Sri Lanka

Sunday, December 20, 2015

මහගම සේකරයන් මලක් ගැන කිවුව කතාවක්





තාත්ත මළාට පස්සෙ
අම්මයි මායි රැකුනෙ මල් විකුණලා
ඔහොම ඉන්නකොට ඉන්නකොට....
අම්ම අසනීප උනා දවසක්දා
පහුවෙන්දා උදයේ
ලස්සන මලක් පිපිල ලේ පාටට
අම්ම මට කීව
අද කොහේවත් යන්න එපා
ගෙදරට වෙලා ඉදපන්
ගෙරට වී මම හිටිය
අම්මට බේත් ගන්ඩ නෑ සල්ලිත්

ඒඅතරෙ ඔහු ආව
මල් කඩේ මුදලාලි
ඔය මල මට දෙනවද කඩා ගන්නට
බේත් ගන්ඩ ඕනෑ තරම් සල්ලි දෙන්ඩ

ඒ මල මම විකුනන්ට නොවේ හිටියෙ
ඒ උනාට
මම ඉඩ ඇරිය මල කඩන්ඩ
එයා දුන්න සල්ලි වලින් බේත් අරන්
අම්මට මම පෙව්වා
අම්ම එළි වෙනකල් ඉකි ගහ ගහ ඇඩුවා

ඊට පස්සෙ
අයිත් මල් පිපුනෙම නෑ
මාත් ලෙඩා උණා
කන්ඩ නැතුව කන්ඩ බැරුව
අපි දෙන්න ඇඩුවා හරියට
මම අම්මා බදාන අම්මා මා බදාන
ඒ එක්කම මට ඇහුනා හීන් හඩින්
කවි ගීයක් මා ඇතුලත්
ඒ කුස තුළ
ඒ කවි දියවෙලා ගියා ඊට පස්සෙ
ආයිත් මම ඇඩුවා
බැරිම තැනදි මම හිතුවා
මීට පස්සෙ නෑ අඩන්නෙ
හොදටම හිනාවෙනව
හිනාව පණ යනකල්

මේ කතාව තමයි අද දවසෙ ගොඩක් දරුවන්ගෙ කතාව. මගේ මතකය නිවැරදි නම් මේ කවි පෙළ තියෙන්නෙ මහගම සේකරයන්නෙ නොමියෙමි කාව්‍ය සංග්‍රහයේ. ඉතින් මේ කතාව ලියන්න හිතුනෙ අද වැඩියෙන්ම අපිට අහන්න ලැබෙන්නෙ මේ වගේ සිදුවීම් නිසා. පැහැදිලිවම අම්ම තාත්ත ළග නැතුව අසරන වුන කුඩා දරුවන් නරුමයන් අතින් දූෂණයට ලක් වෙලා කුඩා කාලෙදිම දරුවන් බිහි කරණ අවස්ථා කොපමණ නම් තිබුණද. මේ හැම දේකටම මැදි වෙන්නෙ ගොඩක් දුප්පත් දරුවන්. 

මේ කවි පන්තියෙ තියෙන්නෙත් ඒ වගේ දුප්පත් දරුවෙකුගෙ කතාවක්. තමන්ගෙ පියා නැතුව අන්ත අසරණ භාවයට පත් වෙන අම්මෙක් සහ දුවෙක්. බොහොම අමාරුවෙන් තමයි ජීවිතය ගැට ගහගන්නෙ. ඒ අතරෙදි අම්ම අසනීප වෙනව. අසනීප වුන අම්මට බේත් ටිකක් අරන් දෙන්නවත් සල්ලි නැහැ. ඒ කතාවෙ කියනව අපි ජීවත් වුනා මල් විකුණල කියල. මට දැනෙන විදියට නම් මේ අම්ම දරුව වෙනුවෙන් ඇග විකුණන තත්වයට පත් වෙලා. දරුව ඒක දන්නව.

ඒ අතරෙදිම තමයි මේ දරුව වැඩි වියට පැමිණෙන්නෙ.

පහුවෙන්දා උදයේ
ලස්සන මලක් පිපිල ලේ පාටට

ඉතින් මේ අම්ම කවදාවත් තමන්ගෙ දරුවව තමන්ගෙ තත්වයට දාන්න ඉදල නැහැ. එත් එක් පුද්ගලයෙක් එනව මේ ගෙදරට. කවි පන්තියෙ ඔහුව හදුන් වන්නෙ මල් කඩේ මුදලාලි කියල. ඇත්තටම මොකක් ද මේ මල් කඩය. මේ දරුවගෙ අම්ම ඇග විකුණන රස්සාව කරල තියෙන්නෙ මේ මනුස්සය හරහා. ඒකයි හේතුව.
මේ අම්මවත් මේ දරුවවත් අසාවක් නෑ දරුවව මේකට යොමු වෙනව දකින්න. ඒත් අම්ම අසනීපෙන් බේත් ගන්න නැතුව වේදනා විදිනකොට දරුවට වෙන කරන්න දෙයක් නෑ. දරුවට සිද්ධ වෙනව මේ පාපතරයාගේ ගොදුරක් වෙන්න. 

ඒ මල මම විකුනන්ට නොවේ හිටියෙ
ඒ උනාට
මම ඉඩ ඇරිය මල කඩන්ඩ

ඒ වෙනුවෙන් ඔහු දුන්න සල්ලි වලින් තමයි ඇය අම්මට බේත් අරන් දෙන්නෙ. එත් අම්මට ඒක දරාගන්න බැහැ. නමුත් ඔවුන් දෙන්නම මේ කුරිරු සමාජය විසින් අසරණ කරල. අන්තිමේදි ඇයට දරුවෙක් ලැබෙන්න එනව මේ සිදුවීම නිසාම.

ඒ එක්කම මට ඇහුනා හීන් හඩින්
කවි ගීයක් මා ඇතුලත්
ඒ කුස තුළ

ඉතින් මේ තමයි අද අපේ රටේ බොහොමයක් දැරිවියන්ට සිදුවෙලා තියන විනාශය. හැම දිනකම වගේ මෙහෙම දේවල් අහන්න ලැබෙනව.  ඒත් මාධ්‍යයට නිරාවරණය වන්නෙ සිදුවීමි කිහිපයක් පමණයි. එත් එහෙම නොවන සිදුවීම් සිය දහස් ගණනක් අද රටේ සිදුවෙනව. මට මතකයි මගේ සහොදරියගෙ රාජකාරි වැඩකට යන්න වුනා එක ගෙදරකට. ඒ ගෙදර හිටිය මැදි වියේ ගැහැණු කෙනාගෙ මනුස්සය මිය ගිහින්. දුව බැදල. ඒත් බලනකොට දුවටත් දරුවෙක් ලැබෙන්න අම්මටත් දරුවෙක් ලැබෙන්න. ඒ දරුවො දෙන්නටම තාත්ත මේ දුවගෙ මනුස්සයමයි. එ ගමේ වැඩි හරියක් ඒ විදියෙ සිදුවීම් තමයි සිදු වෙලා තියෙන්න. ඒ අය ගානක්වත් නැතුව ඒව කියනව. තාත්තල අතින් දුවල දූෂණය වුනා ඒවා, අයියලා අතින් නන්ගිලා දූෂණය වුනා ඒව අනන්තයි. ඒත් ඒ එක සිදුවිමක්වත් පොළිසියට නම් යන්නෙ නැහැ. ඒව දැන් ඒ මිනිස්සුන්ට සාමාන්‍ය දේවල් වෙලා. 

ඉතින් අපි මේ සටහන තියන්නෙ අපිටත් වගකීමක් තියනව අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න මේ මල් කැකුළු අකාලයේ විනාශ වෙල යන්න ඉඩ නොදී රැකගන්න අපිටත් මොනයම් හෝ දෙයක් කරන්න පුළුවන්නම් අන්න ඒ දේ නොසුබටව අපි කරන්න ඕන. මේ අකලට මිලින වන මල් කැකුළු ඒසේ වීමට නොදී අනාගතය වෙනුවෙන් ඔසවා තබන්න අපි හැම විටම උත්සාග ගනිමු...

Monday, November 23, 2015

ඓතිහාසික යාපව්ව රජමහා විහාරයේ වර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය

 මෙවර ඓතිහාසික යාපව්ව රජමහා විහාරයේ වර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පයිලිගම ග්‍රාමයේ මූලිකත්වයෙන් ඉතාමත් උත්කර්ශවත් අයුරින් පවත්වන්නට යෙදින. කඨින චීවරය රැගත් රථ පෙරහැර 2015.11.21 දින සවස පයිලිගමින් ගමන් ආරම්භ කල අතර යාපව්ව රජමහා විහාරයේ සතරපේරුවේ දායක ගම්මාන වන දුනුපතගම, යාපහුව, කදුබඩගම, ගොඩහිටිගම ආදී ගම් හරහා වීදි සන්චාරය කොට නැවතත් පයිලිගම ග්‍රාමයට පැමිණ ආනන්ද මහතාගේ නිවසේ කඨින චීවරය සදහා සකස් කල වස්ත්‍රය තැන්පත් කරන ලදී. මේ රථ පෙරහැර සදහා යතුරුපැදි, ත්‍රීරෝද රථ, වෑන් රථ, ට්‍රැක්ටර් ආදී රථ වාහන විශාල සංඛ්‍යාවක් සහභාගී වූ අතර 300කට අධික දායක පින්වතුන් පිරිසක් ද සහභාගී විය. එමෙන්ම අප වීදි සන්චාරය කරන ලද සියලුම ගම්මාන වලින් වැලිතලප, අලුවා, කැවුම් කොකිස් ආදී සියල්ල සපිරි තේ පැන් සන්ග්‍රහ අප වෙත පිරිමන ලදී. ඒ සදහා දායක වූ සියල්ලන්ට අපගේ කෘතඥ පූර්වක ස්තූතිය පරිනමමු.

පසුදින පාන්දර 5ට ආනන්ද මහතාගේ නිවසින් ගමන් ආරම්භ කර කඨින චීවරය රැගත් කණ්ඩායම තම හිස මතින් යාපව්ව රජමහා විහාරය කරා වැඩම්මවූහ. එදින ස්වාමීන් වහන්සේලා විසි නමකට දහවල් දානය පිළිගැන්වූ අතර පසුව කප්රුක් පූජාව සහ කඨින චීවර පූජාව පවත්වන ලදී. මෙදින මේ පින්කම සදහා සියලුම ගම් වලින් පැමිණි පිරිසට පයිලිගම ගම්වාසීන් විසින් දහවල් ආහාරය ද පිරිනමන ලදී.


මේ පින් බලයෙන් දැනට රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඓතිහාසික යාපව්ව රජමහා විහාරධිපති මීගම්මන සිරිරතන හිමියන්ට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථාන කරන අතර මේ පින්කම සාර්ථක කර ගැනීමට අපිට උදව් උපකාර කළ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවායි බුවනෙකබා අපි ප්‍රාර්ථනා කරමු.

කඨින චීවරය රැගත් පෙර ගමන් රථය



රථ පෙරහැරට සහභාගී වූ සෙනවිරත්න මහතාගේ ට්‍රැක්ටරය



රථ පෙරහැර ගමන් කරන අතරතුර අපේ කැමර ඇසට හසුවූ අයරු


මග දෙපස රැදී සිටි පින්වතුන් කටින චීවරයට පඩුරු පූජා කරමින්


රථ පෙරහැර


කිඨින චීවරය වැඩම්මවූ රථයේ අතුලත



කඨින චීවරය ආනන්ද මහතාගේ නිවසේ තැන්පත් කල පසු



බුවනෙකබා අපි පළතුරු පූජාව සදහා පලතුරු වට්ටි සකස් කරමින්



පාන්දර කඨික චීවරය පයින් වැඩම්මවන අතරතුර


පාන්දර කඨික චීවරය පයින් වැඩම්මවන අතරතුර

පාන්දර කඨික චීවරය පයින් වැඩම්මවන අතරතුර


දහවල් දානය


දහවල් දානය


අටපිරිකර පූජා කිරීම


කප්රුකට පූජා කල භාන්ඩ පින්කම අවසානයේ එක්රැස් කල අපේ කණ්යම












Friday, November 13, 2015

යුද්ධයෙන් ඇසෙන ඔබ නෑසූ කතා




පොඩි නිහැඩියාවකින් පස්සෙ අයෙමත් ලියන්න හිතුන. මේ නිහැඩියාවට හේතුවත් කියන්න ඕන මොකද ඒක කාලිනව හැමෝටම වැදගත්. මගේ නැන්ද පහුගිය කාලෙ දියවැඩියාව නිසා ගොඩක් අසනීප වෙලා රෝහල් ගත කරලයි හිටියෙ. රෝගය ධරුණු වෙලා කකුලෙ තුවාල ඇවිත් දකණු කකුල ඉවත් කරන්න සිදු වුනා. ඉතින් අපි ආදරෙන් මතක් කරනව අපේ හිතවතුන්ට මේ දියවැඩියා රෝගය පිළිකාවක් තරම්ම භයනකයි. දැන් දැන් තියන ඉක්මනින් දිරවන කෑම බීම නිසා ඕනම වයසක ඉන්න කෙනෙකුට මේක වැළදෙන්න පුළුවන්. ඒ නිසා අපි හැකි පමණින් කෑම බීම වලින් ප්‍රවේසම් වෙන එක තමයි වඩාත්ම සුදුසු. මම යෝජනා කරනව හැමෝටම අඩුම තරමින් මාස තුන හතරකට සැරයක්වත් ලේ පරීක්ෂාවක් සිදු කරගන්නවනම් වඩාත් සුදුසුයි කියල. රුපියල් 100ක් වගේ සුළු මුදලක් මේකට වියදම් වෙන්නෙ.


ඉතින් අපි අද මේ ලියන්න තෝරගත්තෙ පහුගිය වසර තිහක කුරිරු යුද්ධය අතර මැද්දෙ අපිට නෑසුන කතා කීපයක් ඔයාල එක්ක බෙදා ගන්න. මේවා අපි උපුටා ගත්තෙ සුනිල් මාධව ප්‍රේමතිලක මහත්තයගෙ ජීවිතය සුන්දරයි පොතෙන්. එතුමන්ට අපේ හදපිරි ස්තූතිය පිරිනමනව මෙවන් වූ සංවේදී දේවල් අපිත් එක්ක බෙදා හදා ගත්ත එකට.

                                                            ******************

1990 ජූලි 04

අත පිරෙන්න දාන්න පාට පාට වීදුරු වළලු ගෙන්න කියල මල්ලිගෙ දුව හැමදාමත් ඇවිටිලි කළා. වළලු ටික අතේ දමාගෙන ඇය ගේ පුරා දුව යද්දි මතු වූ සිළිං සිළිං හඩත් සමග කලකට ඉහතදී මගේ මිත්‍රයෝ කී කතාවක් මතකයට ආව.

පොළොන්නරුව පැත්තේ සුංගාවිල කියන පුංචි ගම්මානයට දවසක් උතුරේ කොටි ආව. ගම්මුන් ඒ මේ අත පැන ගියා. එක් නිවසක සිටි අම්මා සමග පුතුන් දෙදෙනා එක් පැත්තකට දුව ගියා අතර අවුරුදු දෙකක් පමණ වයසැති දියණිය ඔසවාගත් තාත්තා තවත් පැත්තකට පැන ගියා.

දුවගෙන යන අතර පුංචි දියණිය රහසෙන් තාත්තාට මෙහෙම කියල තියනව.

"තාත්තෙ හෙමින් යන්න. වළලු සද්දෙ එනවා."

ඒ සමගම වෙඩි හඩ ඇසුණ අතර තාත්තා දුවත් සමග පදුරක සැගවුනා.

අන්තිමේ දි ඒ පවුලෙන් ඉතිරි වූයේ ඒ තාත්තාත් දුවත් පමණයි.

මහ ලොකු කතාවක් නොවුණත් සිළිං සිළිං හඩ මැදින් මගේ හිතට සිහින් වේදනාවක් දැනුණා..

1992 පෙබරවාරි 14

අද කීර්ති කී කතාවකින් මගෙ හද සසල වුණා. ඔහු කීවේ උතුරේදී වෙඩි වැදී මිය ගිය භටයෙකුගේ සාක්කුවේ තිබූ ලිපියක් ගැනයි.

ලිපිය ලියා අවසන් කොට තිබුණේ නැහැ. එහි මෙසේ සදහන්ව තිබුණා.

"ආදරණීය අම්මේ,
ඊයේ මම ආවා. අම්මා දුන් සුරය බෙල්ලෙන් ගලවා ඉනේ බැදගත්තා. සුරය බෙල්ලෙ තියනවා දැක්කහම මේ ගොල්ල මට විහිළු කළා. අම්මා.......


***************************

මේව එතරම් ලොකු කතා නොවන බව ඇත්ත. ඒත් කොයි තරම් දේවල් හදවතට දැනෙනවද මේ පුංචි කතා කියවනකොට. මේ කුරිරු යුද්ධයෙන් දරුවන් අහිමි වුන දෙමව්පියෝ, බිරිදෑවරු කොයි තරම් තාමත් වැළපෙනවද. ඒ අතීතයට අපේ හදවත් කොයි තරම් සාප කරණවද. අපි පේ හිටපු ජනාධිපත් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, ත්‍රිවිධ හමුදාවට පෙළීසියට සිවිල් ආදරක්ෂක බලකායට හදවතින්ම ස්තූතිවන්ත විය යුතුයි මේ කුරිරු යුද්ධය අපේ මව් බිමෙන් අතුගා දැමීම පිළිබදව. මේ දේශපාලනික කියවීමක් නොවෙයි. යුද්ධය පිළිබදව අප හදවතට දැනෙන දේයී.

Monday, October 19, 2015

ස්කන්ධ කුමාර හෙවත් කතරගම, වන්නි දෙවි හෙවත් අයියනායක දෙවි, පුල්ලෙයාර මුත්තා හෙවත් ගණදෙවි උපත....




මේ දෙවිවරු පිළිබදව ගැමි සමාජයේ කතාබහට ලක් වුන ජනප්‍රවාද අතුරින් සකස් කල සටහනකි. අප ප්‍රදේශයට ඇධිපති අයියනායක දෙවියන් පිළිබදව අප කල විමර්ෂණයකදී මේ පිළිබදව තොරතුරු සොයා ගැනීමට අපිට හැකියාව ලැබුණි. මෙහිදී පූජ්‍ය ඔරුක්මාන්කුලමේ චන්දන හිමි ගේ විමර්ෂන වාර්තා අපිට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ගැමි සමජයේ ඇති ඇදහිලි සහ විශ්වාද පිළිබදව යමක් ඔබට ගෙන ඒම මෙහි අරමුණ විය.

දේවතා තුන් කට්ටුවේ උපත 

ස්කන්ධ කුමාරගේ පියා වන ඊශ්වර දිනක් උමයංගනාවන්ගෙන් හාස්කම් දැනගනු රිසියෙන් ඇයට කළ හැකි දේ මොනවාදැයි විමසුවේලු. උමයංගනා එවිට ඇය සිටි තැනින් තණකොල මිටක් ගෙන එහි වූ කොළ අටකින් කුමාරවරු අට දෙනෙකු මවා පෙන්වූ බවත් එයින් සතුටට පත් ඊශ්වර කුමාරවරුන් අට දෙනා දෝතින් බදාගත් අතර එක් කුමාරයෙක් වම් කිහිල්ලෙන් පැන ගත්තේලු. තව කුමාරයෙක් දකුණු කිහිල්ලෙන් පැනගත් අතර, වම් කිහිල්ලෙන් පැන ගත් කුමරා වන්නියේ දෙවියන් හෙවත් "අය්යනායක"  වශයෙන් කැලෑ වැදුන බවත්, දකුණු කිහිල්ලෙන් පැනගත් කුමරු මුරුතැන් කඩවර වූ බවත් ඔහු අද පුල්ලෙයාරේ නොහොත් ගණ දෙවියන් වශයෙන් අදහන බවත් විශ්වාස කෙරේ. ඉතිරි වූ හය දෙනා එක්අයෙකු කොට ඊශ්වරයන් විසින් මවන ලද බැවින් ඔවුන් සය දෙනාම එක් කුමරෙක් වීලු. මුහුණු සයක් සහ අත් දොළසක් ඇතිව උපන් ඔහු ස්කන්ධ කුමාර හෙවත් කද කුමරු වශයෙන් පුද ලබන බවත් විශ්වාස කෙරෙයි. ඔහු නිත්‍ය වාසස්ථානය ලෙස කාඡරගාම හෙවත් කතරගම තෝරා ගත් බවද සදහන්වෙයි.

ස්කන්ධ කුමාර හෙවත්කතරගම දෙවි



ඒ අනූව උමයංගනා දේවිය හා ඊශ්වර දෙවියාට දාව උපන් දරුවන් අතුරින් පළමුවැන්නා වශයෙන් ස්කන්ධ කුමාර හෙවත් කද කුමරු ලාංකීය දේව මණ්ඩලයට ඇතුළත්වී ඇත. ඉන්දීය සම්භවයක් ඇති කන්දකුමාර පරම්පරාව හා කදකුමරුගේ ලංකාගමනය පිළිබද සමහර ජනප්‍රවාද වල ඒකරූපීතවක් දක්නට ලැබෙතත් බොහෝවිට එකී ජනප්‍රවාද අතර විවිධත්වයක් දක්නට ලැබෙන බව කිව හැකිය ස්කන්ධකුමාර ජනප්‍රිය වන ප්‍රදේශවල එකී ප්‍රාදේශීය දෙවියෙකු වශයෙන් ඔහුට ප්‍රාදේශීය නාමයක් ආරූඪ කිරීමට උත්සාහ ගන්නා බවක් ලක්දිව පුරා පැතීරී ඇති කන්ද කුමාර දේවාල නාම පිළිබද  සදහන් කිරීමේදී පැහැදිලි වෙයි.

ස්කන්ධ කුමාර, කතරගම ප්‍රදේශයේ දී කතරගම දෙවියන් වශයෙන් බැතිමතුන්ගේ බුහුමණට පාත්‍රවන අතර ඌව පළාතේ දී බදුලු දෙවියන් වශයෙන්ද හදුන්වන්නේ මොහුමය. 

නුවර කලාවියේ හුරුලු වැවේ පිහිටි දේවාලයේ වැඩ සිටින ස්කන්ධ කුමාර හදුන්වන් ලබන්නේ හුරුලු දේවතාවා යනුවෙනි. උතුරුමැද පළාතේ සෑම බෞද්ධ පූජනීය ස්ථානයකම ස්කන්ධ කුමාර දෙවියන්ට විශේෂ ස්ථානයක් ලබාදී ඇත. සමහර බෞද්ධ සිද්ධස්ථාන වල දී මොහු හදුන්වන්නේ කතරගම දෙවියන් වශයෙනි.

ස්කන්ධ කුමාරට මුහුණු සයක් සහ අත් දොළසක් ලැබීම පිළිබද තවත් ජනප්‍රවාදයක් මෙසේයි.

"දිනක් ඊශ්වරයා ගමනක් යද්දී උමයංගනා නුග ගසක බැදි ඔන්චිල්ලාවක් පදිමින් සිටියාය. උමයංගනා හරිම ලස්සනයි. මේ උමයංගනාව  දුටු ගමන්ම ඇය විවාහ කර ගැනීමට ඊශ්වර කල්පනා කොට ඇගෙන් ඒ ගැන විමසුවේය. එවිට ඇය ඊශ්වරයාට මේ ලෝකය වටා රවුමක් ගොසින් සැණෙකින් තමා වෙත පැමිණිය හොත් පමණක් ඊශ්වරගේ ඉල්ලීමට කැමති වන බව උමයංගනා පැවසුවාය. ඊශ්වර ද බොහෝ බලසම්පන්න පුද්ගලයෙකු නිසා වහා ලෝකය වටා ගමන් කොට උමයංගනා සිටි තැනට පැමිණියේ ය. ඒ වන විට උමයංගනා සිටියේ දරුවෙකු වඩා ගෙනය. එවිට ඇය ඊශ්වරට "දරුවක් සමග මම විවාහ කරගන්න කැමතිනම් මාත් කැමතියි" යනුවෙන් පවසා ඇත. එයට ඊශ්වර කැමති විය. එයට කැමැත්ත පල කල පසු නැවත ලෝකය වටා ගොස් තමා කරා පැමිණෙන්නැයි ඇය ඉල්ලීමක් කරන ලදී. එම ඉල්ලීමට අවනත නොවුණොත් විවාහ වීමට නොලැබේ යැයි ද මෙවර යා යුත්තේ තම අතේ සිටින දරුවාත් රැගෙන ය යන්න ද ඇය විසින් ඊශ්වරට දන්වන ලද්දේය. ඊශ්වර දරුවා ද කර පින්නාගෙන ලෝවටා ගොස් නැවත පැමිණෙන විට, උමයංගනා තවත් දරුවෙකු උකුළේ තබා ඔන්චිලි පදිමින් සිටියාය. එහි පැමිණි ඊශ්වර අතට එම දරුවාත් දී නැවත ලෝ වටා සැණෙකින් ගමන් කොට ආපසු පැමිණෙන ලෙස පවසන ලදී. මේ ආකාරයට දරුවෝ හය දෙනෙක් ඊශ්වරගේ අතට දෙන ලදී. ඉන් පසු උමයංගනා පොරොන්දු වූ පරිදි ඊශ්වර හා සමග විවාහ වෙන ලදී. ඊශ්වර එම දරුවෝ හය දෙනාම එක මිටට ගෙන එක් කෙනෙක් බවට පත් කළේලු. අල්ලා ගන්නා ලද්දේ කද මැදින් නිසා සය දරුවන්ම එක කදකින් හා මුහුණු දොලසකින් ද යුක්ත වූ බව ජනප්‍රවාදයෙහි එයි.

වන්නි දෙවි හෙවත් අයියනායකදෙවි



අයියනායක දකුණු ඉන්දීය ප්‍රභවයක්ඇති අයියනාර්, අර්යනාගම් යන නම්වලින් හදුන්වන ජන නායකයෙකු වශයෙන් ද වාරි ඉංජිනේරුවෙකු ලෙස ද ජනප්‍රවාදයන්හි සදහන් ය. ඉහත ජනප්‍රවාදයට අනූව ඊශ්වරගේ වම් කිහිල්ලෙන් පැනගත් දෙවියා කැලෑ දෙවියන් හෙවත් වන්නි(මහව, ගිරිබාව, ගල්ගමුව යන ප්‍රදේශ වලින් වට වන ප්‍රදේශය)  දෙවියන් වශයෙන් මිනිසුන් අතර දේවත්වයට පත්වී කාලානුරූපව අයියනායක නාමයට පත් වී තිබේ.

දැදුරු ඔය අසබඩ සිට සිය බලය පවත්වාලන ප්‍රාදේශීය නායකත්වයක් දරණ අයියනායක මෙරට පණ්ඩුකාභය සමයේ දී වාරි කර්මාන්ත ඉදිකිරීම පිණිස රැගෙන ආ වාරි ඉංජිනේරුවෙකු වූ බව ද තවත් ප්‍රවාදයකි. එනිසාම වැව්වලට අධිපති දෙවියා වශයෙන් රජරට නුවරකලාවියේ(නුවර වැව, කලා වැව, පදවිය වැවෙන් පෝෂණය වන ප්‍රදේශය) මොහු ප්‍රචලිතය. 

වන වදින මිනිසුන් කොළ අතු රිකිල්ලක් කඩා අයියනායක දෙවියන් සිහිකර කැලයට ප්‍රවේශවීම මගින් වනයේ අතරමං වීමක් කිසි දිනක සිදු නොවන බව විශ්වාස කරයි. අයියනායක දෙවියන් පිදීම බහුලව සිදුකරනු ලබන්නේ කලාගම් පළාත්බද වය.


පුල්ලෙයාර් හෙවත් ගණදෙවි



ගණේෂ, ගණපති, ඥානේෂ්වර, පුල්ලෙයාර් යන නාම රාශීයකින් මොහු හදුන්වනු ලැබේ. උතුරුමැද පළාතේ විශේෂයෙන් නුවරකලාවියේ මොහු ප්‍රසිද්ධ ගණදෙවියන් වශයෙන් නොව පුල්ලෙයාරේ දෙවියන් වශයෙනි. ඉහත ජනප්‍රවාදයට අනූව ඊශ්වරගේ දකුණු කිහිල්ලෙන් පැනගත් දෙවියන් වශයෙන් මිනිසුන් අතර දේවත්වයට පත් වී තිබේ.

ගණ දෙවියන් හෙවත් පුල්ලෙයාරේට ඇත් මුහුණක් ලැබීම පිළිබදව ජනප්‍රිය ජනප්‍රවාද දෙකක් තිබේ. පවුලේ බාල සහෝදරයා වන පුල්ලෙයාර් දිනක් කිසියම් ගමනක් යනවිට මුහුණ සළුවකින් වසාගත් සුරූපී කාන්තාවක් ගමන් කරුනු දැක ඇය විවාහ කර ගැනීමේ අදහසක් පහළ වී ඇත. එම කාන්තාව එනතුරු සැගවී බලා සිටි ඔහු ඒ තමන්ගේ මෑණියන් බව දැනගෙන ලැජ්ජාවට පත් වී ඇත. මේ බව ඊශ්වර තමාගේ ප්‍රාතිහාර්ය ඥානයෙන් දැනගෙන ගණපතිගේ හිස කදින් වෙන් කොට ඇත. වරදක් කළත් ඒ තමාගේ දරුවා නොවේදැයි සිතා ඇතෙකුගේ හිසක් කපා ගෙනැවිත් ගණපතිගේ කදට සවිකොට මං මාවතක් අසල ගසක් මුල තබා ඇත. එදා සිට ඔහු මංමාවත් අද්දර මංසන්ධිවල අම්මා වගේ රූමත් කතක් එනතුරු බලා සිටින්නේ යැයි විශ්වාස කෙරේ. ඒ බවට දෙස් දෙන කෝල්මුර කවියක් මෙසේය.

මංමාවත් රැකගෙන                     ඉන්නේ
මං මේ ලෙස දැන් වැද            පවසන්නේ
අම්මාගෙන් උඹ විවරණ              ගන්නේ
අම්මා වාගේ කෙනෙක්          සොයන්නේ

මීට අමතරව පුල්දෙයාරේ දෙවියන්ට ඇත් හිසක් ලැබීම පිළිබදව තවත් අපූරු ප්‍රවාදයක් තිබේ.

පුල්ලෙයාරේ දෙවියන්ගේ දෙවැන්නා ස්කන්ධ කුමාර හෙවත් කද කුමරු වන්නේය. තුන්වැන්නා ගණේෂ හෙවත් පුල්ලෙයාරේය. කද කුමාරා සිය වාසභූමිය කරගන්නා ලද්දේ ගිරුවාපත්තුවේ කාඡරගාම නමින් හදුන්වන ප්‍රදේශයයි. අද මෙය කතරගම යනුවෙන් ප්‍රසිද්ධය. දිනක් අයියා බැහැදැක ගැනීමට බාල සහොදරයා වන ගණේශ කතරගම ගියේලු. මේ යන අතරමග සමීපයේ දී නිතර එහි යන එන වැද්දන් අතර වැදි දියණියකව හැදුණු රූමත් කාන්තාවක් වල්ලි නමින් සිටියේලු. ඇය ගණපති යනවිට දර කඩමින් සිටි බවත්, ඇයට ආදරය කිරීම පිළිබද සිතක් පහළ වූ බවත්, ඒ බව වල්ලිට සැල කර සිටි විට ඇය විසින් දැඩිව ප්‍රතික්ෂේප කළ බවත් සදහන්වේ. මේ බව කතරගම වැඩිහිටිකන්දේ වාසභවන තනාගෙන විසූ වැඩිමල් සොහොයුරු වූ ස්කන්ධ කුමාරට ගණපති විසින් දන්වා කෙසේ හො ඇය ලබා දෙන ලෙස කදකුමරුන්ගෙන් ඉල්ලා ඇත.

වල්ලි යනු වැදි නායකයෙකුගේ රූමත් දියණියක නිසා ඇය ලබා ගැනීම උගහට වන බවත් ඒ සදහා ඥානවන්ත වු ගණපතිට උපායක් ප්‍රකාශ කොට එමගින් ඇය බිය වද්දා ඇය ඔබට කැමති කරවා දීමටත් සකන්ධ පොරොන්දු වී ඇත. එම පොරොන්දුව අනූව ගණපතිට ඇතෙකුගේ වේශයක් මවා වල්ලි පැමිණෙන කැලයට පිටත් කර ඇත. ඇත් වේශය නිමවීමට පෙර කන්දකුමාර විසින් වතුර සේබුවක් ගෙන එය මන්ත්‍රබලයෙන් දිෂ්ටි කොට වල්ලි බිය වද්දා මීට පෙර තමාගෙන් කැමැත්ත විමසූ තැනැත්තාට කැමති කරවා ගැනීමෙන් පසුව සෙම්බුවේ පැන් ඉස ගණපතිට සැබෑ මිනිස් ශරීරය ලබා දීමට සලස්වන බව මතක් කර තිබේ. එහෙත් සිදුවූයේ ඊට වෙනස් දෙයකි. ගණපති ඇත් වේශයෙන් ඇවිත් වල්ලි බිය වැද්දූ අතරතුර කදකුමරු ඇය ඇතාගෙන් බේරා ගෙන ඇතත් ගණපතිට මෙන්ම කදකුමරුට ද වල්ලිගේ හැඩුරුව දැක ඇය පිළිබද සිතක් පහළ වීලු. වල්ලි හා කදකුමරු පෙමින් වෙළී සිටිය දී තමා ඇත් වේශය මවා ගත් ගණපතිට වූ පොරොන්දුව  බොහෝ වෙලාවක් යනතුරු අමතක වී ඇත. ඒ අතර ඇත් වේශයෙන් ගණපති ඔවුන් සිටි වැඩිහිටිකන්ද පාමුලට පැමිණෙනු දැක හදිසියේ ස්කන්ධකුමාරයාට තමා වූ පොරොන්දුව සිහියට නැගී එකෙණෙහිම අත තිබූ වතුර සෙම්බුව කන්ද පාමුලට වීසි කර ඇත. සෙම්බුවේ වතුර කොටසක් ඇතාගේ කද හා ඉන් පහළට හැලී ඇති අතර හිස ප්‍රදේශයට වතුර නොඉසුණ නිසා හිස ඇතාගේ ස්වරූයපෙන් හා කද මිනිසාගේ ස්වරූපයෙන් තවමත් තිබෙන බව එකී දෙවන ප්‍රවාදයයි..

ඉහත කී ප්‍රථම ප්‍රවාදයට තවත් සමාන ප්‍රවාදයක් පවතී. 

ඉතා ලස්සන පංච කල්‍යාණයෙන් යුත් කාන්තාවක් වන ගණපතිගේ මව වන උමයංගනා දිය නෑමට ගොස් සිටියදී මවගේ හැඩරුව දෙස ගණපති බලනු ඒ වෙත පැමිණි උමයංගනාවගේ ස්වාමියා වූඊශ්වර දැක ඇත. එවිට ඒ කෙරෙහි දැඩි ඉරිසියාවෙන් හා කෝපයෙන් සිට ඊශ්වර ගණපතිගේ හිස කදින් වෙන් කොට දමා ඔහු මිය යාවි වැයි බයෙන් තම විල වෙත පැමිණි ඇතාගේ හිස කපා ගණපතිගේ කදට සවි කරන ලද්දේලු.

*****************************
මේ තවත් ජනප්‍රවදයක්

කතරගම හෙවත් ස්කන්ධ කුමාරයා හා ගණ දෙවියන් යන සහහෝදරයන් දෙදෙනාගෙන් ඥානවන්තයා කවුරුදැයි විමසීම පිණිස උමයංගනාව දිනක් අපූරු පර්යේෂණයක් කර තිබේ. ඔවුන් දෙදෙනා ළගට කැදවා හැකි ඉක්මනින් කරදිය වළල්ල වටේ හත් වරක් ගමන් කොට ඒමට කියා තිබේ. මෙම අභියෝගය ස්කන්ධ සහ ගණ යන සහොදරයන් දෙදෙනා විසින් පිළිගෙන ඇත. ඒ අනූව ස්කන්ධ කුමාරයා ලංකාද්වීපය වටා හත්වාරයක් ගමන් කරන්නට පටන් ගෙන තිබේ. ගණදෙවියා ඒ අතර කුස්සියට ගොස් ලුණූ පොල්කටුව වටා හත්වතාවක් ගමන් කොට මව වෙත පැමිණ තිබේ. පසුව මේ ගැන විමසීමේ දී තම දරුවන් දෙදෙනාගෙන් ගණ ස්කන්ධට වඩා ඥානවන්ත බව පිළිගෙන එතැන් සිට ඔහු නුවණට අධිපති දේවතාවා වශයෙන් සළකන්නට පටන් ගෙන තිබේ.

ඉහත සදහන් සංසිද්ධි විමර්ශනාත්මකව බැලීමේදී ප්‍රකට වන කරුණක් වන්නේ ජනශ්‍රැතිකාංගයක් වන ජනප්‍රවාද දෙවිවරු සම්බන්ධව නිර්මාණය වීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටුනර තිබෙන බවය. සෑම දේව පුරා වෘත්තයකම මෙවැනි ජනප්‍රවාද නිර්මාණය වී ඇතැයි පැවසීම සාවද්‍ය නොවන්නේය.

අයියනායක දේව පූජාවකදී අප විසින් ලබාගත් වීඩියෝ කිහිපයක්.....

කොල්මුර කවි