Sri Lanka

Thursday, May 28, 2015

පුංචි දවස් වල නින්දට යද්දි





මට මේ ගීතය ගැන ලියන්න හිතුනෙ පහුගිය දවස් වල මගේ ඥාති සහෝදරියකගෙ විවාහ උත්සවය පවත්වපු නිසා. එතනදි අහපු දැකපු දෙවල් මාව නිතරම මේ ගීතය දෙසට තල්ලු කලා කිවුවොත් නිවැරදි. ඉතින් කාර්ය බහුලත්වයත් එක්ක ලිපි ලියන්න වෙලාව ඉඩ කඩ හදාගන්න ටිකක් අපහසු වුනත් ඉඩක් ලැබුණ ගමන්ම යමක් ලියන්න තමයි උත්සාහ කරන්නෙ.

ඉතින් අපි අද තෝරගත්ත ගීතය තමයි සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරන පුංචි දවස් වල නින්දට යද්දි කියන ගීතය. ඇය මේ ගීතය සදහා 1972 - වසරේ හොඳම ගායිකා කුමරතුඟ සමරු සම්මානයෙන් පුද ලැබුව. පුංචි දවස් වල නින්දට යද්දි ගීතය ගැන කතා කරද්දි ඇත්තටම මුලින්ම සිහියට නැගෙන්නෙ විවාහ වෙලා නිවසින් පිටත්ව යන්නට සූදානමින් තමන්ගෙ හිතවතුන්ට අම්මට තාත්තාට සමුදෙන මොහොතෙ හඩා වැළපෙන මනාළියක්. මේ ගීතය රචනා කරල තියෙන්නේ අචාර්ය අජන්තා රණසිංහයන්. ඔහු ඇත්තටම මේ ගීතයෙන් කතා කරන්නෙ මේ දියණියගේ පියාණන්ට.

දියනියක් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරය කරන්නෙ තමන්ගෙ පියාණන්ට. ඒ මේ ලෝකෙ ඉන්න බහුතරයක් පිරිමි අතරින් හැම වෙලාවකම තමන්ගෙ ළගින් ඉන්න තමන්ට විශ්වාස කල හැකි එකම කෙනා තමන්ගෙ තාන්තා නිසා වෙන්න ඇති. ඉතින් මේ ගීතයෙන් මේ දියණිය කුඩා කාලයේ පටන් ගෙරදි කල කී දේවල් සිහි කරනව. මේ දේවල් අහද්දි ඕනැම කෙනෙකුගෙ ඇසේ කදුලක් ඇති කරනව.

පුංචි දවස් වල නින්දට යද්දි
පීතු පාදම් නමාමහං කියලා
වැන්ද දෙපා යළි අදත් වදින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියාණනේ

ගැහැණු දරුවෙක් පුංචි කාලෙ ඉදන්ම තමන්ගෙ පියාට පුදුමාකර ලෙන්ගතුකමක් තියෙන්නෙ. පියා තමන්ගෙ දියනියට දක්වන්නෙත් ඒ තරම්ම පුදුමාකාර සෙනෙහසක්. ඒ සෙනෙහස මවාගත්ත එකක් නම් නෙමෙයි. ඒ සෙනෙහස අව්‍යාජයි. ඒක හද පතුලෙන්ම එන සෙනෙහසක්. ඉතින් පුංචි කාල මේ දියණිය නිදන්න කලින් තාත්තාට වදිනව "උද්දිකාරෝ අනිගිත්වා" කියන ගාථාව කියල. එහෙම කියල තාත්තගෙ මූනත් ඉඹල තුරුල්ලට ගිහිල්ල හුරතල් වෙලා ගිහින් තමයි නිදන්නෙ. අන්න එහෙම හුරතලේට හැදුන දියණිය අද තමන්ගෙ පියාණන්ගෙ දෙපා වැදල අවසර ඉල්ලනෙ නිදන්න යන්න නෙමෙයි.. තමන්ගේ පෙම්බරයත් එක්ක සදහටම ඔහුගෙ කූඩුවට යන්න. ඉතින් තමන්ගෙ දියණිය යන්නෙ ඇයගෙ ආනාගතය වෙනුනෙවෙන් කොයි තරම් හොද ගමනක් උනත් තමන්ගෙ තුරුලෙන් මේ කිරිල්ලියට ඉගිලෙන්න දෙන්න පියාට පුලුවන් කමක් තෑ. ඔහුගෙ හදවත හඩා වැළපෙනව. ඔහුගෙ හදවතේ පුංචි ලෝභ කමක් තියනව අවුරුදු විස්සක් විසිපහක් ආදරෙන් බලා ගත්ත මේ මැණික් කැටේ වෙනත් කෙනෙක්ට දෙන්න. ඒක කාටත් පොදු දෙයක්. මොකද කොච්චර වයස ගියත් තාත්තලට තමන්ගෙ දියණිය පුංචි කාලේ තමන්ගෙ සරම ඇතුලට බැහැල හුරතල් වෙච්ච පුංචි එකීමයි.

මල් බොනික්කන් පූසි පැටව් ටික
පාට ගවුම් පොඩ් අද තනි වෙනවා.....
පියාණනේ ඔබෙ ආසිරි විද විද
ඉරණම් ගමනක් යන්නට යනවා

තමන්ගෙ දියණියට තාත්ත හැමදාම සෙල්ලම් කරන්න මොනා හරි දෙයක් ගෙනත් දෙනව. ගැහැණු ළමයි ඉතින් වැඩියෙන්ම ආස බෝනික්කන්ටනෙ. එයාගෙ කාමරේ බැලුවොත් බොනික්කෙ ගොඩාක් හොයාගන්න පුලුවන්. ඉතින් දියණිය ගෙදරින් පිටමං වෙලා ගියාට පස්සෙ මේ හැම දෙයක්ම තනි වෙනව. ඒ වගේමයි ඇය සෙල්ලම් කල හැම දෙයක් මත්. පුංචි කාලෙ අන්දල හැඩ බලපු පුංචි ගවුම් පොඩ් විවිධ වර්ගයේ සපත්තු සෙරෙප්පු, මේ හැම දෙයක්ම. ගැහැණු ළමයි පූස් පැටවුන්ට එහෙමත් ගොඩක් කැමතියිනෙ. මේ දෙවල් දකිද්දි මේ තාත්තට පුදුමාකාර දුකක් ඇති වෙනව. එත් එක ස්වභාවිකයි. කොච්චර දුකක් හිතෙ දරගෙන උනත් තමන්ගෙ දියණිය යන මේ ඉරණම් ගමනට මේ පියාණන් හදවතින්ම සුභ පතනව. ඒක තමයි මේ ලෝකෙ තියන අව්‍යාජම ආශිර්වාදය. ඒ ආශිර්වාදය ලබාගෙන යන දියණියකට කවදාවත් වරදින්නෙ නැහැ.  

පියාණනේ ඔබෙ පුංචි කුමාරිය
පුංචි මනාලිය වී යන දවසේ
එපා හඩන්නට එපා හඩන්නට
පුංචි මුණුපුරෙක් කැන්දන් එන්නම්
මා හෙට දවසේ......

හැම පියෙකුටම තමන්ගෙ දියණිය පුංචි කුමාරියක්. පුංචි රාජ කුමාරිකාවක්. ඒ කුමාරිකාව මනාලියක් වලා නිවසින් කැන්දන් යන දවසෙ නිතැතින්ම ඔහුගෙ ඇහැට කදුලක් ගලනව. ඒත් මේ දියණිය ඔහුගෙ හිත සන්සන්න උක්සාහ කරනව. "අඩන්න එපා තාත්තෙ" කියල. ඒත් ඇත්තටම දෙන්නම බදාගෙන අඩනව. එත් මේ දියණිය තමන්ගෙ පියාට සතුටු වෙන්න පුලුවන් දෙයක් මතක් කරනව මේ ගමන්ම. තමන්ට ලැබෙන දුව හෝ පුතු හුරතල් කරන්න ඉන්නෙ තමන්ගෙ තාත්තා. තාත්තට මුණුබුරෙක් හරි මිණිබිරියක් හරි ගෙනැල්ල දීල මේ නැතිවුන සතුට ආයෙම ගෙනත් දෙනව කියල දියණිය පොරොන්දු වෙනව. ඇත්තටම දමන්ගෙ දරුවන්ගෙ දරු මුණුබුරෝ එක්ක වැඩියෙන්ම සෙල්ලම කරන්නෙ ආච්චිලා සීයලා තමයි. 

කොහොමත් දියණියකගෙ තම පියාට තියන බැදීම සදාකාලිකයි. ඒ සදාකාලික බැදීම ගැන තමයි ආචාර්ය අජන්තා රණසිංහයන් කාත කරල තියෙන්නෙ මේ ගීතයෙන්. සුජාතා අත්තනායක මහත්මියගෙ ආදරණිය හඩත් එක්ක මේ ගීතය බොහොම හැගීම් බර විදියට ඇහෙද්දී පියෙක් තම දියණියට හැඩුම් බර දෑසින් සමු දෙන මොහොත අප කාගෙත් හිත් තුළ නිතැතින්ම චිත්‍රණය වෙනව.
මේ තියෙන්නෙ සම්පූර්ණ ගීතය.

පුංචි දවස් වල නින්දට යද්දි
පීතු පාදම් නමාමහං කියලා
වැන්ද දෙපා යළි අදත් වදින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියාණනේ

මල් බොනික්කන් පූසි පැටව් ටික
පාට ගවුම් පොඩ් අද තනි වෙනවා.....
පියාණනේ ඔබෙ ආසිරි විද විද
ඉරණම් ගමනක් යන්නට යනවා

පියාණනේ ඔබෙ පුංචි කුමාරිය
පුංචි මනාලිය වී යන දවසේ
එපා හඩන්නට එපා හඩන්නට
පුංචි මුණුපුරෙක් කැන්දන් එන්නම්
මා හෙට දවසේ......

ගීතය ගායනය - සුජතා අත්තනායක
පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක

 ගීතය අයල බලන්න මෙතනින්...





Friday, May 15, 2015

සුළග නුඹ වගෙයි




අද අපි තොරගත්ත අපි ආදරය කරන ඉතාමත් සුන්දර ගීතයක්. මේ ගීතය ගැන සටහන අපිට ගෙනත් දුන්නෙ අපේ හිතවතෙක් වන හරුෂාන් පල්ලෙතැන්න සහෝදරයා. අපි ඔහුට බෙහෙවින්ම ස්තීතිවන්ත වෙනව ඒ පිළිබදව. අධික වැඩ රාජකාරි කටයුතුත් එක්ක ලිපි ලියන එකට පුංචි පුංචි බාධා එල්ල වුනත ඉඩක් ලැබුන ගමන්ම යමක් ලියන්න තමයි උත්සාහ කරන්නෙ. අපේ ලිපි වලට ලයික් කරල කමෙන්ට් කරල අපිට ආශිරුවාද කරන හැමෝටම ගොඩක් ස්තූතියි. අපි දන්නව තවත් අය ලියි කියවාල විතරක් යන්න යනව. අපි එ කවුරුත් එක්කවත් තරහ නෑ. ඒ මෝටමත් ගොඩක් ස්තූතියි.

යමුනා මලනි පෙරේරා යනු සිංහල ගීත ක්ෂේත්‍රයට ගීත බොහොමයක් දායද කල පරිනත ගීත රචිකාවියකි. දිවුලගනේගේ රෝස තොල් සිඹිමි, චන්දනගේ සුවද මට දී වැනි ගීත තාමත අපේ මතකයේ රැදී පවතී. යමුනා මාලිනීයගේ ගම ගාල්ලය. ඇගේ සුන්දර පාසල් සමය ගතකරන විට ඇය සිටියේ ඒ ලස්සන ගාලු පුරවරයේය. මුහුදු සුළග හැල්මේ විත් ගාලු කොටුවේ බැම්මට උඩින් කඩා පනින අපූරුව මේ සොදුරු යෞවනියට කවියක් වැනි විය. ඇයත් ඇගේ ළගම යෙහෙළියත් මේ කොටු බැම්ම දිගේ ඇවිද ගෙන ගොස් එක්තරා බංකුවක වාඩි ගත්හ.

සුළගේ ඝෝෂාවත් මුහුදේ ඝෝෂාවත් අත්වැල් බැදගෙන ගාලු කොටුව වටකර ගෙනය.

"අර බෝයි ඊයෙත් මට හම්බ වුණා."
 
ඒ සුළගේ ඝෝෂාවට අස්සෙන් යෙහෙළිය කියනු යමුනාට ඇසුනි.

"ඉතිං"

"ඒ වුනාට මං ගර්ල් ප්‍රේන්ඩ් කෙනෙක් වෙන්න බයයි. මට පිරිම් විශ්වාස නෑ."

"හොද පිරිමිත් ඉන්නව"

"ඉන්නව තමා. ඒත් ඒ ගොල්ලෝ තාම ඉපදිලා නැහැ. එහෙම නැතිනම් මැරිලා."

යමුනාට සිනා ගියේය. කම යෙහෙළිය පැහිලා යැයි ඇයට සිතුනි.

"මොකද උඹ හිනා වුණේ"

"උඹේ දාර්ශනික අදහස් වලට හිනා ගියා. "

"මං කියන්නෙ බොරුද? "

"අනේ මන්දා බං මට තේරෙන්නෙ නෑ"

"උඹ කියන්නෙ මට ඌ  එක්ක යාළු වෙන්න කියලද? "

"පිස්සුද මං මුකුත් කියන්නෙ නෑ. "

බොහෝ වෙලාවකට පසුව බංකුවෙන් නැගිට ගත් යෙහෙළියෝ කොටු බැම්ම දිගේ ඔහේ ඇවිද ගියහ.
කාලය ගෙවී ගියේ පුරුදු විදියටමය.

 යෙහෙළියට හිතගිය තරුණයා ඔහුගේ ලුහුබැදීම නතර කළේ නැත. යුවතිය ප්‍රේමයට අකමැති බව දැන දැනත් ඔහු ඇගේ පසුපසම ලුහු බැන්දාය. අවසානයේ ඇගේ ගැහැණු සිත වෙනස් විය. පිරිමින් විශ්වාස නොකළ ඇය ඒ තරුණයා විශ්වාස කරන්නට පටන් ගත්තාය. ඇගේ හිත ආදරයෙන් පිරී ගියේය. පිහාටුවක සැහැල්ලුවක් ඇයට දැනෙන්නට විය. මේ ලොව සිටින විශ්වාස කළ හැකි එකම පිරිමියා ලෙස ඔහුව යමුනාදට දවසක් හදුන්වා දුන් ඒ යෙහෙළිය ඉන් පසුව ගාලු කොටු බැම්ම දිගේ ඇවිද ගියේ ඔහු සමගය.

අත්තටු ලද කිරිල්ලියක මෙන් ප්‍රේමයේ විසල් අහස පුරා ඇය ඉගිලුනාය. ඔහුත සමගින් සිහින මවමින් ආදරයේ අනන්තයටම ඇය ඇවිද ගියාය. ඉරෙත් හදෙත් කවුරුවත් කවදාවත් නොදුටු ලස්සනක් දකිමින් මල් පෙති වල ආදරය ලියමින් ඔවුහු ඇවිද ගියහ. ආදරයේ සොදුරු සිත්තමි අහස පුරා සිතුවම් කලාය. ජීවිතයම සිහිනයක් දැයි ඇයට සිතුනි.

වසර තුනක් පමණ ගෙවී ගිය පසුව එම යෙහෙළිය යමුනාගේ ගෙදරට ආවාය. 


"හුග කාලෙකින් මොකෝ අද තනියම? කො උඹේ කුරුල්ලා? "
යමුනා ඇසුවේ යෙහෙළියගේ කම්මුල් මත තම කම්මුල් තද කරමින්.

යෙහෙළිය සිනාසුනේ නැත. ඇගේ මුහුණ වැහි වලාකුළු වලින් පිරුණු අදුරු අහසක් වැන්න. 

"මං ඉස්සරෝම උඹට කිවුව දේ හරි. "

යෙහෙළිය කිවුවේ සන්සුන් ලෙසය.

"මොකක්ද? "

යමුනා විපිලිසරව යෙහෙළියගේ මුහුණ දෙස බැලුවාය.

"පිරිමි විශ්වාස කරන්න බෑ"

යෙහෙළිය කියද්දී ඇගේ ඇස් තෙත් විය. යමුනා ඇගේ සුරත ගෙන හිස අතගෑවාය.

ප්‍රේමයේ කදුළින් ඇගේ ලෝකය වැසී ගොසිනි.

"මං ආදරේ කරන්න බෑම කියද්දි මගේ පස්සෙන්ම ආවා. කොහොම හරි මාව ආදරේ කරන්න පොළඹවා ගත්තා. අනිතමට මට දුකක් දීලා එයා යන්න ගියා. ඒත් මං එයා එක්ක තරහ නෑ. මට කරහ වෙයන්න බෑ. මං එයාට වෛර කරන්නෙ නෑ. ආදරේ කරපු හිතින් මට එයාට වෛර කරන්න බෑ. "

යෙහෙළිය යමුනාගේ උරහිස මත තම හිස තියාගන ඇති තරම් හැඩුවාය. යෙහෙළිය නික්ම ගියේ බොහෝ වේලාවක් අඩා දොඩා ප්‍රේමයේ ගතු කීමෙන් පසුවය.

යමුනාගේ හිත බරය. යෙහෙළිය වෙනුවෙන් ඇයගේ හිතද හඩා වැලපෙන්නට විය.  ඒ හැගුම් වලින් බරවූ හිතට සැනසීම උදා කරන්නට නම් ඒ බර කඩදාසියක සටහන් කළ යුතුමය. ඇය පෑන අතට ගත්තාය. වචන ගලා ආවේ සුළග සේමය.

සුළග නුඹ වගෙයි - සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේයි - සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි....

සිත හැදිනුවෙත් නුඹයි
පසු පසම එළව එළවා විත්
සැනසුවෙත් නුඹයි....
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි.....

සිත තනි කළෙත් නුඹයි
මගේ හිතේ සියුම් තැන් සොය සොයා
රිදෙවුවෙත් නුඹයි...
ඒත් නුඹෙන් සිත නොමිදේ
පුදුමයක් තමයි.....


මේ පදවැල යෙහෙළියගේ නමින් ඉතිරිව තිබියදී යෙහෙළිය පිට රටකට ගියාය.
යමුනා මාලනී මේ පදවැල කරුණාරත්න දිවුල්ගනේට දුන්නාය ඒ වන විටත් යමුනාග ලියූ රෝස තොල් සිඹිමි ගීතය ගයා දිවුලගනේ බෙහෙවින්ම ජනප්‍රියක්වයට පත්වී සිටි බැවින් යමුනාගේ තවත් ගීතයක් ගැයීමට සිතුවා විය හැකිය.
අවසානයේ සුළග නුඹ වගෙයි ගීතය දිවුලගනේගේ නිල් දියවර කැසට් පටයේ පහළොස්වැනි ගීතය ලෙස තැන්පත් වී රසික සිත් සතන් පැහැර ගන්නට සමත්කම ලැබුවේය.
"මේ ගීතය පුරාවටම තියෙන්නෙ සුළග වැස්ස මල් සුවද වගේ සොබැදහමේ දේවල්. ඇයි ඔබේ බොහෝ ගීත මේ සොබා දහමේ බැදිලා තියෙන්නෙ. "
එසේ ඇසූ විට යමුනා දුන්නේ මෙවැනි පිළිතුරකි.
"සොබාදහම කියන්නෙ මගේ අනිත් අම්ම. ඉතින් ඉතින් මං හැමදේම දකින්නෙ සොබාදහම ඇසුරෙන්. "
ඉතින් මම දවුල්ගනේගේ සුළග නුඹ වගේ ගීතය දෑස් පියගෙන සවන්දෙමි. මගේ මිතේ බොහෝදේ චිත්‍රනය වේ.
ගාලු කොටු පවුර දෙසින් එන මුහුදු සුළගේ හඩ මට ඇසෙයි. ඒ හඩට මම සවන් දෙමි. ඒ හඩ අතරින් ගාලු කොටු පවුර මතින් ඇවිද යන පෙම් යුවලක් මටග් දැස් මානයේ මැවී පෙනෙයි..

ගීතය මෙතනින් බලන්න