Sri Lanka

Monday, November 10, 2014

ජාතියට පණදුන් අපේම රණවිරුවෙකුගේ කතාව




මේ අපේ බුවනෙකබා යෞවන සමාජයේ අපේම සොහොයුරෙක්. මම කල්පනා කරනව මම මේ කතාව ලියන්න ගොඩක් පරක්කු උනාද කියල. ඒත් කමක්නෑ ඔහු අප අතර තබා ගිය මතකය සමගින් නැගෙන කදුළු බිදු අතරින් ඔහුගෙ කතාව ලියන්න අවකාශය ලබා ගන්නව.

ඔහු නමින් බුද්ධික ප්‍රියලාල්. අපේ ගමේ අපේ යෞවන සමාජයේ හොදම සාමාජිකයෙක්. යාපහුව මහා විද්‍යාලයට අපිත් එක්ක කුඩා කල පටන්ම පාසල් ගිය පාසල් සගයෙක්. අපිත් එක්ක පාසල් ගියපු ඒ කාලය හරිම සුන්දරයි. අපිට වඩා වසරක් දෙකක් වැඩිමල් උනත් පාසල් ගියෙ ආවෙ අපිත් එක්කමයි. උදේම පාසල් ගිහින් හවසට එනකොට පාරෙ තියන ගස් වලට පොලු ගහල ගෙඩි කඩාගෙන කාල පරක්කු වෙලා ආපු ඒ කාලය හරිම සුන්දරයි. අපි ක්‍රිකට්සෙල්ලස් කරෙනකොට ඔහුට කිවුවෙ ඇම්බෘස් කියල. මෙකද ඔහු අඩි 6කටත් වඩා උස නිසා නිතැතින්ම ඔහු බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩාවමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක Curtley Ambrose ව සිහිගන්වනව.

ඔහු පිරිමි දරුවන් හතර දෙනෙක් සහ ගැහැණු දරුවෙක් ඇති පවුලක පළමුවැනි දරුවා ලෙසයි මේ ලොව එළිය දකින්නෙ. ඔවුන්ගෙ පියා ගොවිතැන් කරල තමයි මේ දරුවන්ව ජීවත් කළේ. ඒත් ඔවුන් කුඩා අවදියේ ඔවුන්ගෙ නැගනිය හදුනා නොගත් උණ රෝගයක් නිසා ජීවිතයෙන් සමුගන්නව. ඒ වගේම ඔවුන්ගෙ පියාත් රුධිර නාලයක් පිපිරීම නිසා ඉතාමත් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නව 2000 වසරෙදි. ඔහුන්ගෙ මෑනියන් දරුවන් හතරදෙනෙක් එක්ක මේ ලෝකෙ තනිවෙනව. 

ඒ වෙනකොට ඔහු සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්න විතරයි. පවුලෙ වැඩිමහල් දරුව විදියට පවුල ගොඩගන්න ඔහු යමක් කරන්න උවමනා වුනා. ඒ අනූව තමයි ඔහු යුධ හාමුදාවට බැදෙන්නෙ. පල්ලෙකැලේ යුධ හමුදා පුහුණු පාසලෙන් පුහුණුව ලබන ඔහු වැලිඔය කිරිඉබ්බන්වැව ඉදිරි ආරක්ෂක වළල්ලට යවනව. ඔහු පුහුණුවෙන් පස්සෙ රාජකාරියට අනුයුක්ත වෙලා මට මතක හැටියට නිවාඩු 2ක් 3කට වැඩිය එන්න බරි වුනා මට මතක හැටියට. ඔහු ඒ ආව එක් නිවඩුවක ඔහුගෙ ලොකුම බලාපොරෙත්තුව වුන නව නිවසක් හැදීමට අවශ්‍ය කළුගල් ගෙනත් දාල ගියේ. ඒ වෙනකොට ඔවුන්ගෙ තහඩු කිහිපයකින් සෙවිලි කරල වැටි වලින් ආවරණය කරල තිබුණ ගෙය අබලන් වෙලා තිබුණ. මට හොදට මතකයි අවසානෙටම නිවාඩු අව වෙලාවෙ මගේ පාපැදිය ඉල්ලගෙන ඔහුගෙ ගමන් බිමන් ගිහින් ඇවිත් අපේ අහල පහල ගෙවල් ඔක්කොටම කතා කරල ගියෙ.
ඒ 2008 අවුරුද්දෙ වන්නි මෙහෙයුමේ ධරුණුම සටන් ඇවිලුන කාල වකවානුව. ඔහු රාජකාරි කරමින් හිටියෙ වැලිඔය කිරිඉබ්බන්වැව ඉදිරි ආරක්ෂක වළල්ලෙ. ත්‍රස්ථවාදීන් ඔවුට ධරුණු පුහාරයක් එල්ල කරමිනුයි තිබුණෙ. අපේ හොසොයුරා වෙඩි තබමින් ඉදිරියට ගියා. එක් තැනකදි බිම දිගාවෙලා වෙඩි තබමින් හිටිය ඔහු එක් වරම නැගිටල ඉදිරියට යන්න හදනවත් එක්කම ත්‍රස්ථවාදින්නෙ වෙඩි උන්ඩයක් ඔහුට වැදුන. ඒ සමගම ඔහුව අනුරාධපුර යුධ හමුදා රෝහලට ඇලුත් කරනව. එත් එක්කම මහනුවර රෝහලට ඇතුලත් කරනව වැඩිදුර ප්‍රතිකාර වලට. ඒත් අපේ මේ සොහොයුරා විරෝධාර රණවිරුවා 2008.06.22 දින අප අතරින් සදහටම සමු ගන්නව. 
මෙතනදි වැදගත් කාරණා කිහිපයක්ම කියන්න ඕන මේ රණවිරුවට වෙඩි වදින්නෙ 2008.06.15. දින කිහිපයක් ඔහුට සිහිය තිබිල තියනව. එත් යුධ හමුදාවේ හෝ පොළීසියේ සන්නිවේදන දුර්වලතාවයක් හන්ද ඔහු පිළිපදව අපිට දැනගන්න ලැබෙන්න ඔහු මියගිය දිනයෙ රාතියෙ. මොකද මේ කාරණ සිද්ධ වෙන්නෙ යුධ හමුදාව මගින් ළගම තියන පොළීසිය දැනුම් දුන්නට පස්සෙ පොළිසියෙන් තමයි නිවස දැනුවත් කරන්නෙ. කාගේ හො වැරුද්දෙන් ඒ අසරණ අම්මට මේ දරුව පණ දින වෙලාවෙ හරි මූන දැකගන්න බැරි වුන එකයි වුනෙ. අනිත් කාරණය තමයි මේ රණවිරුවට යුක්තිය ඉටුවෙන්නෙත් හරිම කටුක විදියට. මොකද මේ මරණය මහනුවර රෝහලේ මරණ පරීක්ෂකවරයා විසින් මිනීමැරුමක් විදියට තමයි සටහන් කරල තියෙන්නෙ. ඒ තිසාම මේ රණවිරුවගෙ අසරණ අම්මට කැබිතිගොල්ලෑව උසාවියට කීප වාරයක්ම නඩුවට යන්න වුනා තමන්ගෙ දරුව යුද්ධයේදි රට වෙනුවෙන් දිවි පිදුව බව ඔප්පු කරගන්න. ඉතින් කාගෙද මේ වරද කියන්න අපි දන්නෙ නැහැ.

එත් ඔහුගෙ මෑනියන්ට අද ආඩම්බර වෙන්න පුළුන් වැදූ මවටත් හැදූ පියාටත් රටටත් ජාතියටත් ණය නොවී රට ජාතිය වෙනුවෙන් දිවි පුදා සිංහ කොඩියක් යටින් ජතියට සමු දුන්න නිසා.

අවසන් වශයෙන් 14 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව විසින් මේ අපේ වීරෝධාර රණවිරුවා අවසන් ගමන් යන අවස්ථාවේ තබනු ලැබූ අනුවේදනීය සටහන අපි මේසේ ඔබ වෙනුවෙන් තබන්නෙමු.



14 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව


14th Battalion The Gajaba Regiment

ඉතා සංවේගයෙන් දැනුම්දීමයි.

මියයෑම් සෙ/****** ලාන්ස් කොප්‍රල් රාජපක්ෂ ආර්.එම්.බී.පී

14 වන බලඇණීය ගජබා රොජිමේන්තුවේ සේවය කල සේ/****** ලාන්ස් කෝප්‍රල් රාජපක්ෂ ආර්.එම්.බී.පී වැලිඔය කිරිඉබ්බන්වැව ඉදිරි ආරක්ෂක වළල්ලට ඉදරියෙන් විශේෂ ක්‍රියාන්විතයක රාජකාරියේ යෙදී සිටියදී 2008.06.15 දින එල්ල කරන ලද මෝටාර් ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර යුධ හමුදා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු 2008.06.22 දින මිය ගිය බැව් ඒකක අණදෙන නිලධාරී ඇතුළු සියළුම නිළයින් විසින් ඉතා සංවේගයෙන් යුතුව දැනුම් දෙනු ලැබේ.

වර්ෂ 1984 ක් වූ අප්‍රෙල් මස 06 දින සිය ආදරණීය දෙමාපියන් වන රාජපක්ෂ මුදියන්සේලාගේ ජයසේන මැතිදුන්ට සහ සේනානයක මුදින්සේලාගේ සෝමාවතී මැතිනියට දාව මහව දිසා රෝහලේදී මෙළොව එළිය දුටු රාජපක්ෂ මුදියන්සේලාගේ බුද්ධික ප්‍රියලාල් රාජපක්ෂ, යාපහුව මහා විද්‍යාලය වෙතින් අපොස සා/පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත. මොහු පාසල් වියේදී දීප්තිමත් සිසුවෙකු ලෙස ගුරු භවතුන්ගේ සහ සහෝදර සිසු සිසුවියන්ගේ ආදරයට පාත්‍ර වෙමින් පාසල් අධ්‍යාපන කටයුතුවලදී මෙන්ම ක්‍රීඩා හා පොදු කටයුතුවලදීද දක්ෂ ලෙස තම හැකියාවන් විදහා දැක්වූ දීප්තිමත් සිසුවෙකු විය.

පාසැල් වියේදීම තම රටට හා ජාතියට කළ හැකි උත්තරීතර මෙහෙවර ගැන සිතූ මෙම කොමිෂන් නොළත් නිළධාරී වර්ෂ 2007.05.28 දින ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිත්‍ය බල සේනාවට ආධුනික සෙබලෙකු වශයෙන් බැදී අංක 69 පුහුණු පාසල පල්ලැකැලේ වෙතින් ආධුනික පුහුණු පාඨමාලාව සාර්ථකව හාදාරා 9 වන බලැණීය ගජබා රෙජිමෙන්තුව වෙත අනුයුක්ත කර වීමෙන් පසුව නව බලැණීයක් ලෙස 14 වන බලඇණීය ගජබා රෙජිමෙන්තුව වෙත ඇතුළත් කරන ලදී. 

මෙම රණවිරුවා බලඇණීයට ඇතුළත් වූ දින සිට තමා වෙත පැවරෙන ඕනෑම රාජකාරියක් කැපවීමෙන් නොපිරිහෙළා ඉටුකළ නිහතමානී ගුණාංග වලින් පිරිපුන් සෙබලෙකු වශයෙන් මොහු සියළුම නිලයින්ගේ ප්‍රසාදයට ලක්වෙමින් දීපත්මත් දිවියක් කරා තම මාවත විවර කර ගනිමින් සිටින ලදී. මෙම රණවිරුවා සිය සේවා කාලය තුළ දී යුධ හමුදා පුහුණු පාසල් වෙතින් ක්‍රියාන්විත පාඨමාලාව හදාරා  ඉන් විශිෂ්ට දස්කම් පෙන්වා ඇති අතර, තම ක්‍රියාන්විත සේවා කාලය ඇගයීම වස් පූර්ණ භූමි පදක්කමද, එමෙන්ම සටනේදී දිවිපිදූ වීරෝධාර රණවිරුවෙකුගේ වීරත්වය වෙනුවෙන් දේශපුත්‍ර පදක්කමින් පිදුම් ලැබීමට නිර්දේශ කර ඇත.

ඒකීය හා නිවහල් දේශයක් වෙනුවෙන් තම පැහැබර තුරුණු විය කැප කොට සිය සිය මව්බිම වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් ඉටු කරමින් සිටියදී අප අතරින් වියෝ වූ රාජපක්ෂ විරුවාණනි ඔබට සිදුවූ මෙම අකල් වියෝව ආදරණීය දෙමාපියන්ට සෙනෙහෙබර පුතෙකුද, සහෝදරයන්ට සෙනෙහෙබර සොයුරෙක්ද අහිමි වුවා සේම ඥාතී හිත මිත්‍රාදීන්ට, අස්ලවාසීන්ට මෙන්ම අප බලඇණීයටත් සමස්ථ යුධ හමුදාවටත් ශ්‍රිලංකා වාසී සැමටත් දැරිය නොහැකි පාඩුවකි. ශෝකයකි. ඔබ වැනි විරෝධාර පුත්‍ර රත්නයක් ජනිත කර රට ජාතිය ආගම වෙනුවෙන් දායාද කළ ආදරණීය දෙමාපියන්ට, ඔබගේ වියෝව දරාගත නොහැකි වේදනාවක් වුවද අභිමානවත් ලෙස ඔබ ගැන සිතා සැනසුම් සුසුම් හෙළිය හැකි වනු ඇත.

යුධ හමුදා පූර්ණ ගෞරවයට පාත්‍රවෙමින් ඔබගේ නිසල දේහයට අවසන් ගෞරව දක්වන මේ මොහොතේ ඔබ විසින් අප හදවත් තුළ සනිටුහන් කොට ගිය ඔබගේ නිහතමානී ගුණාංග අප හදවත් කම්පා කරවයි. හදවතින් හඩා වැළපුනද ඔබගේ විරු නාමයට කැළලක් වේයැයි යන සැකයෙන් අප නෙතු කදුලැලි නොසලන්නෙමු. හිරු නැග එන මොහොතේත්, හිරු බැස යන මොහොතේත් අපි ඔබව සිහි කරන්නෙමු. මේ මොහොතේ සියළු දෙනාගෙන් සමුගෙන අවසන් ගමන් යන ඔබට ජීවය ලබා දීමට කළ හැක්කක් නොමැති බැවින් වේදනාවෙන් වුවද අප සමු දෙන්නෙමු. අවසන් වශයෙන් ඔබට මෙවන් අකල් මරණයක් මතු උපදින ආත්මයක් තුළ ස්දු නොවේවා! සසර අවසානයේ අමා මහ නිවන් සුව අත් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

වීර සෙබළ රාජපක්ෂ විරුවාණනි, ඔබට ජාතියේ අත්තමාචාරය හිමිවේවා.......!

මූලස්ථානය
14 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව
යුධ හමුදා කදවුර
කිරිඉබ්බන්වැව
වැලිඔය