හිතුවොත්

ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
සඳට සැපක්දෝ ඝණ දුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනිකර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම

අපි ඉරෙන් රශ්මිය බලාපොරොත්තු වුනාට නියගය කවදාවත් බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. ඒ වගේමයි රාත්‍රියේදි අපි හදෙන් එළියක් බලාපොරොත්තු වෙනවා. හද නැතුවම ඒක අපිට හරිම පාලුවක්. ටම් හැම දෙයක්ම යොදාගන්න මේ අයිය මේ ඉඩම් කෑල්ලකට රණ්ඩු කරල ගෙදර අයත් එක්ක රණ්ඩු කරල යන්න ගියපු ඒකෙ දුක ගැන කියන්න. ඒ නිසාමයි ගීතයේ අවසානයට කියන්නෙ............................ " මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම"......... ඒ කියන්නෙ මේ මහපොළවට ඇයි අපි තේරුමක් නැතුව රණ්ඩු කරන්නෙ. ඒක කිසිම තේරුමක් නැති දෙයක්..

මැරුණම ගෙනියන්න හිතාගෙන ගොඩක් දේවල් රැස් කරන අයට හිතන්න හොද ගීතයක් ඔයාලත් රස විදල බලන්න...


අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුනා කැනිමඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතද නුඹ රජ වූ අද දවසේ

අම්මා එක්ක දබරව පැද ගිය වත්තේ
ලැම දා ගියා බත හිර වුනි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි උබ විරසක වෙන්නේ

ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
සඳට සැපක්දෝ ඝණ දුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනිකර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම

පද රචනය - නිමල් ආනන්ද
ගායනය - විශාරද ගුණදාස කපුගේ

මේ අපේ හිතවත් කපුගේ ජීවිතයේ එක්තරා අවිධියකදි

Saturday, October 4, 2014

රත්තරං කෙන්ඩියේ සිංහ තෙල් වගේ









යන එන ගමන් උනත් ඇහෙන කතා වලින් ජීවිතයට පුදුමාකර අත්දැකීම් ගන්න පුලුවන් කියල අපි හැමදාමත් කියනව. ඒ කතා රසවත්ව අහගෙන ඉන්න පුලුවන් වගේම කන් වලට බලෙන් ඔබ්බවන්න ඕන නැහැ. අනික තමයි මතකයේ හැමදාමත් රැදිල තියනව. මේ කියන්න යන්නෙත් එහෙම සිදුවීමක්. ඒත් හැබැයි හිතන්න දේවල් ගොඩක් තියනව. 

මේ කතාව කිවුවෙ අපෙ හිතවත් යුනික් කම්පුටර්ස් නුවන් අසංග සහෝදරය. ඔහුගෙ බිරිදට දරුව ලැබෙන්න ඇතුලත් කරල ඉදියෙ නිකවැරටිය රෝහලට. ඔහු දරුව බලන්න යන වෙලාවෙ තවත් මේසන් වැඩ කරන අයිය කෙනෙක් මෙයත් එක්ක එකතු වුනාලු එයාගෙ නෝනටත් දරුව ලැබෙන්න ඒ රෝහලටම ඇතුලත් කරල ඉන්න හන්ද.

පස්සෙ දෙන්නම ගිහින් අදාල කටයුතු ටික කරගන්න එහෙට මෙහෙට ඇවිදිනකොට එක්තරා වෛද්‍යවරයෙක් ඇවිල්ල මේ අයියට කතා කලාලු. ඇයි අයියට මාව මතක නැද්ද කියල. ඒත් අයියට එච්චර නිච්චියක් නැහැ කවුද මේ කියල. 

පොඩ්ඩක් සිද්ධිය මතක් කලාට පස්සෙ තමයි මතක් වෙලා තියෙන්නෙ. මේ අයිය කොළඹ බිල්ඩිමක මේසන් කෙනෙක් විදියට වැඩ කරනකොට මේ වෛද්‍ය වරයා කොළඹ කැම්පස් එකේ මෙඩිකල් ෆැකල්ටියෙ තමයි ඉගෙනගෙන තියෙන්නෙ. ඒත් එච්චර සල්ලිය බාගෙ තිබුන කෙනෙක් නෙමෙයි. ආමෙරුවෙන් තමයි තමන්ගෙ උපාදිය කරගෙන තියෙන්නෙ. 

මේ සල්ලි අමාරුකම් හන්දම දවසක් මේ අයියල වැඩ කරන තැනට ඇවිත් මෙයාගෙ විස්තරේ කියල එයාට එන්න පුලුවන් වෙලාවට වැඩක් දෙන්න පුලුවන්ද කියල ඇහුවලු. ඇත්තටම දිගටම වැඩ කරන්නෙ නැතුව ඉදල හිටල එන එක කරදරයක් උනත් මේ අයියල ඉගෙන ගන්න කොල්ලෙක්නෙ කියල ආවම ඉතින් වැඩක් පලක් දෙනවලු. බර වැඩ එහෙම දුන්නෙත් නැහැලු මොකද ගොඩක් මහන්සිවෙලා ගියාම පාඩම් වැඩක් කරගන්න අමාරුයිනෙ. ඒ වගේම තමයි ඉතින් මේයා නිවාඩු දවසට දවසම වැඩ කරනවලු. එතකොට මේ බාසුන්නැහෙල තමන්ට කන්න උයාගන්න එකෙන් මෙයාටත් දෙනවලු. පුලුවන් තරම් හොදට සලකලා. 

ඉතින් කාලයත් එක්ක කට්ටිය වෙන් වෙලා යනව. දෙගොල්ලන්ටම මතකය අමතක වෙලා යනව. ඒත් නැවතත් දෙන්න හමුවන්නෙ මේ රෝහලේදි. වෛද්‍යවරයාගෙ තිබුණ නිහතමානී කම හන්ද ඔහු මේ අයියව හදුන ගන්නව. ඉතින් පස්සෙ මේ අපේ සහෝදරයො දෙන්නගෙ උවමනා රාජකාරි කටයුතු ටික වෛද්‍ය වරයා පවුද්ගලිකවම ඇවිල්ල කරල දීල බබාලට තෑගි එහෙමත් අරන් දීල තමයි දෙන්නව ආපහු එවල තියෙන්නෙ.

බලන්නකො ඉතින් විවිධ පරාසයන් දෙකක ගමන් කරන පුද්ගලයො දෙන්නෙක් උනත් මනුෂ්‍යත්වය එකම විදියට හදවත් වල ගැබ් වෙලා තිබුන විදිය. මේක තමයි අපි කා අතරත් තියෙන්න ඕන. මුලින්ම මේ අයිය වෛද්‍ය වරයාට ඉගෙන ගන්න කාලෙ උදව් කලෙ නැත්තං ඔහුව නොසලකා හැරියනම් ඔහුටත් පිළිරසණක් නැති වෙනව. ඒ වගේමයි වෛද්‍යවරයා තමන්ට උදව්කල මේ කෙනාව දැක්ක වෙලාවෙ අමතකයි වගෙ ඉදියනම් ඒකත් එච්චර හොද දෙයක් නෙමෙයි. තමන් කොච්චර ඉහල තැනක හිටියත් තමන්ට ඒ තැනට යන්න පුන්චි හරි උදව්වක් කල කෙනෙක් ඉන්නවනම් එයාට උදව් කරන්න ඕන. එක තමයි වැදගත්.

අපි අද තෝරගන්න ගීතයෙ ඉතියෙන්නෙත් මනුෂ්‍යත්වය ගැන ලියවෙච්ච බොහොම අපූරු කතාවක්.
  

මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා
තන්හාව ක්‍රෝධ ස්වේෂ පාරේ මිනිහා කොහේද මේ . .
රත්තරං කෙන්ඩියේ
සිංහ තෙල් වගේ
මිනිස් ගුනේ සැමදා බැබලේ . .
එය රැකීම අප උරුමේ වේ . .

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙලන්නට වලක් කපන්නා
ඒ තුල වැටිලා මිය යන්නා
කල දේ පලදේ එලෙසේ . .

කේලම් කීමෙන් ඕපදූපයෙන්
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරුවී යටින් හතුරුවී
උගුල් අදින්නා යයි දියවී
බොරුවෙන් රට පිරිහේවී

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකි
අනුන් හෙලන්නට වලක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කලදේ පලදේ එලෙසේ