Sri Lanka

Thursday, May 28, 2015

පුංචි දවස් වල නින්දට යද්දි





මට මේ ගීතය ගැන ලියන්න හිතුනෙ පහුගිය දවස් වල මගේ ඥාති සහෝදරියකගෙ විවාහ උත්සවය පවත්වපු නිසා. එතනදි අහපු දැකපු දෙවල් මාව නිතරම මේ ගීතය දෙසට තල්ලු කලා කිවුවොත් නිවැරදි. ඉතින් කාර්ය බහුලත්වයත් එක්ක ලිපි ලියන්න වෙලාව ඉඩ කඩ හදාගන්න ටිකක් අපහසු වුනත් ඉඩක් ලැබුණ ගමන්ම යමක් ලියන්න තමයි උත්සාහ කරන්නෙ.

ඉතින් අපි අද තෝරගත්ත ගීතය තමයි සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරන පුංචි දවස් වල නින්දට යද්දි කියන ගීතය. ඇය මේ ගීතය සදහා 1972 - වසරේ හොඳම ගායිකා කුමරතුඟ සමරු සම්මානයෙන් පුද ලැබුව. පුංචි දවස් වල නින්දට යද්දි ගීතය ගැන කතා කරද්දි ඇත්තටම මුලින්ම සිහියට නැගෙන්නෙ විවාහ වෙලා නිවසින් පිටත්ව යන්නට සූදානමින් තමන්ගෙ හිතවතුන්ට අම්මට තාත්තාට සමුදෙන මොහොතෙ හඩා වැළපෙන මනාළියක්. මේ ගීතය රචනා කරල තියෙන්නේ අචාර්ය අජන්තා රණසිංහයන්. ඔහු ඇත්තටම මේ ගීතයෙන් කතා කරන්නෙ මේ දියණියගේ පියාණන්ට.

දියනියක් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරය කරන්නෙ තමන්ගෙ පියාණන්ට. ඒ මේ ලෝකෙ ඉන්න බහුතරයක් පිරිමි අතරින් හැම වෙලාවකම තමන්ගෙ ළගින් ඉන්න තමන්ට විශ්වාස කල හැකි එකම කෙනා තමන්ගෙ තාන්තා නිසා වෙන්න ඇති. ඉතින් මේ ගීතයෙන් මේ දියණිය කුඩා කාලයේ පටන් ගෙරදි කල කී දේවල් සිහි කරනව. මේ දේවල් අහද්දි ඕනැම කෙනෙකුගෙ ඇසේ කදුලක් ඇති කරනව.

පුංචි දවස් වල නින්දට යද්දි
පීතු පාදම් නමාමහං කියලා
වැන්ද දෙපා යළි අදත් වදින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියාණනේ

ගැහැණු දරුවෙක් පුංචි කාලෙ ඉදන්ම තමන්ගෙ පියාට පුදුමාකර ලෙන්ගතුකමක් තියෙන්නෙ. පියා තමන්ගෙ දියනියට දක්වන්නෙත් ඒ තරම්ම පුදුමාකාර සෙනෙහසක්. ඒ සෙනෙහස මවාගත්ත එකක් නම් නෙමෙයි. ඒ සෙනෙහස අව්‍යාජයි. ඒක හද පතුලෙන්ම එන සෙනෙහසක්. ඉතින් පුංචි කාල මේ දියණිය නිදන්න කලින් තාත්තාට වදිනව "උද්දිකාරෝ අනිගිත්වා" කියන ගාථාව කියල. එහෙම කියල තාත්තගෙ මූනත් ඉඹල තුරුල්ලට ගිහිල්ල හුරතල් වෙලා ගිහින් තමයි නිදන්නෙ. අන්න එහෙම හුරතලේට හැදුන දියණිය අද තමන්ගෙ පියාණන්ගෙ දෙපා වැදල අවසර ඉල්ලනෙ නිදන්න යන්න නෙමෙයි.. තමන්ගේ පෙම්බරයත් එක්ක සදහටම ඔහුගෙ කූඩුවට යන්න. ඉතින් තමන්ගෙ දියණිය යන්නෙ ඇයගෙ ආනාගතය වෙනුනෙවෙන් කොයි තරම් හොද ගමනක් උනත් තමන්ගෙ තුරුලෙන් මේ කිරිල්ලියට ඉගිලෙන්න දෙන්න පියාට පුලුවන් කමක් තෑ. ඔහුගෙ හදවත හඩා වැළපෙනව. ඔහුගෙ හදවතේ පුංචි ලෝභ කමක් තියනව අවුරුදු විස්සක් විසිපහක් ආදරෙන් බලා ගත්ත මේ මැණික් කැටේ වෙනත් කෙනෙක්ට දෙන්න. ඒක කාටත් පොදු දෙයක්. මොකද කොච්චර වයස ගියත් තාත්තලට තමන්ගෙ දියණිය පුංචි කාලේ තමන්ගෙ සරම ඇතුලට බැහැල හුරතල් වෙච්ච පුංචි එකීමයි.

මල් බොනික්කන් පූසි පැටව් ටික
පාට ගවුම් පොඩ් අද තනි වෙනවා.....
පියාණනේ ඔබෙ ආසිරි විද විද
ඉරණම් ගමනක් යන්නට යනවා

තමන්ගෙ දියණියට තාත්ත හැමදාම සෙල්ලම් කරන්න මොනා හරි දෙයක් ගෙනත් දෙනව. ගැහැණු ළමයි ඉතින් වැඩියෙන්ම ආස බෝනික්කන්ටනෙ. එයාගෙ කාමරේ බැලුවොත් බොනික්කෙ ගොඩාක් හොයාගන්න පුලුවන්. ඉතින් දියණිය ගෙදරින් පිටමං වෙලා ගියාට පස්සෙ මේ හැම දෙයක්ම තනි වෙනව. ඒ වගේමයි ඇය සෙල්ලම් කල හැම දෙයක් මත්. පුංචි කාලෙ අන්දල හැඩ බලපු පුංචි ගවුම් පොඩ් විවිධ වර්ගයේ සපත්තු සෙරෙප්පු, මේ හැම දෙයක්ම. ගැහැණු ළමයි පූස් පැටවුන්ට එහෙමත් ගොඩක් කැමතියිනෙ. මේ දෙවල් දකිද්දි මේ තාත්තට පුදුමාකාර දුකක් ඇති වෙනව. එත් එක ස්වභාවිකයි. කොච්චර දුකක් හිතෙ දරගෙන උනත් තමන්ගෙ දියණිය යන මේ ඉරණම් ගමනට මේ පියාණන් හදවතින්ම සුභ පතනව. ඒක තමයි මේ ලෝකෙ තියන අව්‍යාජම ආශිර්වාදය. ඒ ආශිර්වාදය ලබාගෙන යන දියණියකට කවදාවත් වරදින්නෙ නැහැ.  

පියාණනේ ඔබෙ පුංචි කුමාරිය
පුංචි මනාලිය වී යන දවසේ
එපා හඩන්නට එපා හඩන්නට
පුංචි මුණුපුරෙක් කැන්දන් එන්නම්
මා හෙට දවසේ......

හැම පියෙකුටම තමන්ගෙ දියණිය පුංචි කුමාරියක්. පුංචි රාජ කුමාරිකාවක්. ඒ කුමාරිකාව මනාලියක් වලා නිවසින් කැන්දන් යන දවසෙ නිතැතින්ම ඔහුගෙ ඇහැට කදුලක් ගලනව. ඒත් මේ දියණිය ඔහුගෙ හිත සන්සන්න උක්සාහ කරනව. "අඩන්න එපා තාත්තෙ" කියල. ඒත් ඇත්තටම දෙන්නම බදාගෙන අඩනව. එත් මේ දියණිය තමන්ගෙ පියාට සතුටු වෙන්න පුලුවන් දෙයක් මතක් කරනව මේ ගමන්ම. තමන්ට ලැබෙන දුව හෝ පුතු හුරතල් කරන්න ඉන්නෙ තමන්ගෙ තාත්තා. තාත්තට මුණුබුරෙක් හරි මිණිබිරියක් හරි ගෙනැල්ල දීල මේ නැතිවුන සතුට ආයෙම ගෙනත් දෙනව කියල දියණිය පොරොන්දු වෙනව. ඇත්තටම දමන්ගෙ දරුවන්ගෙ දරු මුණුබුරෝ එක්ක වැඩියෙන්ම සෙල්ලම කරන්නෙ ආච්චිලා සීයලා තමයි. 

කොහොමත් දියණියකගෙ තම පියාට තියන බැදීම සදාකාලිකයි. ඒ සදාකාලික බැදීම ගැන තමයි ආචාර්ය අජන්තා රණසිංහයන් කාත කරල තියෙන්නෙ මේ ගීතයෙන්. සුජාතා අත්තනායක මහත්මියගෙ ආදරණිය හඩත් එක්ක මේ ගීතය බොහොම හැගීම් බර විදියට ඇහෙද්දී පියෙක් තම දියණියට හැඩුම් බර දෑසින් සමු දෙන මොහොත අප කාගෙත් හිත් තුළ නිතැතින්ම චිත්‍රණය වෙනව.
මේ තියෙන්නෙ සම්පූර්ණ ගීතය.

පුංචි දවස් වල නින්දට යද්දි
පීතු පාදම් නමාමහං කියලා
වැන්ද දෙපා යළි අදත් වදින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියාණනේ

මල් බොනික්කන් පූසි පැටව් ටික
පාට ගවුම් පොඩ් අද තනි වෙනවා.....
පියාණනේ ඔබෙ ආසිරි විද විද
ඉරණම් ගමනක් යන්නට යනවා

පියාණනේ ඔබෙ පුංචි කුමාරිය
පුංචි මනාලිය වී යන දවසේ
එපා හඩන්නට එපා හඩන්නට
පුංචි මුණුපුරෙක් කැන්දන් එන්නම්
මා හෙට දවසේ......

ගීතය ගායනය - සුජතා අත්තනායක
පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක

 ගීතය අයල බලන්න මෙතනින්...