Sri Lanka

Thursday, July 2, 2015

පෙරුම්පුරාගෙන ආ සන්සාරේ




රඹුක්කන සිද්ධාර්ථ හිමි කිවුවම මම හිතන්නෙ නොදන්න කෙනෙක් නැති තරම්. පැවිදි තත්වයේ සිටියත් මෙතුමන් ඉතාමත් ප්‍රතිභා පූර්ණ ගීත රචකයෙක්. අපේ අවාසනාවකට තමයි ඒ ස්වාමීන් වහන්සෙ අප අතරින් සමු ගත්තෙ. අපගේ මතකයේ රැදුන බොදු ගීත බොහොමයක් රචනා කරල තියෙන්නෙ මේ ස්වාමීන් වහන්සේ. බොදු ගී විතරක් නෙමෙයි බොහොම අපූරු අර්ථයන් දෙන ගීත බොහෝ ගණනක් මේ ස්වාමීන් වහන්සේ විසින් රචනා කරල තියනව. එතුමන්ගෙ ගීත අතරින් අපිට නිතැතින්ම මතකයට එනව. ඒ අතරින් ලා දළු බෝපත්, අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා වැනි ගීත බොහොමයක් අපිට මතකයට නගා ගන්න පුලුවන්. ඇත්තටම කියනවනම් මේ ස්වාමීන් වහන්සේ ධර්මය ජනතාව අතරට යවන්න ගීතය යොදාගත්ත කෙනෙක්. අපි අද තෝරගත්ත ගීතයත් ඒ වගේමයි. මේ ස්වාමීන් වහන්සේ ගැන වැඩි යමක් දැනගන්න කැමති අය මෙතනින් බලන්න

අපේ මේ සිද්ධාර්ථ හිමියන් පුරුද්දක් වශයෙන් තමන්ගෙ වැඩ වලට දුම්රියෙන් තමයි ගමන් බිමන් ගියෙ. එක දවසක් මේ ස්වාමීන් වහන්සේ රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වන දුම්රියක ගමනක් යමින් උන්නා.. සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සෙ නමක් බස් රථයකට දුම්රියකට ගොඩවුනාම ඉදගන්න ඉඩක් ලැබෙනවමනෙ. තාම ඉතින් ඒ සිරිත් විරිත් අපි අතරින් ගිලිහිලා නැහැනෙ. ඉතින් එදා අපේ මේ ස්වාමීන් වහන්සෙටත් ඉදගන්න ඉඩක් ලැබුණ.  තමගෙ ගමන කොහොම වුනත් මේ ස්වාමීන් වහන්සෙගෙ පුරුද්දක් තමයි තමන්ගෙ පෑන අතට අරන් කුමක් හෝ දෙයක් ලියන එක. ගොඩක් වෙලාවට ගීතයක පද කීපයක් මේ ගමන් වලදි ලියවෙනව.

සුපුරුදු විදියට ස්ටේෂන් වල නවත්තනව සෙනග බහිනව නගිනව කිසිම වෙනසක් නැතුව වෙනද වගේම දුමරිය ගමන් ගන්නව කිසිම වෙනසක් නැතුව. මෙහෙම යන දුම්රිය එකවරම නතර වෙනවා.. හැමෝම වටපිට බැලුවත් ස්ටේෂන් එකකත් නෙමෙයි නැවතිලා තියෙන්නෙ. කට්ටිය සිග්නල් නැතුව වෙන්න ඇති කියල හිටි තැන් වලම වාඩි වෙලා හිටිය. ඒත් වෙදටත් වඩා වැඩි වෙලාවත්‍ නවත්තලා තිබුණ නිසා එම මැදිරියේ සිටිය මිනිසුන් කිහිප දෙනෙක් බැහැලා යනවා ඉදිරියට මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නෙ කියල බලන්න..

ඔහොම ගිහින්.. තවත් සුලු මොහොතකින් ඒ පිරිස යලිත් දුමිරිය මැදිරියට ගොඩවෙන අතර, දුම්රිය නැවතත් ගමන් අරඹනවා.. ගමන් තරමින් තිබුණ දුම්රියේ වීදුරුව තුලින් අපේ මේ ස්වාමීන් වහන්සෙ දකිනව එක තැනක සෙනග වටවී සිටින වගක්... ඉතින් උන්වහන්සේ අර එම ස්ථානයට ගිය කෙනෙකුගෙන් අහනවා මොකක්ද එතන වෙලා තියෙන්නෙ කියල...

"කෙල්ලෙක් කෝච්චියට පැනලා අපේ හාමුදුරුවනේ.. වැඩක් නෑ ගන්න දෙයක් නෑ.."

 "අනේ මෙහෙමත් ළමයි. ජීවිතය බාල්දු කරනවා.. හේතුවක් ඇති මොකක් නමුත්"
එහෙම කියපු ස්වාමීන් වහන්සෙ යලිත් තමන්ගෙ පොත අතට අරගෙන එහි යමක් ලියන්නට වෙනවා. ටික මොහොතකින් මෙය නිමා වෙනවා.. බුදු දහමින් අපේ ජීවිතය පෙන්නලා දුන්න මේ අපූරු පද පේළි ටික තමයි එහි සටහන් වෙලා තිබුණෙ..

පෙරුම්පුරාගෙන ආ සන්සාරේ 
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඬවේ
දුම්රිය මොහොතක් නතරවුනේ..

මලක් වගේ රොන් සුවඳ වගේ..
ජීවිතයේ සුව අපමණ වේ...//
දොළක් වගේ දිය දෝත වාගේ 
ජීවිතයේ අම සිසිළ දැනේ....
 
වරක් නෙතග කදුළැලි පිරුණාදෝ
සිතට දරා ගනු බැරි දුක් වීදෝ...//
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ...

අනේක විද කරධර බාධක මැදින් ජීවිතය ගෙනියන්න ඕන කොහොමද කියන දේ තමයි සින්දුව පුරාවටම තියෙන්නෙ. මේ දුම්රියට පැනපු කතාව නිසාම මටත් එක් සිදුවීමක් ගැන කියන්න ඕන කියල හිතුන. මේ වගේ සියදිවි නසා ගැනීම් ඕන තරම් අද අහන දකින බව ඇත්ත. නමුත් මේක මම සියැසින් දැක්ක නිසා ලියන්න හිතුන. ඒ තමයි මහව දුමිරිය ස්ථානයට මදක් එපිටින් දුම්රියට පැනපු අම්මයි දරුවයි. අපි එතනට ගිහින් බලනකොට ඒ අම්මගෙ නම් මිනියෙ කෑලි සොයාගන්න තිබුණ. ඒත් අර කිරිකැටි දරුවගෙ නම් අතක් ඇරෙන්න අනික් සේරම කොටස් ඇඹරිලා ගිහින්. ඉතින් ප්‍රශ්නය හොයල බලනකොට මේ ගැහැණු කෙනාගෙ මනුස්සය වෙනත් ගැහැණු කෙනෙක් එක්ක යාළු වෙලා. ඉතින් මේ දෙමව්පියන්ගෙ වැරිදි වලට හයක් හතරක් නොතේරෙන අහින්සක දරුවෙකුටත් වන්දි ගෙවන්න වෙලා.

ඉතින් අපේ මේ ස්වාමීන් වහන්සෙගෙ අවසාන පැදි පෙලේ තියෙන්නෙත් මේ කාරණයම තමයි...

දුකම කොයි තරම් සතුටක්දෝ.....

අනේක විද දුක් කරදර විදගෙන කොහොම හරි අපි ජීවිතය ගෙනියන්න ඕන. මේ කරදර මැදින් ජීවිතය ජීවත් කරවන එකම එක් තරා සතුටක්....