Sri Lanka

Wednesday, March 25, 2015

දරුවෝ ඇති අම්මාලා




බුවනෙකබා අපි වෙනුවෙන් දිගින් දිගටම ලියපු ලිපි පෙලට ගොඩක් අය ප්‍රතිචාර දක්වනව නිතරම. ගොඩක් අය අපිට ආශිර්වාද කරනව අපිට ආදරෙන් සලකනව. සුභ පතනව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. ඔයාල අපිට දෙන ශක්තියත් එක්ක තමයි අපි මේ ගමන ඉදිරියට යන්නෙ. අපි නැවත නැවතත් හිස නමා අචාර කරනව අපේ ලිපි කියවලා අපේ අඩුපාඩු පෙන්නලා දෙන හැමෝටම. අපි දන්නව අපිත් එක්ක සම්බන්ද නොවුනට අපේ ලිපි කියවන ගොඩක් දෙනෙක් ඉන්නව ඒ හැමෝටමත් ගොඩක් ස්තුතියි. ඉතින් මේ ලිපි පෙළේ රචකයා හැටියට මම මගේ අධ්‍යාපන කටයුතු එක්ක කර්ය බහුල වෙලා හිටිය හින්ද අලුත් ලිපියක් ලියන්න නොහැකි වුන එක ගැන කනගාටු වෙනව. අපි මේ හැම දෙයක් එක්කම තාමත් අපේ ජීවිතේ හොයනව. ඒ යන ගමනෙ තමයි අපේ හිතවතුන්ගෙ රස වින්දනය උදෙසා මෙවැනි ලිපියක් ලියන්නෙ.

ඉතින් අපි අද කතා කරන්න උත්සාහ කරන්නෙ දැන් දැන් ගොඩක් පොදු මාතෘකාවක් බවට පත් වෙලා තියන කාරණයක්. මොකද මේ කාරණය ඉස්සර තැනින් තැන අහන්න දකින්න ලැබුණත් දැන් දැන් ගොඩක් බහුල වෙන තත්වයට පත් වෙමින් පවතිනව. ගැහැණියෙක් විදියට මේ ලෝකයට ඉපදෙන ඕනම කෙනෙක්ගෙ එක් සිහිනයක් තමයි අම්ම කෙනෙක් වෙන එක. සමහරුන් ඒ වාසනාවට උරුමකම් කියනව. ඒ අය ගොඩක් වාසනාවන්තයි. සමහරුන්ට ඒ පින දෙගුන තෙගුන වෙලා තුන් හතර පස් නිවුන් දරුවන් දක්වා දරුවන් ලබන්න වාසනාවන්ත වෙනව. බුදු දහමට අනූව අම්ම කෙනෙක් වෙන්න ගොඩක් පින් කරල තියෙන්න ඕන. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් ඇත්තටම ජාතියට සම්පතක්. බොහෝ දෙනෙක් එහෙම අයට උදව් උපකාර කරනව. බස් රථයේ දුම්රියේ අපිට ඇහෙන් පුංචි පුංචි සිදුවීමි ඇරුනහම බොහෝ දෙනෙක් ඒ අයට උදව් කරනව. අපි ප්‍රවෘත්ති වලින් අහනව දකිනව මව් පදවියට නිගා කරමින් දරුවන් දාල යන, දරුවන් මරා දාන අම්මලා. ඒ වගේ කිහිප දෙනෙක් ඇරුනහම ගොඩක් අය දරුමන්ට අසීමිත විදියට ආදරෙයි පැහැදිලිවම.

මට එක්තරා සිද්ධියක් මතක් වෙනව මේ එක්කම. මගේ සහෝදරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරිනියක් විදියට සේවය කරන නිසා ඇයගෙ රාජකාරි ගමනකට මටත් යන්න සිද්ධ වුනා. ඒ එක්තරා දිළිදු පවුලක්. නිවාස ආධාරයක් ඉල්ලලා තිබුන ඒක බලන්නයි යන්න වුනේ. ඒ ගෙදර හිටිය ගැහැණු කෙනාට තුන් නිවුන් දරුවන් ලැබිල මාස කිහිපයක් ඇති. ඉතින් අක්ක නිකමට ඇහුව දරුවෙක් හදාගන්න දෙන්න කැමතිද කියල. ඒක කිවුව ගමන් එයාල දුන්න උත්තරේ තමයි මිස් අපි නොකා නොබී ඉදල හරි දරුවො ටික හදගන්නව කටවත් නම් දෙන්නෙ නැහැ` කියල. ඒ තමයි ඒ අම්මගෙ සෙනෙහස ආදරය කරුණාව.

ඉතින් අපි අද කතා කරන්නෙ දරුවෝ ඇති අම්මාලා ගැන නම් නෙවෙයි. පිරිසක් අම්මලා වෙනකොට තවත් අපිරිසක් අද දරුවන් නැතුව දුක් වෙනව. අන්න ඒ අය ගැන තමයි අපි කතා කරන්න උත්සාහ කරන්නෙ. අතීතට ගැන සලකලා බැලුවොත් මේ අයට තිබුනෙ බොහොම නරක කාලයක්. දරුවො නැති කෙනෙක් ලගක හරි ඉන්නවනම් වද පීදිල කියල නොයෙකුත් ඇනුම් පද කියනව. ගොඩක් වෙලාවට කොන් තරනව. එහෙම ගැහැණු කෙනෙක්ව ගමනක් යනකොට ඉස්සරහටම මුන ගැහෙන එකත් මූසල දෙයක් විදියටයි දැක්කෙ. හැබයි ගමක් ගත්තම ඉතාමත් සුලුවෙන් තමයි දරුවෙක් නැති කෙනෙක් හිටියෙ. හිටියෙ නැහැම කියල කියන්න බැහැ. මොකද උදාහරණ අපිට මුන ගැහෙනව ගොඩක්. අපි ඒ අතීතයේ වැසියන්ගේ ක්‍රියා කලාපය කෙසේවත් සාධාරණී කරණය කරන්න උත්සා කරන්නෙ නැහැ. ඒත් වර්තමානය වන විට මේ තත්වය වෙනත් වෙලා. කාවවත් එහෙම කොන් කරන්න උත්සාහ කරන්නෙ නැහැ. හැබැයි දරුවන් නොලබන කාන්තාවන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනව. ඒ සම්බන්ධයෙන් ඉන්න වෛද්‍ය වරුන් ලග සිය ගණන් පෝලිම් දකින්න පුලුවන්. ගොඩක් අය දරුවෙක් වෙනුවෙන් පුදුම දුකක් විදින්නෙ. විශාල වශයෙන් මුදල් වියදම් කරනව. ජීවිතය පවා අවධානමට ලක් වෙන විදියෙ සැත්කම් වලට පවා සමහරු භාජනය වෙනව. බටහිර රට වල අසම්මත ක්‍රම වලින් දරුවන් ලබන්න උත්සාහ ගනිම්න් ඉන්නව. අපිට පහුගිය කාලෙ අහන්න ලැබුන තමන්ගෙ පුතා වෙනුවෙන් දරුවෙක් බිහි කරපු අම්ම කෙනෙක් ගැන. ඉතින් මේවගෙ හරි වැරැද්ද ගැන අපි කතා කරන්න යන්නෙ නැහැ. එත් ඒ දරුවන්ට තියන කැමැත්ත සහ ආදරය කියල විතරක් අපි කියනව.

ඉතින් අපි අද තෝරගත්ත ගීතයත් මේ ගැන බොහොම හොදින් කියවෙන ගීතයක්. මේත් දරුවන් නොමැතිව හඩා වැලපෙන එක්තරා කාන්තාවකගෙ ආදෝනවක් විදියට තමයි මේ ගීතය ලියවිලා තියෙන්නෙ.

දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඬවා නෙත මා සිත පාරනවා
දරුවෝ නැත මා පතලා
දරුවෝ නැත මා පතලා

දරුවන් ඉන්න අම්මලා දරුවන් සුරතල් කරනව දකිනකොට ඇත්තටම මේ කාන්තාවට දැනෙන්නෙ කියාගන්න බැරි තරම් දුකක්. ඒවගේම කනගාටුවක්. ඇය පුදුමාකර විදියට දුක් වෙනව තමන් මේ සසරෙදි දරුවන් පතල නැති එක ගැන. ඇය හඩා වලපෙනව තමන් මේ තරම් අවාසනාවත්ත එකියක් වීම ගැන. ඒ පිළිබදව ඇයට දැනෙන හැගීම, අනිත් අයගෙ දරු සුරතල් දකිනකොට කොයි තරම් හිත පෑරෙන්වද කියන එක කියාගන්න ඇය ලග වචන නැහැ ඇත්තටම. 

හඬනා කිරි දරුවෝ
තුරුල පුරා පැතුවා
පව් පුරවා සංසාරෙන්
මවු පදවිය නැතුවා

ඇය විවාහ වුන දවසෙ මේ විදියටම තුරුල පුරා කිරි ඉල්ලලා හඩන දරුවන් පතනව ඇය. ඒත් ඇය ඒ තරම් වාසනාවන්ත නැහැ. ඇය හිතින් දුක් විදිනව. ඇය මෙය දකින්නෙ තමන් විසින් පෙර ආත්මයක කරන ලද අකුසලයක් නිසා තමන්ට මෙය පලදුන්න කියල. ඒ පෙර අකුසලය නිසා අද තමන්ට මව් පදවිය අහිමි වෙලා තමන් මේ තරම් දුක්ඛිත තත්වයකට පත් වුනෙ කියල හිතමින් ඇය අඩා වැලපෙනව. ගොඩක් වෙලාවට ඇයගෙ මේ හැඩිල්ලට තමන්ගෙ ස්වාමියාගන්, ඒ වගේම ස්වාමියාගෙ පවුලෙ අනිත් අයගෙන එන බලාපෑම්ත් හේතු වන්නට පුලුවන්. මොකද ගොඩක් නැන්දම්මලා ලේලිලාට එරෙහි වෙන කාරණයක් තමයි මෙය.

කුරුළු මුවෝ සතුනේ
දරු සෙනෙහේ විඳිනා
මිනිස් බවේ මහිමේ මගේ
මට දරුවෝ නොදෙනා
 
ඇය හඩමින්ම පරිසරය දිහා බලනව. ඒ පරිසරයෙ සතුන් දරු සෙනෙහස විදින් විදිය දකිනව. ඒ දෙවල් දකින්න දකින්න තව තවත් වැලපෙනව. ඇය හිතනව මේ තිරිසන් සතුන් වෙලා ඉපදිලත් උන් පුදුමාකාර විදියට දරු සෙනෙහෙ විදිනව, දරු සුරතල් බලනව. ඒත් මට මිනිසත් බවේ මහිමය ලබන්න වාසනාව තිබිලත් දරුවෙක් ලබන්න තරම් මට පින් මදි වුනා කියල. ඇය මැවුම් කරුවාට දොස් තියනව. මේ තරිසන් සතුන්ටත් දරුපල දෙනව, මට දරුවන් නොදෙන මේ මිනිසත් බව මට කුමටද කියල.

නීලා වික්‍රමසිංහයන්ගේ ලයාන්විත හඩින් මේ ගීතය අහනකොට ඔබේ නෙතටත් කදුලක් උනාවි සැබැවින්ම. හදවතින් අහන්න මේ ගීතය.

දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඬවා නෙත මා සිත පාරනවා
දරුවෝ නැත මා පතලා
දරුවෝ නැත මා පතලා

හඬනා කිරි දරුවෝ
තුරුල පුරා පැතුවා
පව් පුරවා සංසාරෙන්
මවු පදවිය නැතුවා

කුරුළු මුවෝ සතුනේ
දරු සෙනෙහේ විඳිනා
මිනිස් බවේ මහිමේ මගේ
මට දරුවෝ නොදෙනා

ගීතය බලන්න මෙතනින්